ඔබ දෙමාපියන් සමග ඇති සබඳතාව කවදා හෝ නැවැත්විය යුතු ද?
![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/640/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)
ඡායාරූප මූලාශ්‍රය, Getty Images/BBC
- Author, මීරියම් ෆ්‍රැන්කල්
- Role, BBC Future
සාරා මුල් වරට තම මව සමග පැවති සබඳතාව නතර කළේ ඇගේ 21 වන උපන්දිනයෙන් දින කිහිපයකට පසුව ය. "මට ඇත්තට ම තරහ යන්න ගත්තා," සාරා පවසයි. අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා ඇගේ නම වෙනස් කර තිබේ. උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ දුරකතන ඇමතුමක් අතරතුර ඇය තම සම්බන්ධතාව අවසන් කළා ය.
ඇගේ උපන්දිනය සැමරීමට නොහැකි වීමට තරම් ඇගේ දෙමාපියන් කාර්යබහුල වීම ඊට එක් හේතුවක් විය. නමුත් ඊට එහා ගිය යමක් තිබිණි. මවගේ අනුකම්පා විරහිත බව, ආත්මාර්ථකාමී බව මෙන් ම තම ජීවිතය කෙරෙහි ඇය තුළ කිසිදු උනන්දුවක් නොමැති වීමෙන් සාරා වෙහෙසට පත්ව සිටියා ය. ඇය සාරාගේ අධ්‍යාපන කටයුතු අවතක්සේරු කළ අතර පවුලට අයත් ගොවිපළේ කටයුතු සඳහා උදව් වන ලෙසට නිරන්තරයෙන් ඇයට බලපෑම් කළා ය. සියල්ලට ම වඩා, සාරාට වේදනාවක් දැනුණේ ඇගේ මව තමා පාලනය කරන සහ ඇතැම් විට හිරිහැර කරන පියාගෙන් ඇයව ආරක්ෂා කිරීමට අපොහොසත් වීම ගැන ය.
වසර දෙකක් හෝ තුනක් යනතුරු සාරාට ඇගේ මව සමග කිසිදු සම්බන්ධයක් නොතිබිණි. මව ද කවදා හෝ සාරා වෙත නොගියා ය. "ඒකෙන් හරි ම නිදහසක් දැනුණා," සාරා සිහිපත් කරයි.
කෙසේ වෙතත්, අවසානයේ ඇය විදේශගත වීමට තීරණය කළ අවස්ථාවේ, සාරා දේවල් අවුල්සහගත තත්ත්වයක තබා යාමට අකමැති වූ අතර ඇගේ දෙමාපියන් සමග නැවත සම්බන්ධ වූවා ය. ඔවුන් තුළ පසුතැවිල්ලක් නොතිබූ අතර, කිසිවක් සිදු නොවූවාක් මෙන් ක්‍රියා කළ කර තිබිණි. ඊළඟ දශක කිහිපය තුළ තවත් විරසක කාල පරිච්ඡේද උදා වූ බව ඇය පවසයි.
පවුලේ සාමාජිකයන්ගෙන් දූරස්ථ වීම වැඩි වෙමින් පවතින බව බොහෝ දෙනෙකු තර්ක කළත්, එය තහවුරු කරන දත්ත සොයා ගැනීම තරමක් දුෂ්කර ය. නමුත් පවතින දත්තවලට අනුව එය පුදුමසහගත ලෙස සාමාන්‍ය දෙයයක් වී තිබේ. ඔබේ ම දෙමව්පියන්ගෙන් වෙන්වීමට ගන්නා තීරණය විශාල එකකි.
එසේ නම්, එය කළ යුත්තේ කවදා දා? එය නිවැරදි දෙයක් ද? සහ එය අප සතුටට පත් කරනවා ද? බුද්ධිමත් කරනවා ද? අවසාන වශයෙන්, අපගේ දෙමාපියන් අපට ණයගැති ද? - සහ අප ඔවුන්ට ණයගැති ද? යන ප්‍රශ්න ගණනාවක් මතු වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/BBC
බටහිර එංගලන්ත විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක සහ "No Family is Perfect: A Guide to Embracing the Messy Reality" නම් ග්‍රන්ථයේ කතුවරිය වන ලුසි බ්ලේක් පවසන පරිදි, පවුල් විරසක පිළිබඳ ඇති පර්යේෂණ සාපේක්ෂව ඉතා අල්ප ය: "ඒක තවමත් සමාජය පිළිනොගන්නා දෙයක්," ඇය පවසයි. "ඒක මිනිස්සු කතා කරන්න අකමැති හරි ම භයානක මාතෘකාවක්. එයාලා හිතන්නේ ඒක අනිත් අයට විතරක් වෙන දෙයක් කියලා."
ඇමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයින් 8,500කට වැඩි පිරිසකගේ සමීක්ෂණයක දත්ත උපයෝගී කරගනිමින් 2022දී ප්‍රකාශයට පත් කරන ලද එක් අධ්‍යයනයකින් හෙළි වූයේ, ඔවුන්ගෙන් 26%ක් වසර 24ක කාලයක් තුළ තම පියාගෙන් සහ 6%ක් තම මවගෙන් වෙන්ව සිටීමේ කාල පරිච්ඡේදයන් අත්විඳ ඇති බවයි. ඇතැම් අවස්ථාවල තම දෙවම්පියන් හමු වූ පිරිස් ද මීට ඇතුළත් වේ. ජර්මනියේ පුද්ගලයින් 10,200 දෙනෙකු යොදාගෙන කරන ලද ඊට සමාන අධ්‍යයනයකින් හෙළි වූයේ, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 9%ක් වසර 13ක කාලයක් තුළ තම මව්වරුන්ගෙන් සහ 20%ක් තම පියවරුන්ගෙන් වෙන්ව සිටීම අත්විඳ ඇති බවයි.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2020දී ප්‍රකාශයට පත් කරන ලද පොතක විස්තර කර ඇති පුද්ගලයින් 1,340 දෙනෙකුගෙන් යුත් තවත් එක්සත් ජනපද සමීක්ෂණයකදී, කෝනෙල් විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥ කාල් පිල්ලමර් පවසන්නේ 10%ක් දැනට දෙමාපියන්ගෙන් හෝ දරුවෙකුගෙන් කිසිදු සම්බන්ධතාවක් නොමැතිව සම්පූර්ණයෙන් ම වෙන්ව සිටින බවයි.
නමුත් දිගු කාලයක් තිස්සේ වෙන්ව සිටි පුද්ගලයින් පිළිබඳ දත්ත නොමැති බැවින්, මෙම සංසිද්ධිය වඩාත් සුලභ වෙමින් පවතීදැයි දැන ගැනීම දුෂ්කර ය. කෙසේ වෙතත්, පිලෙමර් වැනි ඇතැම් පර්යේෂකයන් විශ්වාස කරන්නේ එය එසේ බවයි.
"බේබි බූමර්ස් යුගයට පෙර පරම්පරාවලදී, පවුලක එකමුතු බව ගැන ඉතා ශක්තිමත් සම්මතයක් තිබුණා. ඒ කියන්නේ, රුධිරය ජලයට වඩා ඝනයි, කියන එක. ඒ සම්මතයන් දැන් දුර්වල වෙලා," යැයි පිලෙමර් පවසන්නේ මෙය අනිවාර්යයෙන් ම නරක දෙයක් නොවන බවට තර්ක කරමිනි. අවිවාහක සබඳතා සහ දරුවන් නොමැති යුවළ වැනි නව පවුල් සම්මතයන් කාලයත් සමග වඩාත් පිළිගත හැකි වී ඇති බව ඔහු සඳහන් කරයි.
විරසකයන්ට මුහුණ දුන් පවුල් සමග කටයුතු කරන සහ මෙම මාතෘකාව පිළිබඳ පොත් කිහිපයක් ලියා ඇති සායනික මනෝවිද්‍යාඥයෙකු වන ජෝෂුවා කෝල්මන් ද ඊට එකඟ වේ. පුද්ගලයින් තනිව සිටීමට දක්වන කැමැත්ත වැඩි වීම ද විරසකයට හේතු විය හැකි බව ඔහු තවදුරටත් පවසයි.
"තනිපුද්ගලවාදයේ සංස්කෘතිය තමයි තමාගේම ආත්මය, තමාගේ අනන්‍යතාව, තමාගේ ම සතුට කෙරෙහි ඇති අවධානය," ඔහු තර්ක කරයි. "ඒ නිසා අනෙක් අය සමග අපිට තියෙන සබඳතා ද්විතීයික ලෙස සලකනවා." අධ්‍යයනවලින් පෙනී යන්නේ ඊශ්‍රායලය, ජර්මනිය සහ එක්සත් රාජධානිය වැනි තරමක් අඩු තනිපුද්ගලවාදී රටවල දෙමාපියන්ට වඩා ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩිහිටි දෙමාපියන් තම දරුවන් සමග නරක සම්බන්ධතාවක් ඇති කර ගැනීමේ සම්භාවිතාව දෙගුණයකටත් වඩා වැඩි බවයි.
