දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රී ලංකාවට සිදුවූ දරුණු බලපෑමට හේතුව දේශගුණික විපර්යාස ද?: විශේෂඥ මත සහ දත්ත ඇසුරෙන් සිදු කළ විශ්ලේෂණයක්

නාය ගිය ස්ථානයක සිටගෙන සිටින වින්දිත පවුලක්
    • Author, අමන්දිකා කුරේ
    • Role, බීබීසී සිංහල
    • Author, ස්වාති ජෝෂි
    • Role, බීබීසී දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම, නවදිල්ලිය

පසුගිය සතියක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට අධික වර්ෂාවක් ඇදහැළුණු අතර, එහි උච්ඡතම අවස්ථාවේදී දිවයින ආසන්නයේ පැවති අඩු පීඩන කලාපය සුළි කුණාටුවක් බවට පත්වී රට හරහා ගමන් කළේය.

ඒත් සමග ම ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රදේශවලට අධික වර්ෂාවක් පතිත විය.

දැඩි වර්ෂාපතනය හමුවේ ශ්‍රී ලංකාවේ දකුණු පළාත හැර සියලුම පළාත්වල ගංවතුර තත්ත්වයන් ඇතිවූ අතර මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල නායයෑම් සිදුවිය.

මෙම ගංවතුර ඇතිවූ බොහෝ ප්‍රදේශවල මහ ගංවතුර තත්ත්වයන් ඇතිව තිබිණි.

මෙවැනි ආකාරයේ ගංවතුර සහ නායයෑම් තත්ත්වයකට අවසන් වරට ශ්‍රී ලංකාව 2016 මැයි මාසයේදී මුහුණදුන් අතර මෙවර එම වසරේදී සිදුවූ හානියට වඩා හානියක් සිදුවුවා පමණක් නොව එම අවස්ථාවේදී පැවති ගංවතුර මට්ටම් පවා ඉක්මවා ගොස් තිබේ.

මෙය ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු සුළි කුණාටු තත්ත්වය නොවන නමුත් සැලකිය යුතු මට්ටමේ හානියක් මෙවර සිදුව ඇති බව බැලූ බැල්මට පෙනී යන්නකි.

මෙම කුණාටුවෙන් මෙතරම් හානියක් සිදුවූයේ ඇයි? මෙයට හේතුව දේශගුණික විපර්යාස ද? මේ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සිදු කළ සොයා බැලීමකි.

කුණාටුවේ ප්‍රභලත්වය

මෙම තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට දින කිහිපයකට පෙර සිට ම දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ අධික වර්ෂාපතනයක් ලැබී තිබිණි.

නොවැම්බර් 21 වන දින මාතර දිස්ත්‍රික්කයේ, බෙරලපනාතර ප්‍රදේශයට මිලිමීටර් 183.5ක වර්ෂාපතනයක් ලැබී තිබූ අතර, එය ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ.

නොවැම්බර් 26 දින මඩකලපුවේ රූගම් ප්‍රදේශයට මිලි මීටර් 300.1ක වර්ෂාපතනයක් ලැබුණු අතර, පසුදින එනම්, නොවැම්බර් 27 දින වාර්තා වූ වැඩි ම වර්ෂාපතනය මිලිමීටර් 375කි. එය වවුනියාව දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබූ අතර, නොවැම්බර් 28 දින කිලිනොච්චි ප්‍රදේශයෙන් මිලි මීටර් 295.9ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

එම දිනවල දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද දැඩි වර්ෂාපතනයක් වාර්තා වී තිබිණි.

නොවැම්බර් 25-30 දක්වා, ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය වැඩි වෙමින් සහ පසුව අඩු වෙමින් පැවතුනි. 25 වන දින සැහැල්ලු වැසි ආරම්භ වූ අතර, 26-28 වන දින වන විට නැගෙනහිර, උතුරු සහ මධ්‍යම ප්‍රදේශ හරහා ඉතා තද වැසි බවට පත් විය. දිවයිනේ බොහෝ ප්‍රදේශ ආවරණය කරමින් 28 වන දින වැඩිම වර්ෂාපතනයක් ඇති විය. 29 වන දින වන විට, දැඩි වර්ෂාව බටහිර දෙසට මාරු වූ අතර, 30 වන දින වන විට, ඉතිරිව ඇති තත්වයන් සැලකිය යුතු ලෙස ලිහිල් වී, සැහැල්ලු වර්ෂාවක් පමණක් තිබුණි.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා රැසක ම ජල මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගිය අතර, මහවැලි ගඟ උතුරා යාමෙන් පළමු වරට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය රාජකීය උද්භිත උද්‍යානය ගංවතුර තත්ත්වයකට මුහුණ දුන්නේ ය.

