වැඩිහිටියන් මව්කිරි පානය කිරීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබේ ද?

Breast Milk

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, සොෆියා බෙටීසා
    • Role, ගෝලීය සෞඛ්‍ය වාර්තාකරු, බීබීසී ලෝක සේවය

බොහෝ දෙනා එය වාචිකව "රන් කිරි" ලෙස හඳුන්වන අතර ඇතැම් විශේෂඥයින් පවසන්නේ, එය "මැජික් බලයන්ගේ" ප්‍රභවයක් බවයි.

මව්කිරි ළදරුවන්ට පෝෂ්‍ය පදාර්ථ සහ ප්‍රතිදේහ සපයන බවත්, එය ඔවුන්ගේ වර්ධනයට අත්‍යවශ්‍ය බවටත් විද්‍යාඥයෝ එකඟ වෙති. නමුත් ඇතැම් වැඩිහිටියෝ එහි ඇති සුපිරි ආහාරමය තත්ත්වය පිළිබඳව විශ්වාසය තබති.

දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන 39 හැවිරිදි ජේම්සන් රිටෙනූර්, තම සහකාරිය මව්කිරි ලබා දෙන අවස්ථාවකදී ඇය අතිරික්ත කිරි ප්‍රමාණයක් දෙවූ අවස්ථාවකදී පළමු වරට මව්කිරි ස්වල්පයක් පානය කර තිබිණි.

"ඇය ඒක ටිකක් අමුතු යි කියලා හිතුවත්, මම ඒක මගේ බෝතලේට දා ගත්තා," ඔහු බීබීසීයට පැවසීය.

මව්කිරි පානය කිරීමෙන් ඇති වන ප්‍රතිලාභ පිළිබඳව කායවර්ධන ක්‍රීඩකයෙකු යූ ටියුබ් වීඩියෝවක කළ පැහැදිලි කිරීමක් නැරඹීමෙන් පසු ජේම්සන් මව්කිරිවලින් ලැබෙන ප්‍රතිලාභ ගැන දැන ගැනීමට කුතුහලයෙන් පසු විය.

"ඔහු කියපු දේ හරි ම වැදගත්," ජේම්සන් කිව්වා.

A picture of Jameson Ritenour working out in the gym by lifting weights ජිම් එකේ බර ඉසිලීමෙන් ව්‍යායාම කරන ජේම්සන් රිටෙනෝර්ගේ පින්තූරයක්

ඡායාරූප මූලාශ්‍රය, Jameson Ritenour

ඡායාරූප ශීර්ෂ වැකිය, ජේම්සන් රිටනෝර් විශ්වාස කරන්නේ මව්කිරි කායවර්ධන මධ්‍යස්ථානය තුළදී පානය කිරීමෙන් ඔහුගේ ක්‍රියාකාරීත්වය වැඩි වන බව ය. කෙසේ වෙතත්, විශේෂඥයින් පවසන්නේ, ඒ සම්බන්ධයෙන් වඩාත් ප්‍රවේශම් විය යුතු බව ය.

තම සහකාරියගෙන් ලැබෙන මව්කිරි පානය කිරීම ජේම්සන්ගේ දින චර්යාවේ කොටසක් බවට පත් විය: ඔහුට දිනකට බෑග් දෙකක ප්‍රමාණයක් ලැබුණු අතර, ඉන් එකක අවුන්ස අටක් පමණ විය.

"මගේ ජීවිතයේ මගේ ඇඟේ හොඳ ම හැඩය තිබුණේ ඒ කාලේ," ඔහු බීබීසීයට පැවසීය.

"ඒක මට මාංශ පේශි වර්ධනය කර ගන්න උදව් වුණා. සති අටක් ඇතුළත මගේ බර අඩු වුණා, මාංශ පේශි ස්කන්ධයෙන් 5%ක් පමණ වැඩි වුණා."

ජේම්සන් පවසන්නේ, මව්කිරි ඔහුගේ ආහාර වේලෙහි කොටසක් වූ දා සිට කිසි දා තමන් අසනීප වූ බවක් හෝ සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ වැළඳුණු බවට මතකයක් නොමැති බව ය.

"මට බබෙක් වගේ වැඩෙන්නත් බබෙක් වගේ නිදා ගන්නත් ඕන වුණා, ඒ නිසා මමත් බබෙක් වගේ කන්න තීරණය කළා," ඔහු කිව්වා. "මට සුවයක් දැනුණා, මට හොඳ පෙනුමක් ලැබුණා."

