'බොරළුගොඩ'පවුලට රාජ්‍ය නායකත්වය අකැපද? පිලිප් ගුණවර්ධන පරපුරේ දේශපාලන ඉරණම

පිලිප් ගුණවර්ධන

ඡායාරූප මූලාශ්‍රය, Philip Gunawardena Foundation

ඡායාරූප ශීර්ෂ වැකිය, පිලිප් ගුණවර්ධනගේ වේගවත් චතුර වාග් ශෛලිය සහ ප්‍රදර්ශනය කළ සටන්කාමිත්වය නිසා ඔහු "බොරළුගොඩ සිංහයා" බවට පත්විය
    • Author, උපාලි ගජනායක
    • Role, BBC සිංහල

ආසියානු දේශපාලනයේ 'පවුල් ආධිපත්‍යය' දේශපාලන විශ්ලේෂකයන්ගේ නොමඳ විමසුමට ලක් වූ විෂය ක්ෂේත්‍රයකි. විශේෂයෙන්ම දකුණු ආසියානු රටවල දේශපාලන බල පොරය බොහෝ විට සිදු වන්නේ පවුල් කීපයක් අතර බව එම විශ්ලේෂණ බොහොමයක් මගින් පෙන්නුම් කෙරෙයි.

ඉන්දියාවේ නේරු පවුල, පාකිස්තානයේ අලි බූතෝ පවුල සහ නවාෂ් ෂරීෆ් පවුල, බංග්ලාදේශයේ ෂේක් මුජිබර් රහ්මන් පවුල සහ බෙගම් කලීඩා ෂියා පවුල වැනි බල දේශපාලනය කෙරෙහි පවුල් ආධිපත්‍යය පතුරුවනු ලබන ප්‍රභූ දේශපාලනයක් යටත්විජිත පාලන සමයේ පටන්ම ලංකාවේත් මුල්බැස ගෙන ඇත.

සේනානායක සහ ඔබේසේකර පවුල් නිදහසට පෙර පටන්ම ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන බල තරඟයේ ඉදිරියෙන්ම සිටි "සාම්ප්‍රදායික" දේශපාලන පවුල් ලෙස ආචාර්ය කුමාරි ජයවර්ධනගේ දීර්ඝ දේශපාලන විශ්ලේෂණ මගින් (Nobodies to Somebodies : The Rise of the Colonial Bourgeoisie in Sri Lanka) හඳුනා ගනු ලැබ ඇත.

මේ අතර "ශ්‍රී ලංකාව විසින් වාමාංශයට නැඹුරු ප්‍රධාන දේශපාලන පවුල් තුනක් බිහිකර ඇත. එනම් බණ්ඩාරනායක, රාජපක්ෂ සහ ගුණවර්ධන පවුල් " යයි දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

ශ්‍රී ලංකාවේ එම ප්‍රභූ දේශපාලන පවුල් අතරින් සේනානායක, බණ්ඩාරනායක සහ රාජපක්ෂවරුන් දේශපාලන නිදහසින් අනතුරුව වරින්වර රාජ්‍ය බලය හුවමාරු කර ගනිමින්, දේශපාලන බලවේග මට්ටමින් ක්‍රියාත්මක වෙමින් ඇතත්, නිදහසට පෙර පටන් සක්‍රීය දේශපාලන බලවේගයක් වූ 'ගුණවර්ධන පවුල' රාජ්‍ය බලය අතින් තවමත් සිටින්නේ බොහෝ ඈතිනි.

සේනානායක, බණ්ඩාරනායක සහ රාජපක්ෂ පවුල්වලට අමතරව ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලන බලය දිනාගත් වලව්කාරයකු නොවූ ධනවත් ජේ ආර් ජයවර්ධන වෘත්තියෙන් නීතිවේදියකු වූ අතර, රණසිංහ ප්‍රේමදාස සාමාන්‍ය ජනයා අතරින් පැමිණි 'සමාජ සේවකයකු' ද, ඩිංගිරි බණ්ඩා විජේතුංග රජයේ නිලධාරියකු ද විය.