කැළණි ගං මිටියාවතේ මහ ගංවතුර තත්ත්වයකට වඩා වැඩි මට්ටමක ගංවතුර තත්ත්වයක් ඇතිව තිබිණි.

ප්‍රධාන වශයෙන් ම මහවැලි ගඟ, දැදුරු ඔය සහ මල්වතු ඔය ඇතුළු ගංගා ගණනාවක් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල කරමින් පිටාර ගලා ගියේ ය.

මෙම සුළි කුණාටුවේදී ශ්‍රී ලංකාවට පතිත වූ වර්ෂාපතනය සම්බන්ධයෙන් කැනඩාවේ මෙමෝරියල් විශ්වවිද්‍යාලයේ ජල විද්‍යාව සහ කෘෂි භූ භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන, ආචාර්ය ලක්ෂ්මන් ගලගෙදර ගණනය කිරීමක් කර තිබූ අතර, බීබීසී සිංහල විසින් සිදු කරනු ලැබූ විමසීමකදී ආචාර්යවරයා පැවසුවේ මෙවර ශ්‍රී ලංකාවට ලැබුණු වර්ෂාපතනය සැලකිය යුතු මට්ටමේ දැවැන්ත වර්ෂාපතනයක් බව ය.

ආචාර්ය ලක්ෂ්මන් ගලගෙදර විසින් නොවැම්බර් 28 වන දින ශ්‍රී ලංකාවට ලැබුණු වර්ෂාපතන අගයේ සාමාන්‍ය අගයක් ගණනය කර මෙම ගණනය කිරීම සිදු කර තිබේ.

"නොවැම්බර් 28 කියන්නේ ශ්‍රී ලංකාවට වැඩි ම වර්ෂාවක් ලැබුණු දිනයක්. මාධ්‍ය හරහා ලබා දුන්න අගයන් අනුව සාමාන්‍ය අගයක් සැලකුවා ම මිලිමීටර් 307ක වගේ වර්ෂාවක් ලැබිලා තියෙනවා කියලා මම උපකල්පනය කළා. නමුත් දිවයිනේ හැම ප්‍රදේශයකට ම එවැනි මට්ටමක වර්ෂාපතනයක් ලැබුණේ නැති නිසා ශ්‍රී ලංකාවට ලැබුණු වර්ෂාපතනය මිලි මීටර් 200ක් කියලා මම උපකල්පනය කළා," ආචාර්යවරයා පැවසුවේ ය.

ඉන්පසුව ශ්‍රී ලංකාවේ වර්ගඵලය වන වර්ග කිලෝමීටර් 65,610න් 65,0000 යන අගය ගෙන එම උපකල්පිත අගය ගුණ කිරීමෙන් ඔහු පැය 24ක් තුල ශ්‍රී ලංකාවට ලැබී ඇති වර්ෂාපතනය දළ වශයෙන් ඝන මීටර් බිලියන 13ක් ලෙස ගණනය කර තිබේ.

ඉන්පසුව ආචාර්යවරයා තප්පරයකට වර්ග කිලෝමීටරයකට ඇදහැළුණු වර්ෂාව ගණනය කර ඇත.

"ඒ අගය අපි තප්පරයකට ගණනය කළොත් ඒ තප්පරයකට ශ්‍රී ලංකාවට වැටිලා තියෙන වර්ෂාපතනය ඝන මීටර් 150,463ක්. මේක විශාල අගයක්. ලංකාවේ ලොකු ම ජලාශයකින් වුණත් පිට කරන්නේ තප්පරේට ඝන අඩි 100,000ක් විතර. මේක තප්පරයකට ඝන මීටර් නිසා ලොකු අගයක්," ආචාර්ය ලක්ෂ්මන් ගලගෙදර පැවසුවේ ය.

