2020 ශ්‍රී ලංකා මහ මැතිවරණය: පුරුෂ මූලික දේශපාලනයට අභියෝගයක් නොවන ශ්‍රී ලංකාවේ වැන්දඹු දේශපාලනය

ලොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයය

ඡායාරූප මූලාශ්‍රය, IPU

ඡායාරූප ශීර්ෂ වැකිය, ලොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයය
    • Author, උපාලි ගජනායක
    • Role, BBC සිංහල

මෙයින් වසර 120කට පෙර යටත්විජිත පාලන සමයේ 1910 වසරේ පටන් පළමුවරට ලාංකික උගත් සහ ධනවත් පුරුෂ පක්ෂයට ද ඡන්දය සඳහා ඉල්ලුම් කළ හැකි වුවද, ඡන්දදායකයකු වීම සඳහා නිර්දේශ කර තිබූ සුදුසුකමක් වූයේ 'කාන්තාවක් නොවීමය.'

පුරුෂ පක්ෂයට සමාන්තරව කාන්තාවන්ට ද සීමිත ඡන්ද බලය හෝ නොදීම ඔවුන් දේශපාලන සහභාගිත්වයෙන් සිතාමතාම කොන්කිරීමක් වූ අතර, 1931 දී ලාංකික කාන්තාවන් එම අයිතිය දිනා ගැනීමට සමත් වී ඇත්තේ කාන්තා දේශපාලන සහභාගිත්වයට විරෝධය පළකළ එවක ලංකා ජාතික ව්‍යාපාරයේ පුරෝගාමී දේශපාලන නායකයන්ට එරෙහිව ගෙනගිය දුෂ්කර වූ අරගලයකින් අනතුරුවය.

ලංකා ජාතික සංගමය තුළ 'මල්ලිකා කුලඟන සමිතිය' නියෝජනය කළ ඇසිලින් තෝමස් සහ ඇග්නස් ද සිල්වා 1925 දී කාන්තාවන්ට ද සර්වජන ඡන්ද අයිතිය හිමිවිය යුතු බවට හඬක් නැගූ අතර 1925 දී 'කාන්තා සර්වජන සංගමය' පිහිටුවනු ලැබිණි.

එහෙත් 1931 ඩොනමෝර් කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දුන් එවක ලංකාවේ සිංහල සහ දමිළ මුල්පෙළේ නායකයන් කාන්තාවන්ට ඡන්ද අයිතිය දීම තරයේ ප්‍රතික්ෂේප කළ බව පැහැදිළි කරුණකි.

ලංකා කම්කරු සංගමයට නායකත්වය දුන් ඒ ඊ ගුණසිංහ හැරුන විට ලංකා ජාතික සංගමයේ සිංහල සහ දමිළ නායකයන් සියලුදෙනාම මෙන් පෙනී සිටියේ කාන්තාවන්ට ඡන්ද බලය පැවරීමට එරෙහිවය.

ජාතික ව්‍යාපාරයේ නායකයකු වූ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් විසින් කාන්තාවන්ට ඡන්ද අයිතිය පැවරීම හඳුන්වන ලද්දේ "ඌරන් ඉදිරියේ මුතු විසිකිරීමකට සමාන ක්‍රියාවක්" හැටියටය. ඩොනමෝර් කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් රාමනාදන් මෙසේ සඳහන් කර ඇත.

"අපි අපගේ පවුලේ පාරිශුද්ධිය ගැන සැලකිලිමත් වෙනවා. කාන්තා ඡන්ද අයිතිය ඔබගේ රටට (මහා බ්‍රිතාන්‍යය) ගැළපී ඇති නිසාම එය අපගේ රටටත් ගැළපේ යයි මම පිළිගන්නේ නැහැ."

"රටේ සමාජ ප්‍රගතියට බාධා කරන විශාලම අනතුර අකුරු නොදන්නා බහුතර ජනයා" යයි සඳහන් කළ ලංකා ජාතික සංගමයේ නායකයකු වූ ඊ ආර් තම්බිමුත්තු "නූගත් මිනිසුන් බොහෝ හානිදායක වන අතර, නූගත් ගැහැණු ඊටත් වඩා හානිදායක" යැයි කියා සිටියේ කාන්තා ඡන්ද අයිතියට විරෝධය පළ කරමිනි.

සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර, ඊ ඩබ්ලිව් පෙරේරා, ෆ්‍රැන්සිස් ද සොයිසා සහ ආර් එල් පෙරේරා වැනි නායකයෝ ඩොනමෝර් කොමිසමේ යෝජනා ප්‍රතික්ෂේප කළහ.

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 2016 වසරේ ජගත් කාන්තා දිනය සැමරීමේ උත්සවයේ දී

ඡායාරූප මූලාශ්‍රය, PARLIAMENT.LK

ඡායාරූප ශීර්ෂ වැකිය, පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 2016 වසරේ ජගත් කාන්තා දිනය සැමරීමේ උත්සවයේ දී

එවක ලංකාවේ දේශීය නායකයන්ගේ එම විරෝධය මැද ඩොනමෝර් කොමිසම මගින් 1931 දී කාන්තාවන්ට ද පුරුෂයන්ට සමානව සර්වජන ඡන්ද අයිතිය දෙන ලද නමුත් එම වසරේ පළමු රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණය සඳහා එක් කාන්තාවක් හෝ තරග කර නැත. ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඉතිහාසයේ කාන්තාවක් පළමුවරට ව්‍යවස්ථාදායක මණ්ඩලයට මහජන ඡන්දයෙන් තේරී පත්ව තිබෙන්නේ 1932 දීය.

ලාංකේය ඉතිහාසයේ පළමු මහජන නියෝජිතවරිය ලෙස තේරී පත්වූ එම කාන්තාව ඇඩ්ලින් මොලමුරේ කුමාරිහාමි මන්ත්‍රීවරියයි.

ඇඩ්ලින් මොලමුරේ /නේසම් සරවනමුත්තු

තම පියාගේ අභාවයෙන් හිස් වූ රුවන්වැල්ල ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයකින් ජයගෙන ඇඩ්ලින් මොලමුරේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අසුන්ගන්නා විට ඇයගේ සැමියා වූ ලංකාවේ පළමු කතානායක ලෙස ඉතිහාසයට එක්වූ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ එහි මුලසුනේ විය.

ඇයගේ දේශපාලන ආගමනය කාන්තා දේශපාලනයේ හැරවුම් ලක්ෂයක් වුවද, එය ලාංකික පුරුෂ මූලික දේශපාලනයේ වෙනසක් නොව සෘජු ලෙසම "දේශපාලන ප්‍රභූ පවුල් පදනම" මත තීන්දු වූවක් බව පෙනී යයි.

ඉන් වසර දෙකකට පසු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දෙවැනි මන්ත්‍රීවරියත් සබාගැබෙහි අසුන් ගත්තාය. ඇය උතුරු කොළඹ අතුරු මැතිවරණය ජයගත් නේසම් සරවනමුත්තු මන්ත්‍රීවරියයි.

ෆ්ලොරන්ස් සහ කුසුමා

1947 දී සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය මගින් ස්ථාපනය කරන ලද නව පාර්ලිමේන්තුවේ පළමු මහ මැතිවරණයට කාන්තාවන් තිදෙනෙක් තරග වැදී ඇත.

ෆ්ලොරන්ස් සේනානායක ලංකා සම සමාජ පක්ෂයෙන් කිරිඇල්ල අසුනට තරඟ කරද්දී, ශ්‍රීමතී අභයගුණවර්ධන අම්බලන්ගොඩ-බලපිටිය අසුනට තරඟකර තිබෙන්නේ ලංකා කොමියුනිස්ට් පක්ෂයෙනි. එම මැතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂිකාවක් ලෙස මැද කොළඹ අසුනට තරඟ කළ අයේෂා රාවුෆ් සිය විවාහයෙන් අනතුරුව ලංකාවට සංක්‍රමණය වූ කාන්තාවක් වූ අතර, ලංකාවේ මුස්ලිම් දැරියන්ගේ අධ්‍යාපනය නංවාලීමට පුරෝගාමී වූ ඇය 'මුස්ලිම් කාන්තා විද්‍යාලයේ' නිර්මාතෘවරියයි.