රොබට් ගුණවර්ධන

ඡායාරූප මූලාශ්‍රය, Philip Gunawardena Foundation

ඡායාරූප ශීර්ෂ වැකිය, රොබට් ගුණවර්ධන-බෝගම්බර සිරගෙය බිඳ පිලිප් ඇතුළු සමසමාජ සිරකරුවන් මුදාගැනීමේ බොරළුගොඩ විරුවෙක්

ලංකාවේ සමාජවාදයේ පියා

පවුලක් වශයෙන් ගත්විට 'ගුණවර්ධන පවුලේ' දේශපාලන මැදිහත්වීමේ ඉතිහාසය, ලංකාවේ දේශපාලන බලය දිනා ගැනීමට සමත් වූ සෙසු පවුල්වලට සාපේක්ෂව ඒවාට දෙවෙනි නොවෙනවා පමණක් නොව ඇතැම් කරුණු අතින් වඩාත් ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගනී.

'ගුණවර්ධන දේශපාලනයේ' ආරම්භකයා වන දොන් පිලිප් රූපසිංහ ගුණවර්ධන (1901-1972) පාරම්පරික ප්‍රාදේශීය ප්‍රභූ ආධිපත්‍යයක් සහිත බොරළුගොඩ පරපුරේ උරුමකරුවකු වූ අතර, ආරම්භයේ දීම ඔහු ජාතික මට්ටමින් කීර්තිමත් වූයේ "බොරළුගොඩ සිංහයා" යන දේශපාලන විරුදාවලිය හිමිකර ගනිමිනි.

පිලිප් ගුණවර්ධන ඇමෙරිකා එක්සත් ජනපදයේ උසස් අධ්‍යාපනය (University of Wisconsin) හමාර කරමින්, අනතුරුව බ්‍රිතාන්‍යයේ දී සහ යුරෝපයේ වෙනත් රටවල දී මාක්ස්වාදී සංවිධාන පමණක් නොව එවකට යටත්විජිත රටවල විමුක්ති ව්‍යාපාරයන්ට උර දෙමින් සිටි ජාතික නායකයන් සමඟ ක්‍රියාකාරී දේශපාලනය තුළින් ලද අත්දැකීම් ද රැගෙන, 1932 වසරේ ලංකාවට (Ceylon) සැපත්වූයේ සියරට තුළ නව දේශපාලන කඩයිමක් ද සලකුණු කරමිනි. එනම් සෙසු වාමාංශික නායකයන් ද සමඟ 'සූරිය මල් ව්‍යාපාරය' සහ අනතුරුව ලංකාවේ පළමු දේශපාලන පක්ෂය (ලංකා සම සමාජ පක්ෂය) සමාරම්භ කිරීමට මුල පුරමිනි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිටියදීම මාක්ස්වාදී ආභාෂය ලද පිලිප් අනතුරුව, බ්‍රිතාන්‍යයේ වාමාංශික පක්‍ෂ සහ වෘත්තීය සමිති ව්‍යාපාරය සමඟ කටයුතු කළ අතර පසුව දේශපාලන දර්ශනය අතින් "ට්‍රොට්ස්කිවාදියකු" බවට පත්විය.

ශ්‍රී ලංකාවේ සෙසු දේශපාලන නායකයන් සමඟ සාපේක්ෂව බලන විට පිලිප් ගුණවර්ධන ශ්‍රී ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තර දේශපාලනය තුළත් වැඩියෙන්ම ක්‍රියාත්මක වූ දේශපාලන ක්‍රියාධරයා ලෙස ඉතිහාසගත වෙයි.

ලංකාවේ ව්‍යවස්ථාදායක පාලන සම්ප්‍රදාය තුළ නියෝජනය වූ පළමු පරපුරේ දේශීය නායකයන් අතර වඩාත් අවධානයට සහ සාකච්ඡාවට ලක් වූ දේශපාලනඥයා පිලිප් ගුණවර්ධන බවට සැකයක් නැත.