කෝල්මන් තර්ක කරන්නේ, මෙය සමාජ මාධ්‍ය මගින් තවදුරටත් වර්ධනය කරන බවයි. ඔබට සමාන අදහස් ඇති පුද්ගලයින් පිරිසක් අන්තර්ජාලය හරහා සොයා ගැනීම පහසු වෙමින් පවතින අතර, බොහෝ බලපෑම් කරන්නන් "විෂ සහිත" පුද්ගලයින් සමග අපට ඇති සබඳතා කපා හැරීමට අපව දිරිමත් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/BBC
චිකිත්සකයින්ගේ සහය පැතීම වැඩි වීම ද යම් කාර්යභාරයක් ඉටු කර ඇති බව ඔහු තර්ක කරයි. ඇතැම් අවස්ථාවලදී එය එතරම් යහපත් නොවෙයි. උදාහරණයක් ලෙස, සමහර චිකිත්සකයින්, කතාවේ එක් පැත්තක් පමණක් අසා, පවුලේ සාමාජිකයන් හමුවීමෙන් තොරව මානසික රෝග "රෝග විනිශ්චය" කළ හැකි ය. කෙසේ වෙතත්, මෙය මනෝචිකිත්සාව සහ මනෝවිද්‍යාව යන ක්ෂේත්‍රවල ආචාර ධර්ම නීතිවලට පටහැනි ය. කෝල්මන් පවසන්නේ, චිකිත්සාවලින් පසු, දෙමව්පියන්ට විෂ සහිත (toxic), නාසිස්ම පෞර්ෂ අක්‍රමිකතාව (narcissistic) හෝ පෞරුෂ ආබාධ ඇති බවට චෝදනා කළ බොහෝ වැඩිහිටි දරුවන් තමාට හමු වූ බවයි.
සබඳතා කපා හැරීම නරක තීරණයක් යැයි ඉන් අදහස් නොවේ. බොහෝ දෙනෙකුට එසේ කිරීමට ඉතා හොඳ හේතු තිබේ, විශේෂයෙන් ළමා අපයෝජනයට ලක් වූ අයට, පිලෙමර් පවසයි. "ඒ ගැන කිසිදු සමාජය අහිතක් නොසිතිය යුතුයි," ඔහු පවසයි. ඔබේ දෙමව්පියන් ඔවුන්ගේ හැසිරීම ගැන සම්පූර්ණයෙන් ම පසුතැවිලි නොවන්නේ නම් හෝ ඔබට ඇහුම්කන් දීම පවා ප්‍රතික්ෂේප කරන්නේ නම් එය ම සත්‍ය විය හැකි බව කෝල්මන් තවදුරටත් පවසයි.
නමුත් පිලෙමර් පවසන්නේ, සමීක්ෂණයක් සහ පවුල සමග විරසක වූ පුද්ගලයින් 300 දෙනෙකු සමග සිදු කළ ගැඹුරු සම්මුඛ සාකච්ඡා ඇතුළත් ඔහුගේ පර්යේෂණයෙන් පෙනී ගියේ, එය බොහෝ විට තම සැමියා හෝ බිරිඳගේ පාර්ශවයේ ඥාතීන් සමග ඇති කර ගන්නා ආතතීන් වැනි "ක්‍රමයෙන් ගොඩනැගෙන නරක අත්දැකීම්" බවත් එය කෙනෙකු සබඳතා කපා හැරීමට හේතු වන බවත් ය.
කෝල්මන් විසින් ඇමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයින් 1,000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලද මත විමසුමකදී, බොහෝ අය තම පවුලේ සාමාජිකයන් විසින් ගනු ලැබූ නිශ්චිත ක්‍රියාමාර්ග හෝ සාමාන්‍ය පවුල් ඝට්ටනයන් ඔවුන්ගේ විරසකයට හේතු ලෙස සඳහන් කළහ. මෙය ඇතැම් විට දික්කසාදයකින් පසු ලැබෙන අත්දැකීම් සමග සම්බන්ධ වේ. එනම්, තම මව හෝ පියා වෙනුවෙන් පෙනී සිටීම හෝ ඔවුන්ගේ නව සහකරුට අකමැති වීම ය. අනන්‍යතාව සහ ලිංගිකත්වය ද ප්‍රධාන සාධක විය හැකි ය. උදාහරණයක් ලෙස ඇතැම් දෙමව්පියෝ තම දරුවා සමලිංගිකයෙකු බව පිළිගැනීම ප්‍රතික්ෂේප කරති. පහෙන් එකක් පමණ පැවසුවේ දේශපාලන වෙනස්කම් ද හේතුවක් බවයි.