'ඔන්ලයින් හරහා මිල දී ගැනීම අවදානම්'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කෙසේ වෙතත්, වැඩිහිටි ශරීරයකට මව්කිරි පානය කිරීමෙන් කිසිදු ප්‍රතිලාභයක් හිමි වන බවට විද්‍යාත්මක සාක්ෂි නොමැති බව විද්‍යාඥයෝ පවසති.

නමුත් පෞද්ගලික කතා මත පදනම්ව, එය තවමත් ප්‍රයෝජනවත් විය හැකි බව විශේෂඥයෝ පවසති.

"එහි ප්‍රෝටීන් විශාල වශයෙන් තියෙනවා - එය ළදරුවාගේ මාංශ පේශි ඉතා වේගයෙන් වර්ධනය කරනවා, ඇත්ත වශයෙන් ම කායවර්ධකයින්ට අවශ්‍ය ඒක යි," ඇමෙරිකා එක්සත් ජනපදයේ සැන් ඩියාගෝහි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මානව කිරි ඒකකයේ ආරම්භක අධ්‍යක්ෂ වෛද්‍ය ලාර්ස් බෝඩ් පැවසීය.

"කායවර්ධකයින් ඔවුන්ගේ ශරීර සමග අනුකූල වනවා, ඒ නිසා එහි යමක් තිබිය හැකි යි. ඒක පිටුපස ඇත්තේ කුමක් ද කියන්න විද්‍යාත්මකව අප දන්නේ නැහැ."

මානව කිරි බොහෝවිට ෆේස්බුක්, Craigslist සහ Reddit වැනි සමාජ මාධ්‍ය හරහා විශ්වාස කළ නොහැකි මූලාශ්‍රවලින් මව් කිරි මිල දී ගන්නා බැවින්, ඒ ගැන ප්‍රවේශම් වන ලෙස වෛද්‍ය බෝඩ් අනතුරු අඟවයි.

"ඒ කිරි පරීක්ෂා කරලා නැහැ, සැලකිය යුතු මට්ටමේ සෞඛ්‍ය අවදානමක් තිබෙනවා, එය HIV හෝ හෙපටයිටිස් වැනි රෝග සඳහා වාහකයක් වෙන්න පුළුවන්," වෛද්‍ය බෝඩේ අනතුරු ඇඟවීය.

මව්කිරිවල ගුණාත්මකභාවය එය සෑදෙන පුද්ගලයාගේ ආහාර වේල සහ සෞඛ්‍යය මත රඳා පවතින අතර එමගින් ආසාදන සිදුවිය හැකි ය.

කාන්තාවන් බොහෝ විට කිරි රැස් කරන්නේ විෂබීජහරණය නොකළ පරිසරයක බැවින් එම කිරි පහසුවෙන් දූෂිත විය හැකි ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නේෂන්වයිඩ් ළමා රෝහල විසින් 2015 දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ, ඉන්ටර්නෙට් හරහා මිල දී ගත් මව්කිරි සාම්පල 101කින් 75%ක් ම හානිකර රෝගකාරක අඩංගු බවත් සාම්පලවලින් 10%ක් එළකිරි හෝ ළදරු කිරි අමුද්‍රව්‍යන් සමග මිශ්‍ර කර තිබූ බවත් ය.

A picture of breast milk sent to Jameson Ritenour which was ordered online. The milk is in plastic sachets and in a red cooler bag

ඡායාරූප මූලාශ්‍රය, Jameson Ritenour

ඡායාරූප ශීර්ෂ වැකිය, ජේම්සන් රිටෙනූර් මව්කිරි සැපයුම් ඉන්ටර්නෙට් ඔස්සේ මිල දීගෙන තිබිණි. සැපයුම් සොයා ගැනීමට ඉන්ටර්නෙට් භාවිත කිරීම සම්බන්ධයෙන් විශේෂඥයෝ අනතුරු අඟවති.

ජේම්සන් තම සහකාරියගෙන් වෙන් වූ පසු, ශීතකරණයේ ගබඩා කර තිබූ මව්කිරි ඔහුට තවදුරටත් ලබා ගැනීමට නොහැකිවීම නිසා, ඔහු එය ඉන්ටර්නෙට් හරහා මිල දී ගැනීමට තීරණය කළේ ය.

එසේ මිල දී ගන්නා කිරි දූෂිත විය හැකි බවට තමන් දැන නොසිටි බව ඔහු පවසයි.

"මම ඒක ඉන්ටර්නෙට් එකෙන් හම්බ වුණ කෙනෙක්ගෙන් ගත්තා, ඒත් මම ෆේස්බුක් එක හරහා ඒ කෙනා ගැන සොයා බැලීමක් කළා. ඇය සාමාන්‍ය කෙනෙක් වගේ පෙනුණා. ඉතින්, මම මගේ අවස්ථා ගන්න තීරණය කළා," ජේම්සන් පැවසීය.