තවද ශ්‍රී ලංකාවට වසරකට ලැබෙන වර්ෂාපතනයේ සාමාන්‍ය අගයෙන් 10%ක ප්‍රමාණයක් ආචාර්යවරයා ගණනය කළ එක් දිනක් තුළ පමණක් ලැබී ඇති බව ද ඔහු පැවසුවේ ය.

"ලංකාවේ සාමාන්‍යයෙන් වසරකට ලැබෙන වර්ෂාපතනය මිලිමීටර් 1,900ත් 2,100ත් අතර ප්‍රමාණයක්. අවුරුද්දකට මිලිමීටර් 2,000ක් වගේ වැටෙද්දී පහුගිය නොවැම්බර් 28 වැනිදා විතරක් මිලිමීටර් 200ක් විතර වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ වසරක සාමාන්‍ය වර්ෂාපතනයෙන් 10%ක් එක් දිනක් තුළ ලැබිලා තියෙනවා."

මෙම ගණනය කිරීම එක් දිනක් සඳහා පමණක් සිදු කර ඇති එකක් වන අතර, ඊට පෙර දිනයේ සහ පසු දිනයේ ද ශ්‍රී ලංකාවට අධික වර්ෂාවක් පතිත විය.


2016 වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු වර්ෂාපතනය

දිට්වා මෙතරම් හානි කළේ ඇයි?

කොත්මලේ, ගම්පොළ, වැලිමඩ, උඩුදුම්බර, පේරාදෙණිය, සරසවිගම, අලවතුගොඩ වැනි ප්‍රදේශ ගණනාවක ම ඉතා අවාසනාවන්ත ලෙස පුද්ගලයන් රැසක් ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මිය ගියහ.

කුණාටුව හේතුවෙන් ලැබුණු අධික වර්ෂාපතනය මෙන් ම, ඊට දින කිහිපයකට පෙර පටන් ම පැවති දැඩි වර්ෂාපතනය මෙලෙස භුමිය මතුපිට හානි වැඩි වශයෙන් සිදුවීමට හේතුවූ බව ආචාර්ය ලක්ෂ්මන් ගලගෙදර පැවසුවේ ය.

"මේක අපි හිතපු නැති විදිහේ වර්ෂාපතනයක්. ප්‍රශ්නය තියෙන්නේ ඊට දින පහකට කලින් විතර ඉඳලා ම වහින්න පටන් අරන් තිබුණේ. මේ විදිහට අධික වර්ෂාපතනයක් පතිත වෙද්දී ඒ වෙනකොටත් පස ජලයෙන් සංතෘප්ත වෙලා තිබුණේ."

"එහෙම තිබුණු පසට තමයි එක දිනයක් තුළ මිලිමීටර් 200ක වර්ෂාපතනයක් දිනක් තුළ ලැබුණේ. එතකොට පසට ඒ ජලය උරා ගන්න බෑ. ඒ නිසා ජලය මතුපිට තිබුණේ. මතුපිට ආපදා වැඩි වශයෙන් සිදු වුණා," ඔහු පැහැදිලි කළේ ය.

"කඳුකරයේ ගංවතුර ආවා. ඒ අපි ෆ්ලෑෂ් ෆ්ලඩ් කියලා හඳුන්වන එක. පහළ නිම්නවලත් ගංවතුර ආවා. පහළ නිම්නවලට තවත් වතුර වැඩි වුණා කඳුකරයේ එන වතුර පහළට එද්දී. කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට වහින අතරේ ම ගංවතුර සහ නායයෑම් තත්ත්ව ඇති වුණා. ඒ වගේ ම පස හොඳටම සංතෘප්ත වෙලා නිසා නායයෑම් වැඩි වශයෙන් සිදුවෙලා තිබුණා," ඔහු තවදුරටත් පැහැදිලි කළේ ය.

තව ද, ආචාර්යවරයා විසින් සිදු කළ ගණනය කිරීම ඇමසන් නදියේ ජලය පිට කිරීම හා සංසන්දනය කර ඇති අතර, එය ශ්‍රී ලංකාවේ භූමියට සාපේක්ෂව ඉතා විශාල අගයකි.