කෙසේ වෙතත්, බ්ලේක් එක්සත් රාජධානියේ පවුලේ සාමාජිකයෙකුගෙන් වෙන්ව සිටි පුද්ගලයින් 800 දෙනෙකු පමණ සමීක්ෂණය කළ විට, බොහෝ අය මානසික හිංසනය හේතුවක් ලෙස සඳහන් කළ බව ඇය සොයා ගත්තා ය. "ඒක සාමාන්‍යයෙන් ගැටලුසහගත දෙමාපිය රැකවරණය ගැන, ඒ කියන්නේ දැඩි, දරුවන් පාලනය කරන, දරුවන්ට කිසිදු නිදහසක් ලබා නොදෙන අම්මලා තාත්තලා ගැන, යැයි ඇය පවසන නමුත්, ඇගේ සමීක්ෂණයට සහභාගී වූවන් දෙමව්පියන්ගෙන් වෙන්වීමට මුහුණ දීම සඳහා විශේෂයෙන් සහය සෙවූ පුද්ගලයින් බවත්, එබැවින් එය අත්විඳින සෑම කෙනෙකු ම ඉන් සම්පූර්ණයෙන්ම ම නියෝජනය නොකරන බවත් ඇය අවධාරණය කරයි. නමුත් ඇය පවසන්නේ එය දුෂ්කර පවුල් සබඳතාවල බහුලව නොසලකා හරින අංගයක් ඉස්මතු කරන බවයි.
"මම හිතන්නේ නැහැ තමන්ට ආරක්‍ෂිත නැහැ කියල හිතෙන සම්බන්ධයක කිසි කෙනෙක් ඉන්න ඕනේ කියලා," ඇය පවසයි. "ගොඩක් වෙලාවට අපි හිතන්නේ කායික, නැත්නම් ලිංගික හිංසන ගැන. ඒත් මානසික හිංසනය ගැන කතා කිරීමත් ඒ හා සමානව වැදගත්."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images/BBC
කෝල්මන් සහ පිලෙමර් පවසන්නේ මානසික හිංසනය යනු සංකීර්ණ යෙදුමක් වන අතර එය වැරදි ලෙස භාවිත කළ හැකි බවයි. ඇතැම් විට තම ළමා කාලය නැවත ලිවීමට හේතුවන මානසික රෝග හෝ මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ගැටලු ඇති වැඩිහිටි දරුවන් තමන්ට සහය දක්වන දෙමව්පියන් අසාධාරණ ලෙස අපයෝජනකාරී දුෂ්ටයන් ලෙස දකින බව කෝල්මන් පවසයි. නමුත් සැබෑ මානසික හිංසනය එය අත්විඳින අයට ඇති කළ හැකි බලපෑම නොසලකා හැරීම හෝ අපයෝජනය වසර ගණනාවකට පෙර සිදු වූ නිසා ම ඒ පිළිබඳ ඔවුන්ගේ මතක නොසලකා නොහැර සිටීම වැදගත් වේ.
නමුත් සෞඛ්‍ය සම්පන්න දෙමාපිය රැකවරණයක් සඳහා වන සම්මතයන් ද අඛණ්ඩව වෙනස් වන බව සඳහන් කිරීම වටී යැයි ඔහු තවදුරටත් පවසයි. අද මානසික අපයෝජනයක් හෝ නොසලකා හැරීමක් ලෙස සලකනු ලබන දේ අතීතයේදී එසේ සලකනු නොලැබුණා විය හැකිය. නිදසුනක් වශයෙන්, අද දෙමව්පියෝ බොහෝ විට තම දරුවාගේ මානසික රෝගය හඳුනාගෙන එයට සහය වීමට උත්සාහ කරති. නමුත් වසර 40කට පෙර, මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ මහජනතාවගේ අවබෝධය අදට වඩා බෙහෙවින් සීමිත විය.
පැහැදිලිව ම, ඇතැම් අය සිතන්නේ තම දෙමාපියන් සමග ඇති සබඳතා සමහර විට කපා හැරීම අවශ්‍ය බවයි. නමුත් අප ඇත්තට ම ඔවුන්ට කොපමණ ණයගැති ද?
