බෙංගාල බොක්ක කැළඹෙන්නේ ඇයි? අඩුපීඩන තත්ත්වයක් යනු කුමක් ද?

'බෙංගාල බොක්ක කැළඹිලා...' මෙය සෑම වසරකදීම අපට ඇසෙන හොඳින් හුරුපුරුදු වචන පෙළකි. අද වන විට ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සමග බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන දෛනික කාලගුණ නිවේදන වෙතයි.

ඡායාරූප මූලාශ්‍රය, IMD

    • Author, බීබීසී සිංහල

"බෙංගාල බොක්ක කැළඹිලා..." මෙය සෑම වසරකදී ම අපට ඇසෙන හොඳින් හුරුපුරුදු වචන පෙළකි. අද වන විට ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සමග බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන දෛනික කාලගුණ නිවේදන වෙතයි.

ශ්‍රී ලංකාවට ආසන්නව, ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට බලපා ඇති කාලගුණ තත්ත්වයත් සමග එදිනෙදා අපට අසන්නට ලැබෙන කාලගුණ වාර්තාවල නිරන්තරයෙන් ම ඔබට ඇසෙන මේ යෙදුම් සරලව පැහැදිලි කර ගැනීම සඳහා අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනූෂා වර්ණසූරිය සමග සංවාදයක නිරත වීමු.

බෙංගාල බොක්ක කැළඹෙන්නේ ඇයි?

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපය ඔස්සේ ඇතිවන පීඩන අවපාතයන් සහ සුළි කුණාටු තත්ත්වයන් සෑම වසරකදී ම අපට අසන්නට දකින්නට ලැබේ.

විශේෂයෙන් ශ්‍රී ලංකාවට පමණක් නොව ඉන්දියාව සහ බංග්ලාදේශය වැනි රටවල දේශගුණ තත්ත්වයට ද එය ප්‍රධාන ලෙස බලපෑම් එල්ල කරයි.

බෙංගාල බොක්ක ශ්‍රී ලංකාවේ කාලගුණයට මෙතරම් සම්බන්ධ ඇයි දැයි බීබීසී සිංහල කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනූෂා වර්ණසුරියගෙන් විමසීසීය.

"ඇත්තට ම ශ්‍රී ලංකාවට විතරක් නෙමෙයි සමස්ත ලෝකයට ම බෙංගාල බොක්ක වැදගත්. දේශගුණය, කාලගුණය කියන එක අපි කාටවත් රටක් විදිහට තනියම තීරණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සමස්ත පද්ධතිය ම හැදිලා තියෙන්නේ ගොඩබිම, මුහුද, වායු ගෝලය, හිම කඳු, ජීව ගෝලය කියන පස් දෙනා එකතු වෙලා තමයි. ඒ කියන්නේ බෙංගාල බොක්ක මුළු ලෝකයට ම වැදගත්."

"ලංකාවට ආසනන්යේ මුහුදේ උෂ්ණත්ව මට්ටම ඉහළ යාමත් එක්ක වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් ඇතිවන එක ස්වභාවික දෙයක්. අරාබි මුහුදටත් අනිත් පැත්තෙන් බෙංගාල බොක්කටත් මැදිවෙලයි අපේ රට පිහිටලා තියෙන්නේ."

"මුහුද ආශ්‍රිතව කැළඹිලි තත්ත්වයන් ඇතිවෙන්නේ මේ සුළං රටාවන් නිසයි. මේ සුළං රටාවන්වලින් තමයි ලෝකයේ සමතුලිතභාවය රැඳී තියෙන්නේ. බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවන කැළඹිලි තත්ත්වයන් නිසයි ලංකාවට මේ තරම් ඒක වැදගත් වෙන්නේ."

"ඊට අමතරව අරාබි මුහුදේ වුණ ත් මේ වගේ කැළඹිලි ස්වභාවයන් ඇතිවෙන්න පුළුවන්. එතනදී මේ ඇතිවන තත්ත්වයන් ගමන් කරන මාර්ගයත් එක්ක ශ්‍රී ලංකාවට සමහරවිට ඒකෙන් බලපෑමක් ඇතිවෙන තත්ත්වයේ යම් අවම බවක් තියෙන්න පුළුවන්. කොහොම වුණත් ශ්‍රී ලංකාවට වැඩියෙන් ම බලපෑම් එල්ල කරන වැසි සහිත කාලගුණ තත්ත්වයට හේතු වෙන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවන කාලගුණ තත්ත්වයන්."

'බෙංගාල බොක්ක කැළඹිලා...' මෙය සෑම වසරකදීම අපට ඇසෙන හොඳින් හුරුපුරුදු වචන පෙළකි. අද වන විට ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය සමග බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන දෛනික කාලගුණ නිවේදන වෙතයි.

මොකක් ද මේ අඩුපීඩන තත්ත්වයක් කියන්නේ?

අඩුපීඩන තත්ත්වයක් කියන්නේ කුමක්දැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් අනූෂා වර්ණසූරියකරුණු පැහැදිලි කළාය.

"ඇත්තට ම අඩු පීඩන කලාපයක් කියන්නේ ඒ ස්ථානයේ පීඩනය අඩුවීමයි. සාමාන්‍යයෙන් සුළං හැසිරෙන්නේ පීඩන තත්ත්වයන් අනුවයි. පීඩනය අනුව තමයි වායුගෝලයේ සුළං ගමන් කරන්නේ. උදාහරණයක් විදිහට සුළඟ ගමන් කරන්නේ වැඩි පීඩනයක ඉදලා අඩු පීඩනයක් දෙසටයි.''

"උදාහරණයක් විදිහට යම් තැනක පොළොව හරි මුහුද හරි ගොඩාක් රත් වුණා ම එතැන තියන වායු අංශු ඉහළට නගිනවා. එහෙම ඉහළ නැග්ගා ම එතන අඩු පීඩන තත්ත්වයක් ඇතිවෙනවා. එතකොට අපි කියනවා එතැන අඩු පීඩන තත්ත්වයක් කියලා. ඒ ඇතිවන අඩු පීඩන තත්ත්වය සමතුලිත කරන්න වටෙන් ම සුළං ගලාගෙන එනවා. මෙතැනදී වෙන්නේ වායු ගෝලයේ තියෙන වායු අංශු වැඩි තැනේ ඉදලා අඩු තැනට ගමන් කරලා ඒ ස්ථානය සමතුලිත වෙන්න උත්සහ කිරීමයි."

'පීඩන අවපාතයේ සිට සුළි කුණාටුව දක්වා'

''සුළි කුණාටු තත්ත්වයක් ඇතිවීම උදාහරණයක් ලෙස කුඩා දරුවෙකු වැඩිහිටියෙක් බවට පත්වනවාක් මෙන් අදියරෙන් අදියර සිදුවන ක්‍රියාවලියක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ජනරාල්වරිය මෙසේ කරුණු පැහැදිලි කරමින් පැවසුවාය.

"සුළි කුණාටු තත්ත්වය එක පාර ම ඇතිවෙන්නේ නැහැ. ඒ තත්ත්වයට එන්නේ අදියරෙන් අදියරටයි. මුලින් ම කැළඹිලිසහගත තත්ත්වයක්, අඩුපීඩන කලාපයක් ඊට පස්සේ පීඩන අවපාතයකට එන්නේ. ඊට පස්සේ සුළි කුණාටුවට පස්සේ සුපිරි සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන්නේ. මෙතැනදී වටේ තියෙන සුළගේ වේගය අනුව ක්‍රම ක්‍රමයෙන් ඒ තත්ත්වය වර්ධනය වෙනවා," ඇය සඳහන් කළාය.

වර්ෂාපතනය මිලිමීටර්වලින් මනින්නේ ඇයි?

ලෝකයේ කාලගුණය සහ දේශගුණය තත්ත්වයන් සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත් මැනුම් ක්‍රම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ලෝකයේ දත්ත මැනීම් සිදුකරන්නේ එක ම වර්ගයේ උපකරණවලින් බවත් එහිදී වර්ෂාපතනය මැනීම සිදුකරන්නේ මිලිමීටර්වලින් බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුතුව පවසයි.

නිවසක් අසල කන්දක් නාය ගොස් ඇති අයුරු.
ඡායාරූප ශීර්ෂ වැකිය, කන්දක් නාය ගොස් ඇති ආකාරය.

ලංකාවටත් 'Cloudburst' තත්ත්වය ඇතිවෙන්න පුළුවන් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මෙම වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ පාකිස්ථානයට බලපෑ 'Cloudburst' තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඇත් ද යන්න බීබීසී සිංහල සේවය මෙහිදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේය.

එහිදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල්වරිය පැවසුවේ 'Cloudburst' තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් කල් තියා පුරෝකථනය කිරීම අපහසු දෙයක් බව සහ ශ්‍රී ලංකාවේ ද එවැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් ඕනෑම මොහොතක ඇති විය හැකි බවයි.

"ක්ලවුඩ් බර්ස්ට් තත්ත්වය ඇතිවෙන්නෙ කඳුකර ප්‍රදේශයන් ආශ්‍රිතවයි. වැස්සක් ඇතිවෙන්න අවශ්‍ය සාධකයක් තමයි පොළොවේ තියෙන ජල වාෂ්ප ඉහළට ගෙනියන්න ඕන. ඉහළට ගෙනහිල්ලා ඒ ජල වාෂ්ප ඝනීභවනය කරලා සීතල වෙලා වැස්ස ඇතිවෙන්න ඕන. කන්ද කියන එක හොද සාධකයක් අපට වලාකුළු ඇති වෙන්න."

"කඳුවලට ඒ එන සුළං ප්‍රවාහය හොදට ජල වාෂ්ප අරගෙන එනවා නම් හොද අවස්ථාවක් තියෙනවා කෙටි කාලයක් ඇතුළත කිලෝමීටර් 12ක් වගේ විශාල වලාකුළක් ඇතිවෙන්න. මෙන්න මේ වගේ අවස්ථාවකදී තමයි කෙටි කාලයකදී විශාල වැසි තත්ත්වයක් ඇතිවෙන්නේ.

"මේ වගේ තත්ත්වයක් ඇමෙරිකාවේදී සිද්ධ වුණා මේ අවුරුද්දේ ජූලි මාසයේදී. ඒ වගේ ම ඉන්දියාව වගේ ම පකිස්ථානයේ සිද්ධ වුණා."

''අපිට වුණත් මේ වගේ තත්ත්වයක් ගැන නොසලකා හරින්න බැහැ. මේ වගේ තත්ත්වයක් ශ්‍රී ලංකාවට වුණත් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපිට කල් තියා ඒ ගැන අනාවැකි කියන්න බැහැ.," කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අනූෂා වර්ණසූරිය පවසයි.