'මම මගේ පුතා ළඟදී අනාරක්ෂිතයි, ඒත් ඒක එයාගේ වරදක් නොවෙයි'

Claire Miller holding her arm up to show a large bruise on her tricep area. Her face is in shot, and she has dark hair/ Behind her are white coloured walls.

ඡායාරූප මූලාශ්‍රය, Claire Miller

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්ලෙයාර් මිලර් සහ අනෙකුත් මව්වරු තම නිවෙස්වල බොහෝ විට සිදුවන ඛේදජනක අවස්ථා රූගත කර තිබේ.
    • Author, ටාරා මිල්ස්
    • Role, බීබීසී පුවත් උතුරු අයර්ලන්තය
  • කියවීමේ කාලය: මිනිත්තු 5

දැඩි ඉගෙනුම් ආබාධයක් සහිත ඔටිසම් රෝගයෙන් පෙළෙන පිරිමි ළමයෙකුගේ මවක්, ප්‍රමාණවත් සහයෝගයක් නොලැබීම නිසා ඔහුගේ රැකවරණය සමාජ සේවාවලට භාර දීමට සිදුවනු ඇතැයි බිය වී තිබේ.

ක්ලෙයාර් මිලර්ගේ පුතා වන ඩැනීගේ තත්ත්වය බොහෝ විට නොදැනුවත්වම අභියෝගාත්මක හැසිරීම් වලට තුඩු දෙන අතර එමඟින් ඔහුට සහ අන් අයට හානි විය හැකි ය."මට තව දුරටත් මගේ පුතා එක්ක තනියම ඉන්නකොට ආරක්‍ෂිත හැඟීමක් දැනෙන්නේ නැති වුණත් ඒක එයාගේ වරද නොවෙයි," ඇය පැවසුවා ය.

මිලර් තවත් මව්වරුන් තිදෙනෙකු සමග බීබීසී ස්පොට්ලයිට් හි 'I Am Not Okay' චිත්‍රපටයට පෙනී සිටියා ය.

චිත්‍රපටය විකාශය වූ පසු, උතුරු අයර්ලන්තයේ සෞඛ්‍ය අමාත්‍ය මයික් නෙස්බිට් පවුම් මිලියන ගණනක අරමුදල් පැකේජයක් පිළිබඳව නිවේදනයක් නිකුත් කළ නමුත් එම මුදල් තවමත් තමන්ට ලැබී නැතැයි කාන්තාවෝ පවසති.

'ගිලන් රථයක පසුපස සිට'

ඔවුන්ගේ නිවසේ නිතර සිදුවන ඛේදනීය සිදුවීම් රූගත කර විකාශය කිරීමට අවසර ලබා දුන් කාන්තාව අඟහරුවාදා උතුරු අයර්ලන්ත සභා සෞඛ්‍ය කමිටුවට සාක්ෂි ඉදිරිපත් කළා ය.

සෞඛ්‍ය භාරයේ ප්‍රධානීන් බ්‍රහස්පතින්දා ස්ටෝර්මන්ට් [උතුරු අයර්ලන්ත පාර්ලිමේන්තුව] මුදල් වියදම් කර ඇත්තේ මොනවාටදැයි යන්න පිළිබඳ ප්‍රශ්නවලට පිළිතුරු සපයනු ඇත.

තම දරුවන් සඳහා භාර විසින් ලබා දෙනු ලබන පහසුකම් සහිත ස්ථානයක රාත්‍රිය ගත කිරීමට සැලැස්වීමෙන් මෙම අරමුදල මගින් කෙටි විවේකයක් නැවත ලබා දෙනු ඇතැයි පවුල් බලාපොරොත්තු වූහ.

එම විවේකයන් කොවිඩ් වසංගතය අතරතුර නතර විය.

Claire Miller has fair coloured hair. On her face are several marks on both cheeks.

ඡායාරූප මූලාශ්‍රය, Claire Miller

ඡායාරූප ශීර්ෂ වැකිය, ක්ලෙයාර් මිලර්ගේ පුත් ඩැනීට ඔටිසම් රෝගයක් සහ සමහරවිට නොදැනුවත්වම වේගවත් ප්‍රචණ්ඩකාරී හැසිරීම්වලට තුඩු දෙන දැඩි ඉගෙනීමේ දුර්වලතාවයක් තිබේ

චිත්‍රපටය විකාශය වූ දා සිට ඇගේ ජීවිතය තවත් නරක අතට හැරී ඇති බව මිලර් පවසයි.

පෙබරවාරි මාසයේදී ඇගේ පුතාගේ පහරදීමකට ලක් වූ බව ඇය සිහි කරයි.

"සති තුනකට කලින් ඩැනීව ලෑස්ති කරන ගමන් මම ඔරලෝසුව දිහා බැලුවා, වෙලාව අටයි කාලට තිබුණේ."

"ඊට පස්සේ මට මතක දේ එතකොට 12ත් පහුවෙලා සහ මම හිටියේ ඇම්බියුලන්ස් එකක පිටිපස්සේ කියලා."

Claire Miller's forearm showing multiple bruises. She is wearing blue jeans and the sleeve of her cardigan is in shot.

ඡායාරූප මූලාශ්‍රය, Claire Miller

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇය පෙනී සිටින බීබීසී චිත්‍රපටයක් විකාශය වූ දා සිට ඇගේ ජීවිතය බොහෝ නරක අතට හැරී ඇති බව ක්ලෙයාර් මිලර් පවසයි

අතරමැද පැය කිහිපයේ කුමක් සිදුවූවාදැයි මිලර්ට මතක නැත. දරුණු කම්පනය හේතුවෙන් ඇයව දින දෙකක් රෝහල් ගත කර තිබිණි.