අප අපේ දෙමාපියන්ට ඔවුන් සමග ජීවිත කාලය පුරා ම සම්බන්ධතාවක් පවත්වා ගැනීමට බැඳී සිටිනවා දැයි යන්න විමසූ විට ඩබ්ලින් විශ්වවිද්‍යාල විද්‍යාලයේ දාර්ශනික ක්‍රිස්ටෝෆර් කව්ලි මෙසේ පවසයි: "මට හිතාගන්න බැහැ." "එක් අතකින්, මම මගේ දෙමව්පියන්ට වචනාර්ථයෙන්, පාරභෞතිකව සහ පැවැත්මේ අර්ථයෙන් සෑම දෙයකට ම ණයගැතියි. නමුත් පැහැදිලිව ම, මම දෙමව්පියන්ගෙන් වුණු අපයෝජනයකින් බේරුණු කෙනෙක් කියමු. ඒ කියන්නේ මට ඔවුන් එක්ක සම්බන්ධයක් පවත්වන්න තරම් තවදුරටත් බැඳීමක් නැහැ කියන එක." දෙමව්පියන් සහ වැඩිහිටි දරුවෙකු අතර පරමාදර්ශී සම්බන්ධතාවක් මිත්‍රත්වයකට සමාන වනු ඇතැයි ඔහු පවසයි.
අපි දරුවන් වන විට, සම්බන්ධතාව කෙතරම් ශක්තිමත් ද යන්න සහ එහි වගකීම සම්පූර්ණයෙන් ම අපගේ දෙමාපියන් වෙත පැවරේ. නමුත් අපි වයස්ගත වන විට මෙය වෙනස් වේ. යෞවනයන්ට බොහෝ විට තම දෙමාපියන්ට දොස් පැවරීමට සහ විවේචනය කිරීමට සිදුවන්නේ ස්වභාවිකව සිදුවන දූරස්ථ වීමේ ක්‍රියාවලියක් තුළ බව කව්ලි පැහැදිලි කරයි. "නමුත් ඔබ පූර්ණ වශයෙන් වැඩිහිටියෙකු වූ පසු, ඔබේ සියලු ගැටලුවලට ඔබේ දෙමාපියන්ට දොස් පවරන්න බැහැ," ඔහු තර්ක කරයි. ඒ වගේ ම යම් අවස්ථාවකදී, අපගේ දෙමව්පියන් ඉතා වයස්ගත වී, අවදානමට ලක්විය හැකි තත්ත්වයකට පත් වීම සිදුවේ. එවිට, ඔහු පවසන්නේ, අප තවත් ඉවසීමට මෙන් ම ඔවුන් කෙරෙහි දයාන්විත වීමට නැඹුරු විය හැකි බවයි.
අපි අපගේ අසාර්ථකත්වයන් විනිශ්චය කරන විට, අපි බොහෝ විට අපට වඩා බාහිරව ඇති හේතු වෙත දොස් පවරන්නෙමු. උදාහරණයක් ලෙස, අපට යම් කාර්යයක් නිසි වේලාවට ඉටු කිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා අපට ප්‍රමාණවත් කාලයක් ලබා දී නොමැති බවට හෝ විශ්වාස කළ නොහැකි නිදහසට කරුණු දැක්විය හැක. නමුත් අන් අය සම්බන්ධයෙන් ගත් කල එය එසේ නොවේ. එබැවින්, අප අපගේ දෙමව්පියන් සම්බන්ධයෙන් සාධාරණව කටයුතු කිරීමට අවශ්‍ය නම්, අප ඔවුන්ගේ බාහිර තත්ත්වයන් ද සලකා බැලිය යුතු ය. දැනුම නොමැතිකම, මානසික රෝග, කම්පනය හෝ දුර්වල මූල්‍ය තත්ත්වයන් ඔවුන් තම දරුවන් අයහපත් ලෙස රැකබලා ගැනීමට හේතු වී තිබේ ද?