එම අපේක්ෂිකාවන් තිදෙනා අතරින් ජයග්‍රහණය කළ එකම කාන්තාව ෆ්ලොරන්ස් සේනානායක වූවාය. ෆ්ලොරන්ස් 1935 දී ලංකා සම සමාජ පක්ෂය ආරම්භ කිරීමේ දී ඒ සඳහා මුල්වූ නායකයකු මෙන්ම වැවිලිකරුවකු වූ රෙජී සේනානායකගේ බිරිඳය. සම සමාජ නායකයන් බෝගම්බර සිරගෙදරින් මුදා ගනිමින් ඉන්දියාවට යැවීමේ රහස් මෙහෙයුම තුළත් රෙජී සහ ෆ්ලොරන්ස් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකර ඇත.

එසේම ඇය 1947 පළමු පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් පත්වූ මහජන මන්ත්‍රීවරුන් අනූපස් දෙනා අතර සිටි එකම කාන්තාව බවටත් පත්වූවාය.

1947 පාර්ලිමේන්තුව නියෝජනය කළ එවක සම සමාජ පක්ෂයේ සිටි පිලිප් ගුණවර්ධන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සිරගත කරනු ලැබීම නිසා හිස්වූ අවිස්සාවේල්ල ආසනය සඳහා ලංකා සම සමාජ පක්ෂයෙන් ඉදිරිපත් කරන ලද පිලිප්ගේ බිරිඳ, කුසුමා ගුණවර්ධන, නිතරඟයෙන්ම පාර්ලිමේන්තුවට පත් වූ අතර ඒ අනුව ඇය සෝල්බරි පාර්ලිමේන්තුවට පත්වූ දෙවැනි මන්ත්‍රීවරිය බවට පත්වූවාය.

එම පාර්ලිමේන්තුවේ පළමු මන්ත්‍රීවරිය ෆ්ලොරන්ස් මෙන්ම දෙවැනි මන්ත්‍රීවරිය වූ කුසුමා ද ලංකා සම සමාජ පක්ෂයේ අපේක්ෂිකාවන් වීම විශේෂත්වයකි.

කුසුමා ගුණවර්ධන

ඡායාරූප මූලාශ්‍රය, Philip Gunewardene foundation

ඡායාරූප ශීර්ෂ වැකිය, කුසුමා ගුණවර්ධන

ඉන් අනතුරුව තවත් ඡන්ද පෙත්සමක් නිසා ටී බී ඉලංගරත්නට 'මහනුවර' අසුන අහිමිවීමෙන් 1949 පැවැත්වූ අතුරු මැතිවරණයකින් ජයගත් ඔහුගේ බිරිඳ තමරා කුමාරි ඉලංගරත්න සෝල්බරි පාර්ලිමේන්තුවට පත් තුන්වෙනි මන්ත්‍රීවරිය වූ අතර ඇයත් වාමාංශික මතධාරිනියක් වූවාය.

ඇඩ්ලින් මොලමුරේ, කුසුමා ගුණවර්ධන සහ තමරා කුමාරි ඉලංගරත්න ගත්විට ඔවුන් තිදෙනාගේම පාර්ලිමේන්තු ආගමනයට ඔවුන්ගේ පවුල් පසුබිම හෝ ස්වාමිපුරුෂයන්ගේ දේශපාලන බලය ප්‍රබල හේතුවක් වී ඇත.

සුදු කාන්තාවක් ලංකා පාර්ලිමේන්තුවට

ලංකා ඉතිහාසයේ දෙවැනි මහ මැතිවරණය වන 1952 මහමැතිවරණයෙන් ඩොරීන් වික්‍රමසිංහ අකුරැස්ස ආසනය ජයගනිමින් පාර්ලිමේන්තුවට පිවිසීම ලංකාවේ කාන්තා දේශපාලනයේ විශේෂ කඩඉමකි.

විවාහය නිසා ලංකාව සිය පදිංචිය කරගත් ඩොරීන් බ්‍රිතාන්‍ය කාන්තාවක් වූ අතර ඇයට එරෙහි දක්ෂිණාංශික ප්‍රතිවාදීන්ගේ තර්කය වුනේ ඇය විදේශීය කාන්තාවක් සහ ඉංග්‍රීසි කතාකරන්නියක් බවය.