"ලෝකේ වැඩියෙන් ම ජලය පිට කරන්නේ ඇමසන් ගඟෙන්. ඒකෙ සාමාන්‍ය අගය තප්පරේට ඝන මීටර් 220,000ක්. ඇමසන් ගඟේ ජලධාරක ප්‍රදේශය වර්ග කිලෝමීටර් මිලියන 7ක්. ඒක තනි නදියක් විදිහට යන්නේ. නමුත් ශ්‍රී ලංකාවේ ගංගා 103කින් යනවා සහ ශ්‍රී ලංකාවේ ඒ ප්‍රදේශය වර්ග කිලෝමීටර් 65,610යි," ආචාර්යවරයා පැහැදිලි කළේ ය.

"ඇමසන්වල පිටකරන ජලය ඒ භූමි ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ වර්ග කිලෝමීටරයට තප්පරයකට ඝන මීටර් 0.032ක පමණ ප්‍රමාණයක් තමයි පිට වෙන්නේ. ලංකාවේ දිනක වර්ෂාපතන උපකල්පිත අගය භුමි ප්‍රමාණයෙන් බෙදුවාම වර්ග කිලෝමීටරයට තප්පරයකදී ඝන මීටර් 2.32ක වර්ෂාවක් ලැබිලා තියෙනවා," ඔහු පෙන්වා දෙයි.

දිට්වා 'අනතුරු ඇඟවීමේ සංඥාවක්' ලෙස හඳුනාගත යුත්තේ ඇයි?

දිට්වා සුළි කුණාටුව යනු ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු කුණාටුව නොවේ.

මීට පෙර ශ්‍රී ලංකාව හරහා කුණාටු කිහිපයක් ගමන් කර තිබේ.

බටහිර ඕස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චරිත පට්ටිආරච්චි පැවසුවේ 1960, 1970, 1980 වැනි දශකවල වසර පහකට පමණ වතාවක් ශ්‍රී ලංකාව කුණාටු තත්ත්වයකට මුහුණ දුන් බව ය.

"ලංකාව මුහුණ දුන්න නරක ම සුළි කුණාටු තත්ත්වය ඇති වුණේ 1964දී. ඒ කුණාටුව ත්‍රීකුණාමලයේ ඉඳලා මන්නාරම දක්වා ගිය නිසා ඒකෙන් ගොඩක් හානි සිද්ද වුණා," ඔහු පැවසුවේ ය.

"මේ කියන කාලයේ හැම අවුරුද්දක ම වගේ අපට කුණාටු ආවා. ඊට පස්සේ 1970, 1980 වගේ වෙද්දී අවුරුදු 5කට වගේ සැරයක් අපට කුණාටුවක් ආවා."

ආපදා අවම කිරීමේ ආසියානු මධ්‍යස්ථානය (The Asian Disaster Reduction Center) විසින් නිකුත් කර ඇති වාර්තාවක ශ්‍රී ලංකාව 1900 සිට 2000 දක්වා සියවසක කාලය තුළ මුහුණදුන් ස්වභාවික ආපදා සහ ඒවායින් සිදුවූ බලාපෑම් සම්බන්ධ තොරතුරු අනුව, 1978 වසරේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 740කට ජීවිත අහිමි වී තිබේ.

1964 සහ 1957 යන වසරවල ද එවැනි සුළි කුණාටු තත්ත්වයන් දෙකක් හේතුවෙන් පිළිවෙලින් පුද්ගලයන් 206කට සහ 200කට ජීවිත අහිමි වූ බව එම වාර්තාවේ දැක්වේ.

එම වාර්තාවට අනුව 1986 සහ 1989 වසරවල ද ඇතිවූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් පිළිවෙලින් 325ක් සහ 168කට ජීවිත අහිමි වී තිබේ.

ආපදා අවදානම් අවම කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNDRR) දත්තවලට අනුව නායයෑම්, ගංවතුර, සුළි සුළං සහ තද සුළං හේතුවෙන් 1978 වසරේ 874 දෙනෙකු මිය ගොස් ඇති අතර 1989 වසරේදී 240ක් හා 2003 වසරේ 374 දෙනෙකු මිය ගොස් තිබේ.