යටත්විජිත විරෝධී නායකයන් ලෙස කරළියට පැමිණි ජවහර්ලාල් නේරු (ඉන්දියාව) ක්‍රිෂ්ණ මෙනන් (ඉන්දියාව) ජෝමෝ කෙන්යාටා (කෙන්යාව) ටැං මලකා (ඉන්දුනීසියාව) එස්.රාමගුලාම් (මුරුසිය) වැනි ආසියා - අප්‍රිකා නායකයන් සමඟ කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් ඔහු සතු විය.

ඇමෙරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් කීපයකම වෘත්තීය සමිති සහ වාමාංශික දේශපාලන සංවිධාන සමඟ ක්‍රියාත්මක වූ පිලිප් ගුණවර්ධන පිරණීස් කඳුවැටිය තරණය කරමින් ස්පාඤ්ඤ සටන්කාමීන්ට එක්වීමේ ප්‍රයත්නයක යෙදුන අතර, ඔහු ඉන් අනතුරුව ඉන්දියාවේ නිදහස් අරගලයට ද සක්‍රීය ලෙස දායක වූ දේශපාලන ක්‍රියාකාරිකයකු වූ බව 'ස්කොට්ලන්ඩ්යාර්ඩ්' රහස් පොලිස් වාර්තා වලට ඇතුළත්ව ඇත.

ඔහු යුරෝපයේ සිට නැවත ලංකාවට පැමිණි මොහොතේ (1932) ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිරාජ්‍ය පාලකයන් විසින් ඔවුන්ගේ භාරයට ගනු ලැබුණි.

කුසුමා ගුණවර්ධන

ඡායාරූප මූලාශ්‍රය, Philip Gunawardena Foundation

ඡායාරූප ශීර්ෂ වැකිය, කුසුමා ගුණවර්ධන-1947 පටන් 1960 තෙක් පාර්ලිමේන්තුව නියෝජනය කළාය

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයට සහ දේශීය ප්‍රභූ තන්ත්‍රයට අභියෝග කරමින් 'සමසමාජ ව්‍යාපාරය' පෙරට ගෙනයමින් ලංකාවේ සමාජවාදී පාලනයක් සඳහා දුන් නායකත්වය සමඟ ඔහු "ලංකාවේ සමාජවාදයේ පියා" බවට ද පත් විය.

එවැනි ඉතිහාසයක් සහිත දේශපාලන පවුලක් එහි දේශපාලන ගමන්මගෙහි නිර්මාතෘවරයා නතර වූ තැනින් ඔබ්බට නොයාම ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන ආධිපත්‍යය පිළිබඳ සාකච්ඡාවේ එක් මාතෘකාවක් වෙයි.

බොරළුගොඩ සිංහයා

සියරට ආගමනයෙන් වසර හතරක් තරම් කෙටි කාලයක් ඇතුළත, 1936 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අවිස්සාවේල්ල ආසනය දිනා ගනිමින් ජාතික මට්ටමින් ඉක්මන් දේශපාලන ගමනක් ආරම්භ කිරීමට 'බොරළුගොඩ සිංහයා' සමත් විය.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිවත්, අනිත් අතින් 'එක්තරා අවධියක' ඔහුගේම වචනයෙන් නිර්වචනය කෙරුණ පරිදි "අධිරාජ්‍යගැති දේශීය ධනේශ්වර පන්තියට" එරෙහිවත් එල්ල කරන ලද වේගවත් සහ නිර්දය වාග් ප්‍රහාර මගින් පිලිප් ගුණවර්ධන නම් දේශපාලනඥයා, නිර්භීත නායකයකු ලෙස සමාජගත වූයේ විශාල වේගයකිනි.

පිලිප් ගුණවර්ධන

ඡායාරූප මූලාශ්‍රය, Philip Gunawardena Foundation

ඡායාරූප ශීර්ෂ වැකිය, දිනේෂ්, ගීතාංජන, ප්‍රසන්න, ඉන්දික, සහ ලක්මාලි දරුවන් සමඟ පිලිප් සහ කුසුමා 1960 දශකයේ මැද භාගයේ

පිලිප් ගුණවර්ධන ඇතුළු ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කළ ට්‍රොට්ස්කිවාදීන් දෙවන ලෝක මහා යුද්ධය අවධියේ සිරගත කරනු ලැබීම සහ බොරලුගොඩ දේශපාලන පරපුරේ තවත් පුරුකක් වන පිලිප්ගේ සොහොයුරු රොබට් ගුණවර්ධන එම සමසමාජ සිරකරුවන් සිරගෙය බිඳ ඉන්දියාවට ගෙනයාම ආදී අපූරු මෙහෙයුම් ආදිය ඔවුන්ගේ නිර්භීතභාවය ශක්තිමත් ලෙස සමාජය තුළ මුල්බැස ගැනීමට ඉවහල් වූ ප්‍රබල දේශපාලන අරගල විය.