විද්‍යාත්මක දත්ත නොමැතිකම ඔහුට අදාළ නොවේ, මන්ද ඔහු පවසන්නේ, ඔහුගේ ම අත්දැකීම අතිශයින් ම ධනාත්මක බව ය.

එතරම් ධනාත්මක නොවූ දෙය නම්, තමන් මුහුණ දෙන අපකීර්තිය බව ඔහු පැවසුවේ ය.

"මිනිස්සු මාව විනිශ්චය කර යි. මොක ද මිනිස්සු හිතන්නේ කිරි තියෙන්නේ බබාලට කියලා. ඒත් මිනිස්සු හිතන තරම් ඒක අමුතු දෙයක් නෙවෙයි."

A picture of a woman breastfeeding a baby in China චීනයේ ළදරුවෙකුට මව්කිරි දෙන කාන්තාවකගේ පින්තූරයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මව්කිරි ළදරුවන්ට පෝෂ්‍ය පදාර්ථ හා ප්‍රතිදේහ සපයයි.

අවදානමට ලක්විය හැකි ළදරුවන් ගැන කිව හැක්කේ කුමක් ද?

"මම කවදාවත් වැඩිහිටියන්ට මව්කිරි බොන්න කියන්නේ නැහැ," මිනිස් මව්කිරි ළදරු සෞඛ්‍යයට සහය වන ආකාරය පිළිබඳව පර්යේෂණ කරන වෛද්‍ය මේගන් අසාද් පැවසීය.

"මම හිතන්නේ නැහැ ඒකෙන් එයාලට හානියක් වෙයි කියලා, නමුත් නොමේරූ ළදරුවන් වගේ ඇත්තට ම මව්කිරි අවශ්‍ය ළදරුවන්ට සහ එය ලබා ගැනීමට අරගල කරන ළදරුවන්ට ඉන් හානියක් වෙන්න පුළුවන්."

අතිරික්ත මව්කිරි මුදලට විකිණීමට වඩා අවශ්‍යතා ඇති ළදරුවන්ට පරිත්‍යාග කළ යුතු බව වෛද්‍ය බෝඩ් පවසයි.

"වඩාත් ම අවදානමට ලක්විය හැකි ළදරුවන් පෝෂණය කිරීමට තරම් ප්‍රමාණවත් මව් කිරි අපට නැහැ. නොමේරූ ළදරුවන්ගේ රෝග සුව කළ හැකි ගුණ මව්කිරිවලට තිබෙනවා. ඒක ජීවිත ආරක්ෂා කරන ඖෂධයක් වෙන්න පුළුවන්."

කායවර්ධකයින්ට ඉන්ටර්නෙට් හරහා මව්කිරි විකිණීමෙන් මුදල් උපයා ගත හැකි යැයි දුෂ්කරතාවලට මුහුණ දී සිටින මව්වරුන් සිතන්නේ නම්, වැඩිහිටි පරිභෝජනය සඳහා මව්කිරි මිල දී ගැනීමෙන් වර්ධනය වන සහ අවදානම් සහිත ප්‍රවණතාව තවදුරටත් උග්‍ර කළ හැකි බව වෛද්‍ය අසාඩ් පෙන්වා දෙයි.

නමුත් ජේම්සන් පවසන්නේ, ඔහුට වරදකාරී හැඟීමක් නොදැනෙන බව ය.

"ළදරුවන් බඩගින්නේ ඉන්නවා කියලා මිනිස්සු මට චෝදනා කළා. නමුත් මම රෝහල්වලින් එළියේ හිටගෙන අම්මලාගෙන් ඔක්කොම කිරි දෙන්න කියලා ඉල්ලුවේ නෑ!"

ඇත්ත වශයෙන් ම, ඔහු පවසන්නේ තම අමතර මව්කිරි විකිණීමට උත්සහ කරමින් කාන්තාවන් 100කට අධික සංඛ්‍යාවක් ඔහු හා සම්බන්ධ වී සිටින බව ය.

සෞඛ්‍ය ප්‍රතිලාභ සොයා බැලීම

මව්කිරි යනු නිසි ගවේෂණයක් නොකළ පර්යේෂණ ක්ෂේත්‍රයකි.

