පළාත් 5කට සහ දිස්ත්‍රික්ක 3කට මි.මී. 200ට වැඩි තද වැසි අනතුරු ඇඟවීම්: ප්‍රධාන ජලාශ 16ක් වාන් දමයි

වැස්ස

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කියවීමේ කාලය: මිනිත්තු 4

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (13) උදෑසන 6.30ට නිකුත් කර ඇති අවවාදාත්මක නිවේදනයක බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා තද වැසි පිළිබඳව අනතුරු අඟවා තිබේ.

බස්නාහිර, සබරගමුව පළාත්වලට සහ පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මි.මී. 200 ඉක්මවූ ඉතා තද වැසි ඇති විය හැකි බවට එම නිවේදනයේ සඳහන් වේ.

දිවයින ආසන්නයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි විය හැකි ය.

ගිගුරුම් සහිත තද වැසි සමග ඇති විය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මෙම අවවාදාත්මක නිවේදනය අද [මැයි 13] සවස 3.30 දක්වා වලංගු වේ.

colombo raining

ගත වූ පැය 22 තුළ වැඩි ම වර්ෂාපතනය කැස්බෑව ප්‍රදේශයෙන්

ගත වූ පැය 22 තුළ වැඩි ම වර්ෂාපතනය වූ මි.මී. 204ක අගයක් කැස්බෑව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ, වේයන්ගොඩ ප්‍රදේශයට මි.මී. 145.5ක් සහ වතුපිටිවලට මි.මී. 105.5ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

මේ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ ගිලීමලේ ප්‍රදේශයට මි.මී. 121ක වර්ෂාපතනයක් ලැබී තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගමට මි.මී. 102.5ක් සහ හොරණට මි.මී. 101.5ක වැස්සක් ලැබී ඇත.

ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් වාන් දමයි

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ප්‍රධාන ජලාශ 16ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 17ක් මේ වන විට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමණාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් පවසන්නේ, අද [මැයි 13] පෙරවරු 6.00 වන විට මෙම තත්ත්වය වාර්තා වූ බව ය.

වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගණය ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹේවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මවුආර, ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත් වේ.

එසේ ම, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මාගල්ල සහ දැදුරුඔය ජලාශ ද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශ ද, මොණරාගල දිස්ත්‍රික්කයේ අලිකොටආර ජලාශය සහ මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැව ද වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් රාජාංගණය ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 14,000කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කෙරෙමින් පවතින බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන් ම, ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 4,100කට අධික ජල ප්‍රමාණයක් කිරිඳි ඔයට නිකුත් කෙරෙන අතර, වෙහෙරගල ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තත්පරයට ඝන අඩි 2,400කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟට මුදා හරිමින් පවතී.

දිස්ත්‍රික්ක 4කට නායයෑමේ ඇම්බර් අනතුරු ඇඟවීම්

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලි මීටර් 100 ඉක්මවා ඇති බැවින් වර්ෂාව තවදුරටත් පවතියි නම් නායයෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරළීම්, පොළොව ගිලා බැසීමේ සහ පස් කණ්ඩි කඩා වැටීම් අවදානම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දිස්ත්‍රික්ක 4ක ප්‍රදේශ රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් අනතුරු අඟවා තිබේ.

අවශ්‍ය වුවහොත් ආරක්ෂාකාරී තැනකට යාමට සූදානම් වන ලෙස ද එම ආයතනය ජනතාවට දන්වා සිටියි.

එලෙස අනතුරු අඟවා ඇති ප්‍රදේශ පහත පරිදි ය.

බදුල්ල

  • පස්සර

ගාල්ල

  • නෙළුව

කළුතර

  • අගලවත්ත
  • බදුරලිය
  • මතුගම
  • හොරණ
  • වලල්ලාවිට

මහනුවර

  • පස්බාගේ කෝරළේ
  • යටිනුවර
  • උඩපළාත
  • පාතහේවාහැට
  • පන්විල
  • ගඟ ඉහළ කෝරළේ
  • ගඟවට කෝරළේ
  • අකුරණ

වැසි තත්ත්වයත් සමග නායයාම් සක්‍රීය විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ජනතාවගෙන් ඉල්ලා සිටියි.

"අනතුරුදායක ස්ථානවල නෑමට යාමෙන් වළකින්න කියලාත් අපි ඉල්ලා සිටිනවා. පහුගිය දිනවලත් එවැනි සිදුවීම් නිසා ජීවිත කිහිපයක් අහිමි වුණා," ඔහු පැවසුවේ ය.

එමෙන් ම ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බැවින් අකුණුවලින් වන හානි අවම කර ගැනීමට ද කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.