2016 වසරේ ද ශ්‍රී ලංකාව විශාල ගංවතුර තත්ත්වයකට හා සුළි කුණාටුවක බලපෑමට ලක්වූ අතර එහිදී පුද්ගලයන් 97කට පමණ සිය ජීවිත අහිමි විය.

අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මෙම ලිපිය පළ කරන මොහොත වන විට පුද්ගලයන් 481 දෙනෙකු මිය ගොස් ඇති අතර එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මිලියන 1.5 කට වැඩි ජනතාවක් මෙයින් පිඩාවට පත්ව සිටියි.

ප්‍රවේශ මාර්ග විනාශ වීම හේතුවෙන් මෙතෙක් ප්‍රවේශවීමට නොහැකිව තිබූ ප්‍රදේශවලට මේ වන විට සහන කණ්ඩායම් ළඟා වෙමින් පවතින අතර, අතුරුදන් වූවන් සොයා සිදු කරන නෙහෙයුම් තවදුරටත් සිදු වෙමින් පවතියි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙතරම් හානියක් සිදුව තිබෙන්නේ සන්නිවේදනය සහ තාක්ෂණය අතින් ශ්‍රී ලංකාව 1960, 1970 සහ 1980 දශකවල සිටියාට වඩා විශාල වශයෙන් ඉදිරියෙන් සිටිනා කාලයක බව අප මෙම දත්ත දෙස බැලීමේදී මතක තබා ගතයුතු කරුණකි.

ජනමාධ්‍ය, අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය හරහා බොහෝ ප්‍රදේශවල සිදුවූ නායයෑම් සහ ගංවතුර තත්වයන් සම්බන්ධයෙන් තොරතුරු සන්නිවේදනය වූ අතර, අදාළ ආයතන විසින් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන ද නිකුත් කර තිබිණි.

මුදාගැනීමේ මෙහෙයුම් ගුවනින් සහ ගොඩබිමින් ක්‍රියාත්මක අතර, ඉන්දියාව සහ පකිස්ථානය ද එම මෙහෙයුම් සඳහා විශාල සහයෝගයක් ලබා දී තිබේ.

මෙතෙක් වාර්තා වී ඇති වැඩි ම මරණ සංඛ්‍යා සිදුව ඇති 1978, 1989 කාලවලදී මෙතරම් වේගවත් සන්නිවේදන ක්‍රමවේදයන් පැවතියේ නැත.

2025දී අප මේ අත්දකිමින් සිටින විනාශය සිදුව තිබෙන්නේ එම කාලයන්ට වඩා සෑම අතකින් ම දියුණු තාක්ෂණය, ක්‍රමවේද සහ ප්‍රතිපත්ති පවතින පසුබිමක ය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇති පරිපාලන දිස්ත්‍රික්ක 25න් දිස්ත්‍රික්ක 22කට බලපෑම් සිදුව ඇතැයි අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ සියලු ම ප්‍රදේශවලට පාහේ දැඩි බලපෑමක් ඇති කිරීමට තරම් මෙම කුණාටුව ප්‍රභල බව ය.

මීට පෙර ශ්‍රී ලංකාව මුහුණ දී ඇති කුණාටු සැලකීමේදී, ඒවා බොහෝ විට ශ්‍රී ලංකාවේ සියලු ප්‍රදේශවලට බලපෑ ඒවා නොවේ.

දිට්වා සුළි කුණාටුව චන්ද්‍රිකා ඡායාරුප හරහා නිරීක්ෂණය කිරීමේදී සුළි කුණාටුවේ කේන්ද්‍රය සහ එහි වලාකුළු රටාවෙන් ශ්‍රී ලංකාව ම වැසී ගොස් තිබූ බව ආචාර්ය ලක්ෂ්මන් ගලගෙදර පැවසුවේ ය.

මෙම සියලු කරුණු සලකා බැලීමේදී, එම කුණාටුවේ සැලකියයුතු මට්ටමකින් ප්‍රභලත්වය ඉහළ බව පෙනී යයි.

