දෙසැම්බර් 9 සිට 12 වන දා දක්වා වර්ෂාවෙන් වැඩි බලපෑම් ඇති විය හැකි ප්‍රදේශ මොනවා ද?

වැසි තත්ත්වය

ඡායාරූප මූලාශ්‍රය, Windy.com

    • Author, බීබීසී සිංහල

දෙසැම්බර් 09 වන දාට පසුව ඊසාන දිග මෝසමේ සක්‍රීයභාවයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණාරත්න පවසයි.

ඒ හේතුවෙන් රට තුළ වර්ෂාවේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවත්, උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර සහ ඌව පළාත්වලට වර්ෂාව අපේක්ෂා කරන බවත් සිකුරාදා (දෙසැ: 05) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

"ඉදිරි දින කිහිපය ගත්තා ම විශේෂයෙන් 09 වෙනිදායින් පස්සේ මේ ඊසාන දිග මෝසම් කාල පරිච්ජේදය සක්‍රීයභාවයක් පෙන්නනවා. ඒ කියන්නේ, ඒ සුළං හමන වේගයේ වැඩිවීමක් පෙන්නුම් කරනවා. මේ තත්ත්වය යටතේ 09,10,11,12 වගේ දිනයන් වෙනකොට දිවයින තුළ තියෙන වර්ෂාපතනය වැඩිවීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. මේ වර්ෂාපතනය බොහෝවිට අපේක්ෂා කරන්න පුළුවන් වැඩි පැත්ත තමා උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර පළාත්වල සහ ඌව වගේ පළාත්වල ඕනෑ ම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයක් නිර්මාණය වෙනවා."

එම පළාත්වල අහස වලාකුළින් බරව සහ අඳුරු ස්වභාවයෙන් පැවතිය හැකි බවත්, එම පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75-100 අතර වැසි ඇති වීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

එමෙන් ම, දිවයිනේ නිරිත දිග කොටසේ තැනින් තැන සවස් හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති විමේ හැකියාවක් පවතින බව ද ඔහු සඳහන් කළේ ය.

දෙසැම්බර් 09 වැනිදායින් පසුව දිවයිනේ ගිනිකොණ දෙසින් තද වැසි, තද සුළං මෙන් ම මුහුද රළු වීමක් සිදුවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණාරත්න අනාවැකි පළ කළේ ය.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තුමේන්තුව විසින් දෙසැම්බර් 05 වන දා සවස 3.30ට නිකුත් කරන ලද වාර්තාවට අනුව මල්වතු ඔයේ ජල මට්ටම ඉහළ යාම ගැන අනතුරු අඟවා තිබේ.

එම වාර්තාවට අනුව සවස 3 වන විට මල්වතු ඔයේ ජල මට්ටම මීටර් 6.48ක් වන අතර එය තවදුරටත් ඉහළ යා හැකි බව සඳහන් කර ඇත.

ඊසාන දිග මෝසම් වැසි සක්‍රීය වීම හමුවේ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශ රැසකට යළිත් වරක් අනතුරුදායක තත්ත්වයකට මුහුණ දීමට සිදුවීමේ අවධානමක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දෙසැම්බර් 04 වන දා දිවයින හරහා ඊසාන දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපනය වන අතර, දෙසැම්බර් 09 වන දාට පසුව එය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසීය.

ඊසාන දිග මෝසම් වැසි ඇති වන ප්‍රදේශ මොනවා ද?

ඊසාන දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමෙන් පසු යළිත් වර්ෂාව ඇති වන්නේ, දිට්වා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශවලට ම වීම විශේෂත්වයකි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසූ පරිදි, මෙම තත්ත්වය බලපාන්නේ, උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වලට ය.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ජලගැලීම් සහ නායයාම් රැසක් වාර්තා වූයේ, එම පළාත්වලිනි.

වැසි කොපමණ බරපතළ ද?