පිලෙමර් මවක සහ ඇගේ වෙන් වූ පුත්‍රයා සමග සම්මුඛ සාකච්ඡාවක් කළ ආකාරය සිහිපත් කරයි. ඔවුන් අවුරුදු 25ක් පමණ එකිනෙකා දැක නොතිබිණි. මව සම්බන්ධයෙන් ඔහු පවසන්නේ, "ඇගේ සැමියා 1960 දශකයේ මුල් භාගයේදී ඇයව අතහැරලා දාලා තිබුණා, සහ ඒ කාලය කාන්තාවකට තනිව ජීවත් වීමට අපහසු කාලයක්. ඒ නිසා ඇය නැවත විවාහ වුණා. ඔහු හොඳයි කියලා කියන්න බැරි වුණත් හිරිහැර නොකරන කෙනෙක්," ඔහු තවදුරටත් පවසයි. "පුතා ඒ ගැන ඇය සමග අමනාප වුණා. නමුත් ඇගේ පවුලට ආරක්ෂාව අවශ්‍ය බව ඇයට හැඟුණා, අවසානයේ ඔහුට ඒ ගැන යම් අවබෝධයක් ලැබුණා."
මේ අතර, කෝල්මන් පවසන්නේ, පියෙකුගේ සහයෝගයක් නොමැතිව මව විසින් ඇතිදැඩි කරන ලද වැඩිහිටි දරුවෙකු එක් අවස්ථාවකදී ඔහුට හමුවූ බව යි. "ඒ ළමයා කියනවා, 'ඔයා වැඩ බදාගෙන හිටියා, මාව නොසලකා හැරියා වගේ දැනුණා' කියලා," කෝල්මන් පවසයි. "එක් අතකින්, ඒ අම්ම ඒ ගැන හිතන්න තිබුණා. නමුත් අම්මා තමන්ව ඇති දැඩි කරන්න රැකියා දෙකක් කරපු එක ගැන දරුවාට සහකම්පනයක් තියෙන්න තිබුණා."
දෙමව්පියන්ගේ හැසිරීම තේරුම් ගැනීමට උත්සහ කිරීම අපට මානසික වශයෙන් සහනයක් ගෙන දිය හැකි ය. ඒ සියල්ල දුෂ්ට හෝ හිතාමතා සිදු වූවක් නොවන බවත්, එමගින් වේදනාවෙන් යම් ප්‍රමාණයක් ඉවත් කළ හැකි බවත් අපට වැටහෙනු ඇත. අප ඔවුන්ට සමාව දිය යුතු බව හෝ ඔවුන් සමග සම්බන්ධයක් පවත්වා ගත යුතු බව ඉන් අදහස් නොවේ. නමුත් යම් පැහැදිලි බවක් ලබා ගැනීමෙන්, එය අඳුරු අතීතයක් නිසා ඇතිවන පීඩනයට විසඳුමක් විය හැක. මේ ආකාරයට සිතීමෙන්, අප දෙමාපියන් වූ විට පවා, දරුවන්ට අපෙන් එල්ල වන පීඩනය යම් දුරකට ඉවත් කර ගත හැකි ය.
අපගේ ජීවිතයෙන් කෙනෙකු කපා දැමීමට පෙර, වෙන්වීම මගින් ජීවිත කාලය පුරාවට ම ඇති කරන මානසික බලපෑම් මතක තබා ගත යුතු බව කව්ලි යෝජනා කරයි.
දෙමව්පියන් මිය ගිය පසු තමා ගත් තීරණය නිවැරදි දැයි හැඟෙනු ඇති ද? "පශ්චාත්තාපය ඔබට පාලනය කරන්න බැහැ," ඔහු තර්ක කරයි.
ඇතැම් පුද්ගලයින්ට, සම්බන්ධතා සම්පූර්ණයෙන් ම කපා නොදැමීම වඩාත් සුදුසු විය හැක. මන්ද යම් ආකාරයකින් සම්බන්ධතා පවත්වා ගැනීම අනාගතයේදී නැවත කතා කිරීමට අවස්ථාව විවෘත කරන බැවිනි. අප මුල්මනින් ම සබඳතා කපා හැරියොත්, අපගේ ජීවිතයේ ඉතිරි කාලය ම සිදුවූයේ කුමක්දැයි තේරුම් ගැනීමට අරගල කරමින් ගත කළ හැකි ය.