3D Render of a Topographic Map of the Indian Ocean with the clouds from November 27, 2025. Cyclone Ditwah approaching Sri Lanka and Southern India.All source data is in the public domain.Cloud texture: Global Imagery Browse Services (GIBS) courtesy of NASA, VIIRS data courtesy of NOAA.

ඡායාරූප මූලාශ්‍රය, Global Imagery Browse Services (GIBS) courtesy of NASA, VIIRS data courtesy of NOAA.

ඡායාරූප ශීර්ෂ වැකිය, දිට්වා සුළි කුණාටුව චන්ද්‍රිකා ඡායාරුප හරහා නිරීක්ෂණය කිරීමේදී සුළි කුණාටුවේ කේන්ද්‍රය සහ එහි වලාකුළු රටාවෙන් ශ්‍රී ලංකාව ම වැසී ගොස් තිබූ බව ආචාර්ය ලක්ෂ්මන් ගලගෙදර පැවසුවේ ය.

දේශගුණික විපර්යාසවල බලපෑම සහ දිට්වා

සමකය ආසන්නයේ පවතින උෂ්ණත්වය සමග කුණාටු ඇතිවීම සාමාන්‍ය දෙයක් වුවත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ඒවායේ තීව්‍රතාවය සහ විශාලත්වය වැඩි කරන බව මහාචාර්ය චරිත පට්ටිආරච්චි සහ ආචාර්ය ලක්ෂ්මන් ගලගෙදර යන දෙදෙනා ම පෙන්වා දෙති.

කුණාටුව ඇතිවූ දින කිහිපය තුළ ශ්‍රී ලංකාව ආසන්න සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30කට වැඩි අගයක තිබූ බව සාගර විද්‍යාව පිළිබඳ පර්යේෂකයෙකු ද වන මහාචාර්ය චරිත පට්ටිආරච්චි පැවසුවේ ය.

"1960 ගණන්වල ගෝලීය උෂ්ණත්වය ඉහළ ගිහින් තිබුණේ නෑ කියමුකෝ. නමුත් කුණාටුව හැදෙන්න සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක් තියෙන්න ඕනේ. උෂ්ණත්වය ඒ ප්‍රමාණයට වඩා අඩු වුණොත් කුණාටු ඇති වෙන්නේ නෑ. පසුගිය සතියේ ලංකාවේ අවට සාගරයේ උෂ්ණත්වය වැඩියි සෙල්සියස් අංශක 30කට වඩා. එතකොට කුණාටුවක් ඇතිවීමේ විය හැකියාවක් තියෙනවා," ඔහු විස්තර කළේ ය.

සුළි කුණාටු ඇති වීමට අදාළ ශක්තිය ලැබෙන්නේ මුහුදෙන් බව මහාචාර්යවරයා පැවසුවේ ය.

"සුළි කුණාටුවලට ශක්තිය එන්නේ මුහුදෙන්. කුණාටුව ගොඩබිමට ආවම ඒකට ශක්තිය නෑ. මුහුදේ තියෙන උෂ්ණත්වය තමයි කුණාටුවට ශක්තිය දෙන්නේ. උෂ්ණත්වය වැඩි නම් ශක්තිය වැඩි වෙනවා. ගෝලීය උෂ්ණත්වය වැඩිවෙනකොට සාගරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට තමයි කුණාටුවල ප්‍රභලත්වය වැඩි වෙන්නේ."

සාගරයේ උෂ්ණත්වය ඉහළ යාමට ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවී ඇති බව මහාචාර්ය චරිත පට්ටිආරච්චි සහ ආචාර්ය ලක්ෂ්මන් ගලගෙදර යන දෙදෙනා ම පෙන්වා දෙති.

"සමකය ආසන්නයේ කොහොමත් උෂ්ණත්වය වැඩී. ඒකට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් එකතු වුණා ම මුහුදෙන් සිද්ධ වෙන වාෂ්පීකරණය ඉහළ යනවා. ඒ ප්‍රමාණය වැඩිවෙලා උඩට ගියා ම රික්තකයන් ඇති වෙනවා," ආචාර්ය ලක්ෂ්මන් ගලගෙදර විස්තර කළේය.