එහෙත් ලාංකික කාන්තාවන් අඳින සාරියකින් සැරසී ගම්දනව් සැරිසරමින් සිංහලෙන් ජනතාව ඇමතූ ඩොරීන් ඉතා ප්‍රබල සහ ප්‍රභූ පන්තියේ අපේක්ෂකයකු පරාජය කරමින් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට සමත් වූවාය.

"ආසියානු රටක පාර්ලිමේන්තුවකට මහජන ඡන්දයෙන් තේරී පත්වූ විදේශීය රටක ජන්මලාභය සහිත කාන්තාවක් හැටියට ඩොරීන් වික්‍රමසිංහ ඉතිහාසයට එක් වී ඇතැයි," ආචාර්ය කුමාරි ජයවර්ධන සඳහන් කරයි.

ඩොරීන් වික්‍රමසිංහ
ඡායාරූප ශීර්ෂ වැකිය, ඩොරීන් වික්‍රමසිංහ

1952 පත්වූ ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ කාන්තාවන් සංඛ්‍යාව දෙදෙනෙකි. ඩොරීන් වික්‍රමසිංහ සහ කුසුමා ගුණවර්ධන එම මන්ත්‍රීවරියන් දෙදෙනා වූහ.

ලංකාවේ පළමු කැබිනට් ඇමතිවරිය

1956 අගමැති SWRD බණ්ඩාරනායක ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරිය ලෙස පත්වූ විමලා විජයවර්ධන ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු කැබිනට් ඇමතිවරිය ලෙස ඉතිහාසයට එක්වූවාය.

තුන්වෙනි පාර්ලිමේන්තුවට මීරිගම අසුනින් තේරී පත්වූ විමලා විජයවර්ධන කැලණියේ පාරම්පරික බලයක් සහිත විජයවර්ධන පවුලේ සාමාජිකාවක් වූ අතර, 1959 අගමැති බණ්ඩාරනායක ඝාතනයත් සමඟ දේශපාලන භූමියෙන් මැකී ගියාය.

1956 පාර්ලිමේන්තුවේ කාන්තාවන් සිව් දෙනෙක් නියෝජනය වූහ.

විමලා විජයවර්ධන (මීරිගම) කුසුමා ගුණවර්ධන (කිරිඇල්ල) විවියන් ගුණවර්ධන (උතුරු කොළඹ) කුසුමා රාජරත්න (ඌව -පරණගම) මහජන ඡන්දයෙන් පත්වූ මන්ත්‍රීවරුන් 95 දෙනෙකු අතර සිටි කාන්තාවන් සිව්දෙනා වූහ.

ඔවුන් අතරින් පසුකාලීන දේශපාලනයේ ද ඉදිරිපෙළේ දේශපාලන චරිතයක් වූ විවියන් ගුණවර්ධනගේ පාර්ලිමේන්තු ආගමනය බෙහෙවින් සාකච්ඡාවට ලක්වූ මාතෘකාවක් විය.

පළමු අගමැතිවරිය ලංකාවෙන්

ලංකා දේශපාලන ඉතිහාසයේ පළමු අගමැතිවරිය ලෙස පත් සිරිමා රත්වත්තේ බණ්ඩාරනායක ලෝකයේ පළමු අගමැතිවරිය ලෙස ගෞරවයට පාත්‍ර වූවාය.

ලෝකයේ පළමු අගමැතිනිය

එහෙත් "කුස්සිය හුරු ගැහැනියකට රටක් පාලනය කළ නොහැකි" බව පවසමින් "වැන්දඹුවක් දේශපාලනයට අවතීර්ණවීම" ප්‍රශ්න කළ ප්‍රතිවාදීන් විසින් එල්ල කරන ලද දේශපාලන අවමානයන්ට මුහුණ දීමටත් ඇයට සිදුවිය.