අවසාන වශයෙන්, ඔබට බයිබලයේ සඳහන් වන සහ දාර්ශනික එම්මානුවෙල් කාන්ට් විසින් ඉදිරිපත් කරන ලද උපක්‍රමයක් භාවිත කිරීමට අවශ්‍ය විය හැකිය: "අන් අය අපට සලකනවාට කැමති ආකාරයට ඔවුන්ටත් සලකන්න." අනාගතයේ ඔබ සිටින තැන ගැන සිතා බලන ලෙස කව්ලි පවසයි. ඔබේ වැඩිහිටි දරුවා හදිසියේ ම හැරී ඔබ ඔවුන් රැක බලා ගන්නා ආකාරය නව ප්‍රමිතීන්ට අනුව දුර්වල යැයි පැවසුවහොත් ඔබට කෙසේ හැඟෙනු ඇත් ද? අපගේ දෙමව්පියන් කළ වැරැද්ද අපි කවදා හෝ නොකරන බව සිතීම පහසු "නමුත් අපි වෙනත් වැරදි කරාවි," යැයි පිලෙමර් පවසයි.
එය අප කවුරුන් ද යන්න පිළිබඳව අප විසින් ම පවසන ගැටුම්කාරී හෝ ව්‍යාකූල කථා ඉවත් කිරීමට සහ අපව වඩාත් පැහැදිලිව තේරුම් ගැනීමට උපකාරී වේ. උදාහරණයක් ලෙස ඔබ, සමාජශීලී පුද්ගලයෙකු යැයි පවසමු. ඔබේ මතකයන් පුද්ගලයින්ගෙන් සහ ඔබ සහභාගී වූ අවස්ථාවලින් පිරී තිබිය හැක. කෙසේ වෙතත්, ඔබ පසුව ඔබ එම ජීවිතයෙන් මිදීමට තීරණය කළහොත්, ඔබේ මතකයන් වෙනස් විය හැකි ය. ඔබ තනිව සිටි අවස්ථා හෝ සමාජය තුළ ඔබට අපහසුතාවක් දැනුණු අවස්ථා ඔබට වඩාත් තදින් මතකයේ රැඳෙනු ඇත.
අපගේ දෙමව්පියන්ගේ මතකයන් සම්බන්ධයෙන් මෙන් ම, අප පිළිබඳ ඔවුන්ගේ මතකයන් සම්බන්ධයෙන් ද එය එසේ විය හැකිය. ඇතැමුන් ඔවුන්ගෙන් වෙන්වීමට තෝරා ගැනීමට මෙය එක් හේතුවක් විය හැකිය. බොහෝ දෙනෙකුට තම දෙමාපියන් පිළිබඳ දෙගිඩියාවෙන් යුත් හෝ ගැටුම්කාරී මතකයන් තිබීම ආතතියක් බව කෝල්මන් පවසයි. සබඳතා කපා හැරීමෙන්, ඔවුන් තේරුම් ගන්නේ ඔවුන්ට තවදුරටත් එසේ හැඟෙන්නට අවශ්‍ය නැති බවයි. ඔවුන් නරක දේ වැළඳගෙන හොඳ දේ මකා දමයි.
කෙසේ වෙතත්, ඇතැම් විට වඩාත් ම වැදගත් ප්‍රශ්නය වන්නේ සබඳතා කපා හැරීමෙන් අපට සත්‍ය වශයෙන් සතුටක් ලැබේ ද යන්නයි. බොහෝ දෙනෙකුට එය එසේ වේ. "සමීක්ෂණවලින් පෙනී යන්නේ වැඩිහිටි දරුවන් බොහෝ විට පවසන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් සතුටින් සිටින බවත් ආතතිය අඩු බවත්," කෝල්මන් පවසයි. "ඒගොල්ලන්ට දැනෙන ලැජ්ජාව හෝ වරදකාරී හැඟීම කුමක් වුවත්, ඒක හොඳ තීරණයක් වගේ දැනෙනවා. නමුත් දෙමව්පියන්ට නම් ඊට ප්‍රතිවිරුද්ධ හැඟීමක් දැනෙන්නේ. ඔවුන්ට ඒක වේදනාවක්, දුකක් සහ ව්‍යාකූල බවක්."
නමුත් වෙනත් අවස්ථාවලදී, එම සම්බන්ධ කපා හැරීමෙන් වෙනත් ගැටලු ඇතිවිය හැක.
"වෙන් වීම හරි ම හුදකලා විය හැකියි," බ්ලේක් පවසයි. බොහෝ වැඩිහිටි, දෙමව්පියන්ගෙන් වෙන් වූ දරුවන් අරගල කරන බව ඔහු සොයාගෙන ඇත. විශේෂයෙන් පවුල් සම්ප්‍රදායිකව එකට බොහෝ කාලයක් ගත කරන නිවාඩු දිනවල එය සිදුවේ. එබැවින්, ඔබ ඔබේ දෙමාපියන් සමග සබඳතා කපා හැරීම ගැන බැරෑරුම්ව සිතනවා නම් නම්, ඔබ වටා සහයක ජාලයක් ඇති බව සහතික කර ගැනීමෙන් පසු ඊට සූදානම් වන්න, ඇය උපදෙස් දෙයි.
පිලෙමර්ගේ පර්යේෂණයේදී, ඔවුන්ගේ වෙන්වීම ගැන කරදර නොවූයේ හතරෙන් එකක් පමණ පිරිසක් පමණි. සම්මුඛ සාකච්ඡාව ආරම්භ කිරීමේදී තමන් ගත් තීරණය ගැන සතුටු වන බව පැවසීම සාමාන්‍ය දෙයක් බව ඔහු පවසයි. නමුත් පසුව ඔවුහු දුකක් දැනුණු බවත් දේවල් තවමත් විසඳී නොමැති බවත් පිළිගත්හ. "වෙන් වෙද්දී, මම වාඩි වෙලා ඉන්න අත්ත කපලා දානවා," කව්ලි පැහැදිලි කරයි. "වැඩිහිටි දරුවන්ට ඔවුන්ගේ මූලයන් ගැන තියෙන හැඟීම නැතිවීම හානියක් කියලා මම හිතනවා."
කව්ලි, පිලෙමර් සහ කෝල්මන් යන සියලු දෙනා ම පවසන්නේ, ඔබට ඔබේ දෙමාපියන් සමග සම්බන්ධතාවක් පවත්වා ගැනීමට සත්‍ය වශයෙන් ම නොහැකි නම්, ඔබ සීමිත කාලයක් සඳහා ඔවුන්ගෙන් ඈත් වී සිටිය යුතු බවයි. "වසර ගණනාවක් තිස්සේ වෙන්වෙලා ඉඳලා හදවත් බිඳුණු දෙමව්පියන් සමග මම සෑම දිනක ම කටයුතු කරනවා, ඔවුන්ට සියදිවි නසාගැනීමේ සිතුවිලි ඇති වෙනවා," කෝල්මන් පවසන අතර, වෙන්වීමට තෝරා ගන්නා වැඩිහිටි දරුවන් වසරකට පසු තම දෙමාපියන් නැවත හමුවීමට නිර්දේශ කරයි. "සමහර විට, එම කාලය දෙමව්පියෙකු අවදි කිරීමට ප්‍රමාණවත්."
දෙමව්පියන් බොහෝ විට සම්බන්ධතාව සඳහා වැඩි කාලයක්, මුදල් සහ වෑයමක් ආයෝජනය කරන නිසා, වෙන්වීම ඔවුන්ට විශාල කාරණයක් වන අතර, එයින් අදහස් කරන්නේ ඔවුන් සාමාන්‍යයෙන් සම්බන්ධතාව නිවැරදි කිරීමට උත්සහයක් දැරිය යුතු බවයි.
සාමදාන වීම කළ හැක්කකි. 2022දී ඇමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයින් 8,500ක් යොදාගෙන කරන ලද අධ්‍යයනයකින් ඇස්තමේන්තු කර ඇත්තේ තම මව්වරුන්ගෙන් වෙන් වූ පුද්ගලයින්ගෙන් 62%ක් සහ තම පියවරුන්ගෙන් වෙන් වූ පුද්ගලයින්ගෙන් 44%ක් අවම වශයෙන් වසර 10ක කාලයක් තුළ යම් කාලයක් සඳහා සමගි වූ බවයි.
සාරාට සිදු වූයේ එයයි. ඇය දැනට ඇගේ මව සමග සීමිත සම්බන්ධතාවක් පවත්වයි. ඇය වයස්ගත වන බවත්, සැලකිය යුතු මානසික රෝගවලින් පෙළෙන "තරමක් දුෂ්කර ජීවිතයක් ගත කළ" බවත් සාරා පවසයි. "මට ඇය ගැන ටිකක් කණගාටුයි," සාරා පවසයි.
දෙමව්පියන් තම දරුවන්ට පරිපූර්ණ ළමා කාලයක් ලබා දීමට බැඳී නැත. දරුවන් තම දෙමාපියන්ට සදාකාලික කෘතඥතාව පළ කළ ද යුතු නැත. කෙසේ වෙතත්, ඇතැම් විට ඔවුන් එකිනෙකාට ණයගැති ය. එය සංවේදනය, ස්වයං පරාවර්තනය සහ සවන් දීමට ඇති කැමැත්ත විය හැකිය.



![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)










