අධික වැසි: ජලගැලීමකදී ආපදාවකට ලක් නොවී සිටින්නේ කොහොම ද?

2023 වසරේ පමණක් ලොව පුරා ජලගැලීම් ආපදා164ක් සිදුවී ඇති අතර ඒවායින් මරණ දස දහස් ගණනක් සිදුවී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2023 වසරේ පමණක් ලොව පුරා ජලගැලීම් ආපදා164ක් සිදුවී ඇති අතර ඒවායින් මරණ දස දහස් ගණනක් සිදුවී ඇත.

ජලගැලීම් යනු බහුලව ම සිදුවන ස්වභාවික ආපදාවක් වන අතර, ඒවා ලොව පුරා සැලකිය යුතු විනාශයක් ඇති කරයි. නාසා ආයතනය විසින් සපයන ලද දත්තවලට අනුව, 2023 වසරේදී පමණක්, ලොව පුරා ගෝලීය ජලගැලීම් ආපදා 164ක් සිදුවී ඇත. ඊට පුද්ගලයින් 10,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ හෝ අතුරුදන් වූ උතුරු ලිබියාවට බලපෑ ජලගැලීම ද ඇතුළත් වේ.

මේ වසරේදී රටවල් කිහිපයක් ජලගැලීම්වලට මුහුණ දී තිබේ. වඩාත් මෑතකදී වාර්තා වූයේ, මධ්‍යම යුරෝපයේ සහ උතුරු සහ බටහිර අප්‍රිකාවේ ය.

ජලගැලීම් වර්ග කිහිපයක් ඇත. ඉන් එක් වර්ගයක් විශේෂයෙන් අනතුරුදායක වේ: ක්ෂණික ජලගැලීම්, මිනිත්තු කිහිපයක් හෝ පැය කිහිපයක් ඇතුළත ජල මට්ටම වේගයෙන් ඉහළ යාම එමගින් සිදුවේ.

ඒවා බොහෝ විට අධික වර්ෂාවේ ප්‍රතිඵලයක් වන අතර ගොඩනැගිලි පවා විනාශ කිරීමට තරම් බලවත් විය හැක. නියඟය සහ පසුව දැඩි වර්ෂාපතනය වැනි ආන්තික කාලගුණික තත්ත්වයන් දේශගුණික විපර්යාස නිසා වඩාත් නරක අතට හැරෙන අතර ක්ෂණික ජලගැලීම් සඳහා එය පොදු හේතුවකි.

2021 වසරේදී ඇමෙරිකානු විද්‍යාඥයින් පිරිසක් විසින් Nature සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් අනාවරණය කර ඇත්තේ, අප අතරින් වැඩි පිරිසක් ජලගැලීමේ අවදානමට ලක්ව ඇති ප්‍රදේශවල ජීවත් වන බව ය. මෙයට හේතුව අධික වර්ෂාපතනය, මුහුදු මට්ටම ඉහළ යාම සහ වඩාත් ප්‍රබල සුළි කුණාටු වැනි කාලගුණික සිදුවීම් කෙරෙහි දේශගුණික විපර්යාසවල බලපෑම් වැඩි වීම ය.

එසේ නම්, ඔබ හදිසි ගංවතුරකින් බේරෙන්නේ කෙසේ ද? ඔබ වේගයෙන් ගලා යන ජලයක (ජලගැලීම්) සිටින විට ඔබ අනතුරට ලක් නොවී සිටීමේ සම්භාවිතාව වැඩි කළ හැකි මූලික පියවර කිහිපයක් තිබේ.

බලන්න, සවන් දෙන්න, කතා කරන්න සහ ඉගෙන ගන්න

2024 මැයි 5 වන දින ගංවතුරින් දැඩි ලෙස බලපෑමට ලක් වූ බ්‍රසීලයේ පෝටෝ ඇලග්‍රේ නගරයේ මධ්‍යයේ ගුවන් දර්ශනය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රසීලයේ පෝටෝ ඇලෙග්‍රේ නගරය වැනි ජලගැලීමේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශවල වැඩි වැඩියෙන් මිනිසුන් ජීවත් වන බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති.

ආධුනිකයන් සඳහා කළ යුතු වැදගත් ම දෙය නම් ඔබ ජලගැලීම්වලට ගොදුරු වන ප්‍රදේශයක ජීවත් වන්නේ දැයි දැන ගැනීම ය. විශේෂයෙන් අධික වර්ෂාපතනය පිළිබඳ බලධාරීන්ගේ අනතුරු ඇඟවීම් වැනි දේශීය කාලගුණ පුවත් කෙරෙහි අවධානය යොමු කරන්න.

ඔබ ජලය ඉහළ යාමේ අවදානමට ලක්විය හැකි ප්‍රදේශයක සිටී නම්, ඔබේ පවුල සහ සුරතල් සතුන් එම ප්‍රදේශයෙන් ඉවතට ගෙන යාමට සැපසුම් කරන්න. ඖෂධ, පිරිසිදු ජලය, බැටරි, ජංගම දුරකතන චාජරයක් සහ ජල ආරක්ෂිත ඇඳුම් සහිත හදිසි කට්ටලයක් තබා ගැනීමට එමගින් පහසු වනු ඇත. රතු කුරුස සංවිධානය වැනි සංවිධාන, ජලගැලීම් සඳහා රැස් කර ගත යුතු බඩුබාහිරාදිය මොනවා ද යන්න පිළිබඳ තොරතුරු සපය යි.

එසේ ම, ජලගැලීම් අවදානම ගැන අසල්වාසීන්ට - විශේෂයෙන් වයෝවෘද්ධ සහ අවදානමට ලක්විය හැකි පිරිස් - දැනුවත් කිරීමට වග බලා ගන්න.

මගේ නිවස ආරක්ෂා කරන්නේ කෙසේ ද?

2011 ඔක්තෝබර් 16 වන දින චාඕ ෆ්‍රායා ගඟ අසල බැංකොක්හි ගංවතුරට හසු වූ ඔවුන්ගේ නිවසේ පුද්ගලයන් දෙදෙනෙක් පුවත්පත් කියවමින් සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බැංකොක්හි නිවසක මෙහි දක්නට ලැබෙන පරිදි ගංවතුරෙන් ඔබේ නිවස ආරක්ෂා කර ගැනීමේ පියවර සාර්ථක වනු ඇතැයි සහතික විය නොහැක

පළමු පියවර වන්නේ, පහසුවෙන් ප්‍රවේශ විය හැකි නිවසින් පිටවීමේ මාර්ගයක් ඇති බව සහතික කර ගනිමින් සියලු දොරවල් සහ ජනෙල් වසා අගුළු දැමීම ය.

ගොඩනැගිල්ල තුළට ඇතුළු වන ජල පරිමාව අඩු කිරීමට මෙය උපකාරී වේ. වැලි කොට්ට භාවිතයෙන් බිම කාණු සහ වැසිකිළි ආසන අවහිර කිරීම ද යෝග්‍ය වේ.

ජලගැලීමකට අසු වුණොත් මොක ද වෙන්නේ?

පිරිමි ළමයෙක් 2022 නොවැම්බර් 11 වන දින කොලොම්බියාවේ කැලි හි ගංවතුරින් යට වීදිය හරහා ගමන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොලොම්බියාවේ කැලී ප්‍රදේශයේ මෙම මාර්ගය වැනි - ජලගැලීමට ලක්වූ වීදිවල ඇවිදීම සැමවිට ම වැළැක්විය නොහැක - නමුත් කිසි විටෙකත් නිර්දේශ නොකෙරේ.

ඔබ එළිමහනේ සිටින විට වීදි දිගේ ජලය ගලා බසිනවා දුටුවහොත්, උස් බිමක් වෙත පිවිසීමට මාර්ගයක් සොයා ගන්න.

ගංවතුර ඇති ප්‍රදේශ හරහා ඇවිදීමෙන් හෝ රිය පැදවීමෙන් වළකින්න. විශේෂඥයින් පවසන්නේ, පුද්ගලයෙකු හෝ මෝටර් රථයක් ගසාගෙන යාමට පවා අවශ්‍ය වන්නේ, ගලා යන ජලය මීටර් භාගයකට වඩා අඩු ජල ප්‍රවාහයක් පමණක් බව ය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ, ජලගැලීම් ආපදා මරණවලින් 75%ක් දියේ ගිලීම්වලින් සිදුවන බව ය.

එසේ ම, මාරාන්තික විදුලි කම්පන ඇති කළ හැකි විදුලි රැහැන් ඇතුළු බරපතළ තුවාල ඇති කළ හැකි භයානක සුන්බුන් ජලයේ ගසාගෙන යයි.

ජලගැලීම්වලදී මෑන්හෝල් ආවරණ මලාපවහන නළ මාර්ගවලින් ඉවතට ගැලවී යා හැකි බැවින් ජලගැලීම් පවතින වීදි දිගේ ඇවිදීමෙන් හදිසියේ ම මීටර් කිහිපයක් ගැඹුරැති කාණුවලට ඇද වැටිය හැකි ය.

ඔබ ඔබේ නිවස තුළ සිටින්නේ නම්, ප්‍රධාන ස්විච්චයෙන් විදුලිය විසන්ධි කරන්න.

ගෑස් සහ ජලය සම්බන්ධයෙන් ද එසේ කරන්න. හැකි නම්, ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ ඉහළ තට්ටු හෝ ස්ථානවලට ගෙන යන්න. ජල මට්ටම ඉහළ යාමට පටන් ගන්නේ නම් ජලය ඉවත් කරන්න.

ගංවතුරෙන් පසු

2023 සැප්තැම්බර් 11 වන දින නැගෙනහිර ලිබියාවේ ඩර්නා හි හදිසි ගංවතුර හේතුවෙන් ඇති වූ අනෙකුත් සුන්බුන් අතර පෙරළුණු මෝටර් රථ තැන්පත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, දේශගුණික විපර්යාස සිදුවීම්වල බලපෑම මගින් වඩාත් තීව්‍ර වූ වර්ෂාපතනයක් ඇති කරන අතර ලිබියාවේ ඩර්නා ප්‍රදේශයට බලපෑ ජලගැලීම් ඊට උදාහරණ සපයයි.

ආපසු නිවස වෙත යාමට පෙර සෑම විට ම ප්‍රාදේශීය හදිසි ආපදා කළමනාකරණ ආයතන සමග කතා කරන්න.

ජලගැලීම් නිසා කැඩී ඇති විදුලි රැහැන්වල සිට සුන්බුන් සහ සර්පයන් වැනි භයානක සතුන් දක්වා අනතුරු ඔබ පසුපස හඹා යයි.

ජලගැලීම් බොහෝ විට සෞඛ්‍ය අවදානම් ඇති කරන අපද්‍රව්‍ය, තෙල් හෝ වෙනත් භයානක ද්‍රව්‍ය රැගෙන යයි.

නිර්දේශ සහ උපදෙස් තැනින් තැනට වෙනස් විය හැකි බව මතක තබා ගැනීම වැදගත් වේ. එබැවින් කරුණාකර ඔබ ජීවත් වන ප්‍රදේශයේ වගකිව යුතු ආයතනවලින් සෑම විට ම තොරතුරු ලබා ගන්න.