නව යටත්විජිත ලංකාවේ දේශපාලන බල හුවමාරුව බ්‍රිතාන්‍ය නිලධාරීන් සහ 'සේනානායකවරුන්' අතර සිදු වීමේ පෙරනිමිති යටත් විජිත පාලන සමයේ අවසන් අදියරේ පටන්ම ප්‍රදර්ශනය වෙමින් තිබුණ අතර ඊට විකල්ප දේශපාලන නායකත්වය පිලිප් ගුණවර්ධන ප්‍රමුඛ වාමාංශික බලවේගය බවට එවකට රටතුළ හැඟීමක් විය.

1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් ගුණවර්ධන පවුලේ දෙදෙනෙක් පාර්ලිමේන්තුවට පිවිසුනහ. ඔවුන් දෙදෙනා පිලිප් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳ කුසුමා ගුණවර්ධනය.

බණ්ඩාරනායක රජ කරවීම

1956 අගමැති බණ්ඩාරනායකගේ නායකත්වයෙන් මහජන එක්සත් පෙරමුණේ ආණ්ඩුව නිර්මාණය කිරීමේ ප්‍රධානතම සැලසුම්කරුවකු වූයේ පිලිප් ගුණවර්ධනය.

පිලිප් ප්‍රමුඛ වාමාංශික ව්‍යාපාරය මගින් 1931 පටන් සමාජගත කරන ලද අධිරාජ්‍ය විරෝධී අරගලයේ කීර්තිය සහ සමාජවාදය පිළිබඳ දර්ශනය බණ්ඩාරනායක පවුලේ දේශපාලන වාසියට බැර වූ අතර පිලිප් ගුණවර්ධන එම ආණ්ඩුවේ ඇමතිවරයකු පමණක් බවට පත්විය.

"කුඹුරු පනත" වැනි අණ පනත් මගින් ලංකාවේ අඳ ගොවීන්ගේ අයිතිය සහතික කර දීමට සහ එම ආණ්ඩුවේ ජනසතු පිළිවෙතේ පුරෝගාමියකු ද වූ පිලිප් ගුණවර්ධන ඒ වෙනුවෙන් ලද "දේශපාලන ප්‍රතිලාභය" අගමැති බණ්ඩාරනායක විසින් ඔහු පමණක් නොව ඔහුගේ දේශපාලන සගයන් ද එම ඇමති පදවිවලින් ඉවත් කරනු ලැබීමය.

දිනේෂ්

ඡායාරූප මූලාශ්‍රය, Philip Gunawardena Foundation

ඡායාරූප ශීර්ෂ වැකිය, දිනේෂ් ගුණවර්ධන (පා.ම.)

1930 දශකයේ පටන් 1970 තෙක් පිලිප් ගුණවර්ධන පවුලේ දේශපාලන භූමිකාව ජාතික දේශපාලනයේ තීරණාත්මක සාධකයක් විය.

'පිලිප්' සිවිල් අයිතිය අහිමි කාලසීමාව හැර අඛන්ඩවද,ඔහුගේ බිරිඳ 'කුසුමා' 1947 පටන් 1960 දක්වාද, අනතුරුව පිලිප් ගේ සොහොයුරු රොබට් ගුණවර්ධන පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර, ගුණවර්ධන පවුලට අයත් 'විවියන්' සමසමාජ ව්‍යාපාරයේ දිගටම නිරත වෙමින් සටන්කාමී දේශපාලන චරිතයක් හැටියට ක්‍රියාත්මක වූවාය.

සිය දෙමව්පියන් ඉන්දියාවට පළාගොස් සිටි අවධියේ ජන්මලාභය ලද, එසේම ළදරුවකුව තම දෙමව්පියන් සමඟ ඉන්දියාවේ සිරගතව සිටි පිලිප්ගේ වැඩිමහල් පුත් 'ඉන්දික (රාමසාමි) ගුණවර්ධන' සිය පියාගේ දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් කොමියුනිස්ට් පක්ෂයට එක්ව සිටි අතර දිනේෂ් ගුණවර්ධන සිය පියාගේ මහජන එක්සත් පෙරමුණට නායකත්වය දෙයි.

පිලිප් නැවතුන තැනම

පිලිප් ගුණවර්ධන නමැති දේශපාලන දැවැන්තයා සිය දේශපාලන ජීවිතය අවසන් කරන ලද්දේ බණ්ඩාරනායක සහ සේනානායක ආණ්ඩුවල ඇමති පදවි සමගිනි.

බොරළුගොඩ දේශපාලන පරපුර ඔවුන්ගේ දේශපාලන ගමන්මගෙහි නිර්මාතෘවරයා නතර වූ එම ස්ථානයෙන් ඔබ්බට නොයාම ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලන ආධිපත්‍යය පිළිබඳ සාකච්ඡාවේ දී පාඩම් සහිත වැදගත් මාතෘකාවක් වෙයි.

බොරළුගොඩ පවුලේ ඊලඟ දේශපාලන පරපුර නියෝජනය කරන ලද්දේ ඉන්දික, දිනේෂ් සහ ගීතාංජන වූ අතර, ඉන්දිකගේ අභාවයෙන් පසුව දැනට ජාතික මට්ටමින් දේශපාලනයේ රැඳී සිටින්නේ දිනේෂ් ගුණවර්ධන පමණි.

1970 මහ මැතිවරණයේ දී සිය පියා සහ මව නියෝජනය කළ දේශපාලන කඳවුරට(එජාපය ප්‍රමුඛ දේශපාලන හවුල) එරෙහිව එළිපිටම සටන් වදිමින්, දෙටුපුත් ඉන්දික ගුණවර්ධන පවුල අභ්‍යන්තරයේ ගසන ලද දේශපාලන කැරැල්ල ඔහු විකල්ප දේශපාලන ආස්ථානයක් කරා ගෙනගිය අතර, කොමියුනිස්ට් පක්‍ෂයේ නියෝජනය සහිතව චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේ ඇමති පදවියකින් ඔහුගේ දේශපාලන ගමන අවසන් විය.

දේශපාලන පවුල් තුනක නායකයන්

ඡායාරූප මූලාශ්‍රය, daily news/Philip Gunawardena Foundation

ඡායාරූප ශීර්ෂ වැකිය, දේශපාලන පවුල් තුනක නායකයන් - ඩී.ඒ.රාජපක්ෂ. SWRD බණ්ඩාරනායක සහ පිලිප් ගුණවර්ධන

පිලිප්ගේ අභාවයත් සමඟ මහජන එක්සත් පෙරමුණ පිය උරුමය අනුව දිනේෂ් ගුණවර්ධන ගේ හස්තය යටතට පත්විය.

දිනේෂ් ගුණවර්ධන ගේ මග පෙන්වීම අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත මහජන එක්සත් පෙරමුණ තවමත් ලබා ඇති ඉහළම ස්ථානය (ප්‍රධාන පෙළේ නොවන) ජනාධිපතිවරුන් දෙදෙනකු යටතේ කැබිනට් ඇමති පදවියක් පමණි. (ගීතාංජන ගුණවර්ධන නියෝජ්‍ය අමති පදවියක් දැරීය)

1960 මාර්තු සහ ජූලි මහ මැතිවරණවලින් පසු මහජන එක්සත් පෙරමුණ කෙළින්ම ආණ්ඩු බලය දිනා ගැනීමේ මැතිවරණ සටනකට යොමුව නැති අතර, 1965 මාර්තු මැතිවරණයේ පටන් එම පක්ෂයේ දේශපාලන උපාය මාර්ගය වී තිබෙන්නේ නිතරඟ ගිවිසුම් හෝ සන්ධාන දේශපාලනයයි.

