කාන්තා නියෝජනය: ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ තරුණයන්ට බයද?

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ වාර්තාව

ඡායාරූප මූලාශ්‍රය, IPU

ඡායාරූප ශීර්ෂ වැකිය, ලොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයය

අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකට අනුව ලොව පුරා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190 ක කාන්තා නියෝජනය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයය.

මෙය ශ්‍රී ලංකා සමාජය තුළ දෛනිකව අත්දැකීමට ලැබෙන සංසිද්ධියක් වුවත් මේ ආකාරයට සිතියම් ගත වී ජාත්‍යන්තර වාර්තාවකින් එළිදැක්වූ අවස්ථාවේ 'කිසියම් චකිතයක්' ද ඇති වූ බව කාන්තා නියෝජනය වැඩිකිරීමේ උත්සාහයක නිරතව සිටින ක්‍රියාකාරිකයෝ පවසති.

"මොකද සාමාන්‍යයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනුවෙන් වුවත් ලංකාව සාමාන්‍යයෙන් ඉහල තත්වයක තමයි ඉන්නේ," බව 'හෑෂ්ටෑග් පරපුර' (Hashtag Generation) තරුණ කණ්ඩායමේ සෙනෙල් වන්නිආරච්චි පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ මහජන නියෝජන ආයතන තුළ කාන්තා නියෝජනය වැඩිකිරීම උදෙසා ස්වේච්ඡා පුහුණු වැඩසටහන් සම්පාදනය කිරීම උදෙසා ඔහු මේ වසරේ බ්‍රිතාන්‍ය රැජිනගේ තරුණ නායකයෙකු ලෙස තෝරාගෙන තිබේ.

සිරිමාවෝ බණ්ඩානායක අගමැතිනිය
ඡායාරූප ශීර්ෂ වැකිය, ලෝකයේ ප්‍රථම අගමැතිනිය බිහි කළ ශ්‍රී ලංකාවේ කාන්තා නියෝජනය මෙතරම් පහල වැටුනේ ඇයි?

"විශේෂයෙන්ම කලාපයේ දත්ත දිහා බැලුවොතින් අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ අංශවලින් ලංකාව ගොඩක් ඉදිරියෙන් ඉන්නේ."

එහෙත් කාන්තා නියෝජනය වැඩිකිරීම පිණිස කාන්තාව දේශපාලනයේ නිරතවීම මෙන්ම එසේ ඉදිරිපත්වන කාන්තාවන්ට ඡන්දදායක කාන්තාවන්ගේ සහයෝගය ලැබීමත් අත්‍යවශ්‍ය සාධකයක් නොවන්නේ ද?

එය පිළිගන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාන්තා සංවිධානයේ කාරක සභික ජීවනී කාරියවසම්, රටේ සමස්ත 'දේශපාලන සංස්කෘතිය' පුළුල් සංශෝධනයකට ලක්වීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන්නීය.

"කාන්තාවන් 1.98 ක වගේ ප්‍රතිශතයක් තමයි නගර සභාවල ඉන්නේ. පළාත් සභාවල 4% යි. පාර්ලිමේන්තුවේ 4-5% වගේ. ඉතින් 50% ක ජනගහනයක් වෙනුවෙන් මේ නියෝජනය විකෘතියක් නෙවෙයිද," බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඇය සඳහන් කළාය.

පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂිකාවක ලෙසින් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තු වූ ඇයට එවර අපේක්ෂකත්වය හිමි නොවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංවාදයට බඳුන් වී තිබුණි.

"බොහොම ජවසම්පන්න, බලප්සම්පන්න කාන්තාවන් ඉන්නවා. ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඔය ප්‍රධාන පක්ෂ දෙකම බයයි"

ඡායාරූප මූලාශ්‍රය, Jeevanee Kariyawasam/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, "බොහොම ජවසම්පන්න, බලසම්පන්න කාන්තාවන් ඉන්නවා. ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඔය ප්‍රධාන පක්ෂ දෙකම බයයි"

කාන්තා නියෝජනය වැඩිකිරීම සම්බන්ධ ගැටලුවට තිරසාර විසඳුමක් ලබාදීම පැහැදිලිවම ශ්‍රී ලාංකික සමාජයේ පුරවැසියන්ගේ (Behavioural change) චර්යාත්මක වෙනසක් සිදුවිය යුතු බව සෙනෙල් වන්නිආරච්චි ද අවධාරණය කරයි.

1960 දී සිරිමාවෝ බණ්ඩානායක අගමැති පදවියට පත්කරගනිමින් ලොව පළමු අගමැතිනිය බිහිකළ ශ්‍රී ලංකාව, පසුව ඇයගේ දියණිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, විධායක ජනපතිනිය ලෙසින් තෝරා පත්කර ගත්තාය.

එහෙත් කාන්තාවන් රාජ්‍ය නායකත්වයට පත්කළ පමණින් හෝ කාන්තා නියෝජනය වැඩි වූ පමණින් ශ්‍රී ලංකාවේ කාන්තාවන් පෙළන සියළු ගැටලුවලට විසඳුම් ලැබෙන්නේද?

"පැහැදිලිවම නැහැ," ඒ ප්‍රශ්නයට සෙනෙල් වන්නිආරච්චිගේ පිළිතුර එයය.

"නමුත් කාන්තා නියෝජනය අනිවාර්යයෙන්ම වැඩිවිය යුතුයි. මොකද උදාහරණයක් විදියට මහමගදී, වැඩපොලේදී කාන්තාව මුහුණදෙන ලිංගික හිංසනය ගැන පුරුෂයන්ට දැනුමක් නැහැ."

"සාමාන්‍යයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනුවෙන් වුවත් ලංකාව සාමාන්‍යයෙන් ඉහල තත්වයක තමයි ඉන්නේ"

ඡායාරූප මූලාශ්‍රය, Senel Wanniarachchi

ඡායාරූප ශීර්ෂ වැකිය, "සාමාන්‍යයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය වෙනුවෙන් වුවත් ලංකාව සාමාන්‍යයෙන් ඉහල තත්වයක තමයි ඉන්නේ"

ජීවනී කාරියවසම් ද එය අනුමත කරන්නීය.

"ලංකාවේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ස්ත්‍රී දේශපාලනය වෙනුවෙන් සටන් කරපු ස්ත්‍රීන් ඉන්නවද කියල. ඉතින් එහෙම පුහුණුවක් ලැබීම සඳහා පැහැදිලිවම ස්ත්‍රී දේශපාලනය ගැන කතිකාව හරි තනකට එන්න ඕනේ," ඇය සඳහන් කළාය.

එහිදී කාන්තාවන්ට සහ දක්ෂ තරුණ පරපුරට ඉදිරියට ඒමේ අවස්ථා අහිමි කරන බවට ඇය ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම චෝදනා කරන්නීය.

"බොහොම ජවසම්පන්න, බලසම්පන්න කාන්තාවන් ඉන්නවා. ඒගොල්ලන්ට අවස්ථාව දෙන්න ඔය ප්‍රධාන පක්ෂ දෙකම බයයි."

එබැවින් දේශපාලන පක්ෂ ඉදිරිපත් කරන අපේක්‍ෂිකාවන් වෙනුවෙන් සිය ඡන්ද භාවිත කිරීමට ඡන්දදායකයන් ද මැලිකමක් දක්වන බව හිටපු හලාවත නගර සභිකවරිය වැඩිදුරටත් සඳහන් කළාය.