දෙසැම්බර් 09 වන දා සිට මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කළ හැකි බව බව මෙරිල් මෙන්ඩිස් බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු පැවසුවේ, මෙම වැසි සහිත කාලගුණය ඊසාන දිග මෝසම් තත්ත්වය අවසන් වන තුරු එනම්, ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා පැවතිය හැකි බව ය.

අදාළ ප්‍රදේශවල වෙසෙන ජනතාවට ඇති අවදානම කෙබඳු ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් ප්‍රකාශ කළේ, විශේෂයෙන් නායයාම් අනතුරු සහිත ප්‍රදේශවල ජනතාව විශේෂ අවධානයකින් පසු විය යුතු බව ය.

"විශේෂයෙන් නායයාම් අනතුරු සහිත ප්‍රදේශවල සහ කඳුබෑවුම් ප්‍රදේශවල, ඒ වගේ ම ගංගා නිම්න ආශ්‍රිතව වෙසෙන ජනතාව ඉදිරි කාලගුණ තත්ත්වය ගැන විශේෂ අවධානයකින් කටයුතු කරන්න."

ඔහු පැවසුවේ, අදාළ ආයතනවලින් නිකුත් කරන අනතුරු ඇඟවීම්වලට අදාළව ප්‍රතිචාර දක්වන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ය.

ඊට අමතරව, වැසි පවතින අවස්ථාවලදී ප්‍රබල අකුණු සහ සුළං ඇති විය හැකි බව ද ඔහු පැවසීය.

මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර ප්‍රකාශ කළේ, මේ වන විට අදාළ ප්‍රදේශවල කඳු ආදී උස්බිම් ජලයෙන් පෙඟී ඇති හෙයින් අවදානම් තත්ත්වයක් පවතින බව ය.

"පස මේ වන විට අධික ලෙද තෙතබරිත වෙලා තියෙනවා. සැචුරේට් වෙලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් ජනතාව සැලකිලිමත් විය යුතු යි. නැවත යම්කිසි ආකාරයක මිලිමීටර් 50ක 100ක පමණ වර්ෂාපතනයක් ලැබුණත් අවදානම් තත්ත්වයක් පවතිනවා. මොක ද මේ වෙනකොට බොහෝ ස්ථානවල නායයාම් වාර්තා වෙනවා. ඒ වගේ ම නායයාමේ ලකුණු නිරීක්ෂණය වූ තැන් තියෙනවා. ඒ ස්ථාන නැවත ක්‍රියාකාරී වීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා ජනතාව ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු යි," වසන්ත සේනාධීර අනතුරු ඇඟවීය.

නිවාස ආසන්නයේ නායයාම් ලක්ෂණ තිබේ ද යන්න පිළිබඳව නිරීක්ෂණය කර බලන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

"නිවාස ඉරිතලල තියෙනවා නම් ඉදිරියේදි ඇති වන වැසි සමග ඒ තැන් නායයාමේ අවදානමක් තියෙනවා. ඒ ගැන සැලකිලිමත් වෙන්න කියල ඉල්ලා සිටිනවා."

මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම

මේ වන විට මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම 97.87%ක් ලෙස පවතින අතර ඊසාන දිග මෝසම් වැසි වර්ධනය වුවහොත් ජලාශයේ ජල මට්ටම උපරිම අගය දක්වා ළඟා වනු ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

ඒ අනුව, ජල මට්ටම ඉහළ ගියහොත් අඹන්ගඟ හරහා ජලය මුදා හැරෙන හෙයින් අඹන්ගඟෙහි සහ මහවැලි ගඟෙහි ජල ප්‍රවාහය ඉහළ යා හැකි බව එහි දැක්වේ.

එහෙයින්, තමන්කඩුව, ඇළහැර, ලංකාපුර සහ දිඹුලාගල ප්‍රදේශ වාසීන් පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයාට දැනුම් දී තිබේ.