එතැන් පටන් ඇතැම් විචාරකයන් විසින් "වැන්දඹු දේශපාලනයේ ආරම්භය" ලෙස විග්‍රහ කරන එම කාන්තා දේශපාලන ආගමනයට 1994 ජනාධිපතිවරණයට තරඟ වැදුන ශ්‍රීමා දිසානායක සහ පළමු අගමැතිවරියගේ දියණියක වන ශ්‍රී ලංකාවෙන් බිහිවූ දෙවැනි අගමැතිවරිය මෙන්ම පළමු ජනාධිපතිවරිය බවට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගත් ඇතුළත් කරනු ලැබ ඇත.

ඒ හැරුන විට ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමට පෙර සහ පසු පාර්ලිමේන්තුව නියෝජනය කර ඇති බොහෝ කාන්තාවන් පිය උරුමය හෝ ස්වාමිපුරුෂයාගේ දේශපාලන බල ව්‍යුහය තුළින් මතු වී ඇති අතර එම පරාසයට ඇතුළත් නොවන්නේ අතලොස්සක් කාන්තා නියෝජිතයන් පමණි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක MHM අෂ්රොෆ්ගේ හදිසි අභාවයෙන් පසු ඔහුගේ බිරිඳ වූ ෆේරියල් අෂ්රොෆ් පාර්ලිමේන්තුවට පත්වූවාය. ඇය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ අන්ජාන් උම්මා ශ්‍රී ලංකාවේ මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මුස්ලිම් මන්ත්‍රීවරියන් දෙදෙනා වෙති.

ප්‍රමාණවත් නොවන නියෝජනයක්

ශ්‍රී ලංකාවේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසය විමසන විට කාන්තා නියෝජනය කිසිදු ආකාරයකට ප්‍රමාණවත් නොවන බව සමාජ-දේශපාලන විද්‍යාඥයන්ගේ විග්‍රහයයි.

චන්ද්‍රිකා කුමාරතුංග

1932 දී එක් මන්ත්‍රීවරියකගෙන් ආරම්භ වූ කාන්තා ව්‍යස්ථාදායක නියෝජනයේ වැඩිම සංඛ්‍යාව දහතුන ඉක්මවා නැත. 1977 මැතිවරණයට පෙර දිගටම තනි අංකයකින් වාර්තා වූ කාන්තා මන්ත්‍රී සංඛ්‍යාව 1965 තෙක්ම පහකටත් අඩුවෙන්ද, 1977 තෙක් දහයකටත් අඩු සංඛ්‍යාවලින් වාර්තා විය.

විසිඑක්වෙනි සියවසේ පළමු දශකය තුළ එම සංඛ්‍යාව දහය ඉක්මවා ගියද එය දහතුනේ ඉලක්කම පසුකිරීමට අසමත් මට්ටමක් පවතී.

සමස්ත මන්ත්‍රීවරුන් 225 ක් නියෝජනය කරන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට 2010 මෙන්ම 2015 මැතිවරණයේදීද පත්ව සිටියේ කාන්තාවන් දහතුන්දෙනෙක් පමණි. ඔවුන් අතරින්ද කිහිපදෙනෙක් නිළියන් හෝ රූප රාජිනියන් වූහ.

ආසියාතික පුරුෂ මූලික ශ්‍රී ලාංකික සමාජය තුළ "ගැහැණිය දරුවන් බලාකියා ගනිමින් ගෙදොරදොරේ වැඩ කටයුතුවලට මුල්තැන දිය යුතුය" යන මුල්බැසගත් පාරම්පරික සමාජ විඥානය කාන්තා දේශපාලන සහභාගිත්වයට තවමත් බාධාවක්ය යන්න දේශපාලන විද්‍යාඥයන්ගේ විශ්ලේෂණයයි.

එපමණක් නොව සමාජයේ පවතින කාන්තා හිංසනය ඔවුන් දේශපාලනයෙන් ඈත් කරනු ලැබීමට හේතුවක් වී ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළත් කාන්තා හිංසනය සිදුවෙන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි (පබා) ප්‍රකාශ කළාය.

මව් පදවිය ලද මන්ත්‍රීවරියකට දරුවකුට මව්කිරි දීම සඳහා සුදුසු ස්ථානයක් නොමැති බව හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නීය.

හඬ ශීර්ෂ වැකිය, උපේක්ෂා ස්වර්ණමාලි

තවත් කියවන්න: