කාන්තා නියෝජනය: රෝසි ප්‍රායෝගික නෑ - උපේක්ෂා

ඡායාරූප මූලාශ්‍රය, Getty
- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සිංහල සේවය
ශ්‍රී ලංකාවේ මහ මැතිවරණ නාම යෝජනාවලින් සියයට තිහක් කාන්තාවන් උදෙසා වෙන් කළ යුතු බවට රෝසි සේනානායක රාජ්‍ය අමාත්‍යවරිය කරන යෝජනාව ප්‍රායෝගික නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි පවසයි.
ඒ වෙනුවට කළ යුතුව තිබෙන්නේ ජාතික ලැයිස්තුවෙන් සියයට තිහක ප්‍රමාණයක් වෙන් කිරීම බවයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරිය පවසන්නේ.
මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානය වැනි රටක් පවා එවැනි කෝටාවක් නියම කොට තිබියදී, කාන්තාවන් වෙනුවෙන් ජාතික ලැයිස්තුවෙන් හෝ සාධාරණය ඉටු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසවීම කණගාටුවට කරුණක් බවද ඇය පවසන්නීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ යන දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුන ඉදිරිපත් කර තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවි 87 අතර කාන්තාවන් සිටින්නේ පස් දෙනකු පමණයි.

ඡායාරූප මූලාශ්‍රය, Upeksha Swarnamali
ජනතා විමුක්ති පෙරමුණ කාන්තාවන් තිදෙනකු නම් කර තිබෙන අතර, එක්සත් ජාතික පක්ෂය දෙදෙනකු නම් කරනු ඇති බවයි සැලකෙන්නේ.
මේ තත්වය කිසිසේත්ම පිළිගත නොහැකි බවයි හිටපු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි පවසන්නේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානය තමන් තරඟ වදින ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් කාන්තාවන් හය දෙනකු නම් කොට තිබෙන බව පවසන ඇය, රට පුරාම කාන්තාවන් කොපමණ පිරිසක් සන්ධානයෙන් තරඟ වදින්නේ දැයි තමා නොදන්නා බව කියා සිටියාය.
'සියුමැලිකම දුර්වලකමක්ද?'
"අපේ රටේ මම දකින ලොකුම ගැටලුව ආකල්පමය ගැටලුව. සමාජය යටහත් කරගෙන ඉන්න පුළුවන් පිරිසක් දේශපාලකයෝ විය යුතුයි කියන ආකල්පමය දුර්වලතාවයක් සමාජයේ තියෙනවා."
දේශපාලනය කාන්තාවට අකැප බවට ආකල්පයක් පවතින බවයි, ඇය පවසන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, Jeevanee Kariyawasam
"අපේ සුන්දරකම, අපේ සියුමැලිකම අපේ දුර්වලකමක් හැටියට සමාජය දකිනවා."
ශ්‍රී ලංකා දේශපාලනයේ දූෂණ, වංචා චෝදනා ලැබූ මන්ත්‍රීවරියන් හෝ ඇමතිවරියන් ඉතා දුලබ බව පවසන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂිකාව, කාන්තාවන් බොහෝ විට සිය කීර්ති නාමය ආරක්ෂා කරගැනීමට වෙර දරන බවත් පවසන්නීය.
රටේ සියලු පක්ෂවල නායකත්වය හොබවන්නේ පුරුෂයන් බැවින් කාන්තාවන්ට අවස්ථාව ලබාදීමට ඔවුන්ගේ සැබෑ අභිලාශයක් තිබෙන හැඩක් දක්නට නොමැති බවයි, පුත්තලම දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා බලාපොරොත්තුව සිටි හලාවත නාගරික මන්ත්‍රීනි ජීවනී කාරියවසම් බීබීසී සංදේශයට කියා සිටියේ.
බිරියන් හෝ දියණියන්
පුත්තලම දිස්ත්‍රික්කයේ සන්ධාන අපේක්ෂකයන් 11 දෙනකු අතරින් කාන්තාවන් සිටින්නේ එක අයකු පමණක් බව පෙන්වා දෙන ඇය, මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ මැතිවරණ පොරොන්දු උල්ලංඝනය කිරීමක් බවත් සඳහන් කළේය.

"මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ දින සියයේ වැඩපිළිවෙලේ සහ ඔහු කාන්තා ප්‍රඥප්තියක් ඉදිරිපත් කළා. ඒකෙ පැහැදිලිව සඳහන් කරලා තියෙනව ඔහු කාන්තා නියෝජනය වැඩි කරනවා කියලා," ජීවනී කාරියවසම් පවසන්නීය.
කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින බව පවසන රාජ්‍ය නොවන සංවිධානද ඇගේ දැඩි විවේචනයට ලක් වෙයි.
"මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඒ දවස්වල ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් තියෙනව මේක වැඩි කරනවා කියල. මොකද මේ රටේ සැබෑ ප්‍රශනයක් තියෙනවනේ. කාන්තාව තීන්දු තීරණ ගන්න තැන්වල නෑ."
හිටපු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි ඉදිරිපත් කරන යෝජනාව පිළිබඳව අදහස් දක්වමින් ජීවනී කාරියවසම් පවසන්නේ, එය යහපත් යෝජනාවක් වන නමුත් කාන්තා අයිතිවාසිකම් සන්බන්ධයෙන් සවිඥානිකව සිටින කාන්තාවන් විනා එය පාලක පන්තියේ බිරියන් හෝ දියණියන් පාර්ලිමේන්තු යැවීම පිණිස යොදා නොගත යුතු බවයි.