ගංවතුරින් යටවූ කොත්මලේ නියන්ගන්දොර ප්‍රදේශයේ ගුවනින් ලබා ගත ඡායාරූපයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සමකය ආසන්නයේ පවතින උෂ්ණත්වය සමග කුණාටු ඇතිවීම සාමාන්‍ය දෙයක් වුවත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ඒවායේ තීව්‍රතාවය සහ විශාලත්වය වැඩි කරන බව මහාචාර්ය චරිත පට්ටිආරච්චි සහ ආචාර්ය ලක්ෂ්මන් ගලගෙදර යන දෙදෙනා ම පෙන්වා දෙති.

"මුලින් ම වායුගෝලයේ පොඩි කැළඹීමක් ඇති වෙන්නේ. ඊට පස්සේ ඒක අවපාතයක් බවට පත් වෙනවා. එතකොට රික්තකය වැඩි වෙනවා. ඊළඟට සුළං රටාවත් එක්ක මේක කැරකෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ වේගය පැයට කිලෝමීටර් 69ට වැඩි වුණා ම අපි ඒක කුණාටුවක් කියලා නමක් දෙනවා. ඒ විදිහට ඒ වේගය පැයට කිලෝමීටර් 119 පැන්නම ඒක සුළි කුණාටුවක් බවට පත් වෙනවා," ඔහු වැඩිදුරටත් විස්තර කළේ ය.

මේ නිසා මෙවැනි කුණාටු තත්ත්වයක් ඇතිවීමට දේශගුණික විපර්යාසවල බලපෑමක් තිබූ බව ඔවුන්ගේ මතයයි.

"මේ ඇතිවෙන සුළි කුණාටු තත්ත්වයන්වලට දේශගුණික විපර්යාසවල බලපෑමක් තියෙනවා ද කියන එකට පිළිතුර තමයි 'ඔව්' කියන එක," මහාචාර්ය චරිත පට්ටිආරච්චි පැවසුවේ ය.

"ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සාගරයේ උෂ්ණත්වය ඉහළ යාමට දායක වීම නිසා අපට කියන්න පුළුවන් කුණාටු ඇති වීමට දේශගුණික විපර්යාස බලපානවා කියලා," ඔහු පවසයි.

දේශගුණික විපර්යාස හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම නිසා "මේ වගේ වැඩියෙන් සිද්ධ වෙනවා වගේ ම ඒවගේ විශාලත්වයත් වැඩි වෙනවා," යැයි ආචාර්ය ලක්ෂ්මන් පවසයි.

"පිලිපීනය සහ තායිලන්තය වගේ රටවල්වලට සුළු කාලයක් ඇතුළත මේ වගේ ඒවා තුනක් ආවා," ආචාර්යවරයා පැවසුවේ ය.

තව ද ඉදිරියේදී ඇතිවිය හැකි ස්වභාවික ව්‍යසනයන් වඩාත් දරුණු විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

"විශාල කාල පරිච්ඡේදයක කාලගුණය සලකලා බැලුවොත් ඒක චක්‍රයක් වගේ. නමුත් අපි දැන් ඉන්න ලෝකයේ දේශගුණික විපර්යාස වැඩිවෙලා තියෙනවා. පහුගිය කාලයේ ඇතිවෙලා තියෙන දේවල් සහ ඉදිරියේදී ඇති වෙන්න නියමිත ඒවාගේ ප්‍රභලත්වය වගේ දේවල්වල ලොකු වෙනස්කම් තියෙනවා," ඔහු පෙන්වා දෙයි.

නුවරඑළිය ප්‍රදේශයේ නාය ගිය නිවසක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කුණාටුව හේතුවෙන් ලැබුණු අධික වර්ෂාපතනය මෙන් ම, ඊට දින කිහිපයකට පෙර පටන් ම පැවති දැඩි වර්ෂාපතනය මෙලෙස භුමිය මතුපිට හානි වැඩි වශයෙන් සිදුවීමට හේතුවූ බව ආචාර්ය ලක්ෂ්මන් ගලගෙදර පවසයි.