"දිග කාලයක් තිස්සේ පර්යේෂණවලට අරමුදල් සපයන පුද්ගලයින් මව්කිරි ගැන තැකීමක් කළේ නැහැ. ඔවුන් ඒක දැක්කෙ නොවැදගත් කාන්තා ගැටලුවක් විදිහට," ආචාර්ය අසාද් පැවසීය. "එය පීතෘමූලික දෘෂ්ටියක්." කෙසේ වෙතත්, දැන් එය වෙනස්වී තිබේ.

වැඩිහිටියන් මව්කිරි පානය කිරීම අවදානමක්ව තිබියදීත්, එහි සමහර සංරචක ආතරයිටිස්, හෘද රෝග, පිළිකා සහ IBS වැනි රෝගී තත්ත්වයන් සඳහා ඖෂධීය ගුණයක් තිබේ ද යන්න පිළිබඳව පර්යේෂණ කරමින් පවතී.

A gloved hand takes bottles of breast milk stored at the facilities of the Human Milk Bank of Uruguay, at the Pereira Rossell hospital in Montevideo, Uruguay out of the freezer

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, උරුගුවේහි මොන්ටෙවීඩියෝ නගරයේ රෝහලක ගබඩා කර ඇති මව්කිරි බෝතල්.

මව්කිරිවල අඩංගු ප්‍රීබයොටික් තන්තු වන ඔලිගෝසැකරයිඩ්වල (HMOs) ඇති සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳව වෛද්‍ය අසාද් විශේෂ අවධානයක් යොමු කරයි.

මෙම තන්තු මිනිසුන් විසින් ජීර්ණය නොකරන නමුත්, බඩවැල්වල සෞඛ්‍යයට හිතකර බැක්ටීරියා වර්ධනයට උපකාරී වන අතර ළදරුවන් තුළ නිරෝගී ක්ෂුද්‍ර ජීවීන්ගේ වැඩීමට සහය වේ.

"බඩවැල් ආශ්‍රිතව ඇති වන දැවිල්ල වැනි රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වැඩිහිටියන්ට ප්‍රීබයොටික් තන්තු භාවිත කළ හැකි ද යන්න පර්යේෂකයින් කරුණු සොයා බලමින් සිටිනවා," වෛද්‍ය අසාද් පැවසීය.

"ක්ෂුද්‍ර ජීවීන් අපගේ සෞඛ්‍යයේ බොහෝ අංශ සඳහා වැදගත් බව අපි දන්නවා. ඒ නිසා එය වැඩිදියුණු කිරීමට ක්‍රම සොයා ගැනීමෙන් බොහෝ ප්‍රතිලාභ ලබන්න පුළුවන්. මව්කිරිවලින් ලැබෙන ප්‍රීබියොටික් තන්තු විශාල බලාපොරොත්තුවක් ඇති කරනවා."

2021 මීයන් සම්බන්ධයෙන් කළ අධ්‍යයනයකදී, වෛද්‍ය බෝඩ් සොයා ගත්තේ, හෘදයාබාධ හා ආඝාතයට හේතු විය හැකි ධමනි සිහීන් වීම අඩු කිරීමට ප්‍රීබයොටික් තන්තු උපකාරී වූ බව ය.

"මව්කිරි ඇත්තට ම අද්විතීය යි, එය මිනිසුන් විසින් මිනිසුන් වෙනුවෙන් ම සාදන ලද එක ම දේ ඒක යි," ආචාර්ය බෝඩ් පැවසීය.

කෘත්‍රිම සංයෝගවලින් සාදන ලද බොහෝ ඖෂධ මෙන් නොව, මිනිස් කිරිවල සංයෝග ආරක්ෂිත සහ වඩාත් ඵලදායී විය හැකි බව වෛද්‍ය බෝඩ් පවසයි.

මව්කිරි සම්බන්ධයෙන් ඔවුන් සැලකිය යුතු විශ්වාසයක් පෙන්නුම් කළ ද, තවමත් සායනික දත්ත ඇත්තේ අවම වශයෙනි.

අඛණ්ඩ සායනික අධ්‍යයනයන් සාර්ථක බව ඔප්පු වුවහොත් මෙම සංයෝග සෑම වසරක ම මරණ මිලියන ගණනකට හේතු වන හෘදයාබාධ සහ ආඝාත වැළැක්වීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ හැකි බව වෛද්‍ය බෝඩ් විශ්වාස කරයි.

"හෘදයාබාධ හා ආඝාතයෙන් මිය යන සංඛ්‍යාව මිලියන ගණනකින් අඩු කිරීමට හැකි වීම ගැන සිතා බලන්න. එය පුදුමාකාර දියුණුවක් වේවි," වෛද්‍ය බෝඩේ පැවසීය.