හිස්තැන් පුරවා ගැනීමට ඇයට හැකි වූයේ, මිලර්ගේ දියණිය රැකබලා ගැනීම සඳහා ඒ මොහොතේ නිවාස තුළ රැඳී සිටි ඇගේ මවට ස්තුතිවන්ත වීමට ය.

"එයා මගේ කොණ්ඩෙන් සෑහෙන්න ප්‍රමාණයක් ඇදලා අරගෙන මගේ ඔලුවට හොඳට ම ගැහුවා."

ඇයට තවමත් මතකය අඩු බවක් ඇති අතර, ඇය කතා කිරීමේදී හඳුනාගත හැකි මන්දගාමී බවක් තිබුණි.

ඒ දවසේ මම චිත්‍රපටයේ හිටපු තවත් අම්මා කෙනෙකුත් එක්ක ත්‍රස්ට් එකේ රැස්වීමක් පවත්වන්න හිටියත් විදිහට මට ඒකට යන්න බැරි වුණා.

"මේ නිසා මම සම්පුර්ණයෙන් ම කඩා වැටිලා."

Hair covering a white tiled floor. There is a white radiator to the right, and a wooden cabinet to the left.

ඡායාරූප මූලාශ්‍රය, Claire Miller

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇගේ හිසකෙස්වලින් කොටසක් උදුරාදමා තිබු බව මිලර් පවසයි

චිත්‍රපටයට සම්බන්ධ වූ අනෙක් මව්වරුන්ගෙන් එක් අයෙකු වන කාලි බ්‍රේඩන් හට ද ඇගේ පුතා රූඩිගේ හැසිරීම පිරිහී ඇති බව පෙනී ගොස් තිබේ.

"දවසක් දෙකක් එහෙට මෙහෙට විතරි එයාට ඉස්කෝලේ යන්න පුළුවන්. එයාව එයාටත් අනිත් අයටත් අනතුරක් විදිහට සලකනවා."

"එයාට රුටීන් එකක් නැති නිසා සහ ගෙදරදී එයාගේ මානසික හා ශාරීරික සෞඛ්‍යය නරක අතට හැරෙන නිසාත් ඒක නරක බලපෑමක් ඇති කරනවා."

මෙය ඔවුන් ජීවත් වන ප්‍රදේශවල බරපතල සිදුවීම් වලට තුඩු දී ඇති අතර, එක් අවස්ථාවකදී පොලිසිය කැඳවීමට සිදු විය.

"අවසානයේදී මගේ ගෙදර එළියෙ පොලීසියේ අයත් එක්ක නිලධාරීන් 14ක් හිටියා".

"එයාට [රූඩිට] යන්න තැනක් නැති නිසා ඔවුන් යෝජනා කළා හයිඩ්බෑන්ක් එක(තරුණ වැරදිකරුවන් සඳහා ඇති බන්ධනාගාරයක්)."

"මම හිතුවා මේක නම් පිස්සු කතාවක් කියලා, මම ගිහින් බෑග් එකක් අරගෙන එයාගේ ඩයපර් ටික පැක් කරාට පස්සේ තමයි මම හිතන්නේ එයාලා තේරුම් ගත්තේ කතා කරන්න බැරි ඔටිසම් තියෙන කෙනෙක්ට ඒක හරියන්නේ නෑ කියලා."

'නිශ්චිත සැලැස්මක් නෑ'

බීබීසීය විසින් චිත්‍රපටය ආරම්භ කරන විට ලෝරා ෆ්ලැනිගන්ගේ පුත්‍රයා ඕවෙන්ගේ වයස අවුරුදු එකක් වූ අතර, ඇය පැවසුවේ ඔවුන්ට "ඉදිරියට යන්න කියලා තියෙන හැම පැත්තක් ගැන ම හොයලා බැලුවා, එත් ඒවා එකක්වත් වැඩ කර නැති," බව ය.

"ස්ථිර විසඳුමක් නැතිව අපි මෙතනට වෙලා බලාගෙන ඉන්නවා."

"මම දන්නවා ඉක්මනට දේවල් වෙන්නේ නෑ කියලා, නමුත් එකත් එක්ක ඔයා දවස් ගාණක් ජිවත් වෙනකොට ඔයාට විශ්වාසයක් නෑ ඒක කවදා වෙයි ද කියලා, ඒක දරාගන්න අමාරුයි."

අදහසක් ලබා දීම සඳහා අප කළ ඉල්ලීමට මෙතෙක් බෙල්ෆාස්ට් සෞඛ්‍ය භාරය ප්‍රතිචාර දක්වා නැත.

සෞඛ්‍ය කමිටුව ඉදිරියේ සාක්ෂි දෙමින් ජාතික ඔටිසම් සංගමය විසින් මව්වරුන් සිව්දෙනාට සහාය දක්වන ලද අතර, එහි උතුරු අයර්ලන්ත අධ්‍යක්ෂ ෂිරෙල් ස්ටුවර්ට් පැවසුවේ කමිටුව "පවුල්වලට මුහුණ දෙන්න වුණ දේවල් ගැන ඉතා ම කණගාටු වෙනවා වගේ ම මේ චිත්‍රපටය විකාශය වුණාට පසුවවත් වෙනස්කම් සිදුවී නැති එක ගැන කලකිරීමට පත් වී," සිටින බව ය.