හානිය අවම කර ගැනීමට ආපදාවකට පෙර හා පසු කළ යුතු දේ

මේ වන විට උඩරට දුම්රිය මාර්ගය ඇතුළු ප්‍රධාන දුම්රිය මාර්ග සහ මහා මාර්ගයන් ගණනාවක් ම හානියට පත්වී ඇති අතර දැන් ඒවා යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් තිබේ. ඇතැම් ප්‍රධාන නගර මුළුමනින්ම පාහේ විනාශයට පත් ව තිබෙන අයුරු දැකගත හැකිය.

මෙවැනි ස්වභාවික ආපදාවන් වළක්වා ගැනීමක් සිදු කිරීමට අපහසු වූවත් ඒවායේ හානිය අවම කරගැනීම සඳහා ශ්‍රී ලංකාවට දැන් දැන් වඩාත් කඩිනම් පියවර ගැනීමට සිදුවනු ඇත.

ආචාර්ය ලක්ෂ්මන් ගලගෙදර පැවසුවේ දැනට පවතින තත්ත්වයන් යටතේ ඉදිරියේදී අපට අපේක්ෂා කළ හැකි මට්ටමටත් වඩා විශාල ආපදාවන්ට මුහුණ දීමට සිදුවිය හැකි බව ය.

එම නිසා නිරන්තරයෙන් පූර්ව අනතුරු හැඟවීමේ නිවේදනයවලට ඇහුම්කන්දීම වැදගත් බව ඔහු පවසයි.

"අපට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වගේ රාජ්‍ය ආයතන තියෙනවා. ඒ වගේ ම ලෝකයේ දත්ත තියෙනවා. ඒ දත්ත අනුව අපි සාමාන්‍ය ජනතාව විදිහට ඒ කියන දේවල්වලට ඇහුම්කන් දෙන්න ඕනේ," ඔහු පැවසුවේ ය.

"ඒ අනතුරු හැඟවීම්වලට අපි ඉස්සරහට තවත් වැඩියෙන් සවන් දෙන්න ඕනේ. දැන් තියෙන තත්ත්වය එක්ක ඉස්සරහට අපට හිතාගන්න බැරි විදිහට දේවල් සිදු වෙන්න පුළුවන්."

කාලගුණ අනාවැකි යනු අනාවැකි මිස නිශ්චිතව ම සිදු කළ හැකි අනුමාන නොවන බව ද ඔහු පැවසුවේ ය.

"කොච්චර දියුණු රටකට වුණත් කාලගුණය කියන එක Predict කරන්න බෑ. Forecast විතරයි දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් වර්ෂාපතනයට කියන්නේ 75%ක අවස්ථාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ 25%ක් හරියට කියන්න බෑ. වර්ෂාපතනය ගැන අනාවැකි කියන්න බැරි ප්‍රශ්නය ඒක තමයි. ඊට වඩා හරියට ම කියන්න බෑ. ඒ නිසා අපි ඒවාට සූදානම් වෙන්න ඕනේ," ආචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

මේ නිසා ම ජනතාව නායයෑම් වැනි පූර්ව අනතුරු හැඟවීම්වලට ක්ෂණිකව ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු පැවසුවේ ය.

මීට අමතරව ආපදාවලින් සිදුවන හානි අවම කරගැනීම සඳහා ජනතාවගේ ජීවන පුරුදු වැනි දෑවල ද වෙනස්කම් සිදුවිය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.

"දැන් ජනගහනය වැඩියි. මිනිස්සු සුදුසු නැති තැන්වල ජීවත් වෙනවා. ඒ නිසා අපි අපේ පුරුදු, ආකල්ප සහ විශේෂයෙන් ම කැළිකසල බැහැර කිරීම වගේ දේවල් ගැන සැහෙන්න වෙනස් කරගන්න වෙනවා," ආචාර්ය ලක්ෂ්මන් පවසයි.

"අපට ස්වභාවික විපත් කියන ඒවා නවත්වන්න බෑ. ජනගහනය වැඩිවීම වගේ ඒවත් එක්ක දැන් ඒවා ආපදා බවට පත් වෙනවා සහ දේශගුණික විපර්යාස නිසා ඒවාගේ තීව්‍රතාවය සහ විශාලත්වය වැඩි වෙනවා." හෙතෙම කියා සිටියේය.