1988 මහ මැතිවරණයේ දී තනිව තරඟ කරමින් දේශපාලන ගමනක් යාමේ යම් ශක්‍යතාවක් ඇති බව පෙන්නුම් කළත් එම ශක්තිය වර්ධනය කර ගැනීමට නොව යටත් පිරිසෙයින් එම මට්ටමේවත් පවත්වා ගැනීමට මහජන එක්සත් පෙරමුණ අපොහොසත් විය.

එහි අනිවාර්ය ප්‍රතිවිපාකය වුණේ මහජන එක්සත් පෙරමුණ ප්‍රධාන දේශපාලන දහරාවෙන් වේගයෙන් ඈත්වෙමින් කුමක් හෝ සන්ධානයක කොටසක්ව එක්තරා ආකාරයක "පරපෝෂිත දේශපාලනයක්" තුළ කොටු වීමකි.

පිලිප් ගුණවර්ධන

ඡායාරූප මූලාශ්‍රය, Philip Gunawardena Foundation

ඡායාරූප ශීර්ෂ වැකිය, අගමැති ඩඩ්ලි සේනානායකගේ 1965 කැබිනට් මණ්ඩලය - පිලිප් ගුණවර්ධන වමේ සිට තුන්වෙනි ස්ථානයේ

2015 ජනවාරි අටෙන් පසු

2015 ජනවාරි මාසයේ අටවෙනිදා ලද 'අනපේක්‍ෂිත' දේශපාලන පරාජයෙන් අනතුරුව සාකච්ඡාවක දී අදහස් දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ "දැන් තමන්ට ඇති එකම තෝරා ගැනීම දිනේෂ් ගුණවර්ධන" යයි කියා සිටි බව දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පවසයි,

දේශීය මෙන්ම කලාපීය මට්ටමෙන් පවතින අභියෝග සමාලෝචනය කරන ආචාර්ය ජයතිලක මෙසේ යෝජනා කරයි.

"දිනේෂ් ගුණවර්ධන ජනාධිපති ධූර අපේක්ෂකයා වශයෙන්ද, මහින්ද රාජපක්ෂ බලගතු අගමැති අපේක්ෂකයා වශයෙන්ද ඉදිරිපත් කළහොත් සිංහල සහ දමිළ ජාතිකවාදී මැසිවිලි සමස්ථයක් වශයෙන් ශ්‍රී ලාංකික ජාතික අභිලාෂයන් සමඟ සමපාත වනු ඇත."

එහෙත් දිනේෂ් ගුණවර්ධන දැනට නියෝජනය වෙන විපක්ෂ බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයා හැටියට මහින්ද රාජපක්ෂ විසින්ම ගෝඨාභය රාජපක්ෂ දැනටමත් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති දේශපාලන පරිසරයක් තුළ ආචාර්ය ජයතිලකගේ අපේක්ෂාවන්ට තවදුරටත් වලංගුභාවයක් නොමැති අතර, ඔවුන්ගේ අගමැති අපේක්ෂකයා දිනේෂ් ගුණවර්ධන නොව මහින්ද රාජපක්ෂ වුනොත් "ගුණවර්ධන පවුලේ' දේශපාලනය තවත් කැබිනට් ඇමති පදවියකින් පමණක් නිමවීමට ඇති ඉඩකඩ බොහෝ වැඩි බව" දේශපාලන විශ්ලේෂකයන්ගේ තක්සේරුවයි.

බෝතලේ වලව්වෙන් හොරගොල්ල වලව්වටත්, හොරගොල්ල වලව්වෙන් මැදමුලන වලව්වටත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනයේ කේන්ද්‍රීය බලය හුවමාරු වුනත් බොරළුගොඩ වලව්ව කරා එම බලය තවමත් හුමාරු නොවීමට බල පෑ හේතු සාධක ශ්‍රී ලංකාවේ දේශපාලන බල හුවමාරු පිළිබඳ සාකච්ඡාවක දී අමතක කළ නොහැකි මාතෘකාවකි.

කියවන්න;