මව්කිරි දීම සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු මිත්‍යාවන් 7ක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්සත් ජාතීන්ගේ සංවිධානය, එහි මව්කිරි දීමේ අනුපාතය ඉහළ නැංවීමේ වාර්ෂික ව්‍යාපාරයේ කොටසක් ලෙස, රැකියා ස්ථානයේ දී මව්කිරි දීම සඳහා කාන්තාවන්ට වැඩි සහයෝගයක් ලබාදෙන්නැ යි ඉල්ලා සිටියි.
මව්කිරි පමණක් ලබාගන්නා ළදරුවන්ට සාපේක්ෂව, මව්කිරි නොලබන දරුවන් ඔවුන්ගේ පළමු උපන්දිනයට පෙර මියයෑමේ සම්භාවිතාව 14 ගුණයකින් ඉහළබව සංවිධානය පවසයි.
මව්වරුන්ට වැටුප් සහිත මාතෘ නිවාඩු ද, මව්කිරි දීම සඳහා අතරමැඳි විවේකයන් ද, රැකියා ස්ථානයේ දී මව්කිරි දීමට හෝ දෙවීමට හැකි කාමරයක් ද ලබාදෙන්නැ යි එක්සත් ජාතීන් ඉල්ලා සිටියි.
මව්කිරි නොදී සිටීම සඳහා කාන්තාවන් පෙළඹවිය හැකි, මව්කිරි දීම පිළිබඳ බොහෝ මිත්‍යාවන් තවමත් සමාජයේ පවතියි. මින් වඩාත් සුලබ මිත්‍යාවන් කීපයක් බිඳ දමන්නැ යි අපි විශේෂඥයින් දෙදෙනෙකුගෙන් ඉල්ලා සිටියෙමු.
කැත්‍රියොනා වෙයිට්, ලිවර්පූල් විශ්වවිද්‍යාලයයේ සායනික ඖෂධ විද්‍යාව සහ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරියක වන අතර උගන්ඩාවේ කම්පාලා නුවර සෞඛ්‍ය විද්‍යාවන් පිළිබඳ මැකෙයෙරේ විශ්වවිද්‍යාලයයේ පර්යේෂකවරියකි. ඇලස්ටේයා සට්ක්ලිෆ්, ලන්ඩනයේ යුනිවර්සිටි කොලීජියේ සාමාන්‍ය ළමා රෝග පිළිබඳ මහාචාර්යවරයෙකි.
ඔවුහු, සමාජයේ වඩාත් සුලබ මිත්‍යාවන් හතක් අපට පැහැදිලිකර දුන්හ.
1. මව්කිරි දීම වේදනාත්මකවීමත්, තනපුඩු කැක්කුම් දීමත් සාමාන්‍ය ය
මහාචාර්ය වෙයිට්: මේකට උත්තර දෙන එක තරමක් අපහසු යි, මොකද මුල දී යම් අපහසුතාවක් දැනීම සාමාන්‍ය යි වගේම, [මව්කිරි දීමට] හුරුවෙන්න කලින් තනපුඩු කැක්කුම් දෙන එකත් සාමාන්‍ය යි. කොහොම නමුත්, මව්කිරි දීම වේදනාත්මකවීම හෝ දැඩි වේදනාවක් ඇති කිරීම සිදුවිය යුතු නැහැ. [එසේ දැනෙයි නම්] ඒකෙන් අදහස් වෙන්නේ, එක්කෝ තනපුඩු ආසාදනය වෙලා කියන එක හෝ, දරුවා නිවැරදි ලෙස තනපුඩුව කටට ගන්නෙ නෑ කියන එක යි.
[මව්කිරි දීමේ දී] යම් තරමක අපහසුතාවක් දැනීම සාමාන්‍ය යි වගේම, විශේෂයෙන්ම මුල්ම වරට මව්වරුන් වූ කාන්තාවන්ට මව්කිරි දෙන්න ටිකක් හුරුවෙන්න සිද්ධවෙනවා. නමුත් ඒකෙන් සැළකිය යුතු තරමේ වේදනාවක් හෝ පීඩාවක් ඇතිවෙනවා නම්, ඒ ගැන ඔබේ වෛද්‍යවරයා, හෙදිය හෝ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දැනුම්දිය යුතු යි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2. මව්කිරි දීම වහාම ආරම්භ නොකළහොත් පසුව මව්කිරි දීමට නොහැකිවනු ඇත
මහාචාර්ය සට්ක්ලිෆ්: මව්කිරි දෙන්න මව්වරුන් දිරිමත් කරන ඕනෑම දෙයක් විවිධ මට්ටම්වලින් මිනිස් සෞඛ්‍යයට යහපත් වෙනවා. අනම්‍ය කාල සීමාවන් දාලා මිනිස් හැසිරීම කිසියම්ම හෝ විදියකින් කෘත්‍රිමව පාලනය කරන්න හදන එක අවිද්‍යාත්මක යි.
නමුත් [ඉපදුණු] වහාම දරුවාට මව්කිරි දීම ඇරඹීමේ ගොඩක් ප්‍රතිලාභ තියෙනවා.
පැහැදිලිම ප්‍රතිලාභය තමයි පෝෂණය. ඒ හරහා ගර්භාෂය සංකෝචනය වීමේ ක්‍රියාවලිය ද ආරම්භ වෙනවා. එමඟින්, පශ්චාත් ප්‍රසව ගර්භාෂ රුධිර වහනය වළක්වන්න හෝ මන්දගාමී කරන්න උපකාර ලැබෙනවා. ඒ වගේම, දරු උපතකින් පස්සේ පළමු දින කීපයේ දී, මිනිස් සිරුර යම් යම් විශේෂ ප්‍රෝටීනයන්ගෙන් බහුල 'කොලොස්ට්‍රම්' කියන ද්‍රව්‍යය නිපදවනවා. ඒක, මව්කිරි දීම ආරම්භයේ දී පැමිණෙන ඉතා පෝෂණීය ද්‍රව්‍යයක්.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
3. ඔබ මව්කිරි දෙන්නේ නම් ඔබට කිසිදු ඖෂධයක් ලබාගත නොහැකි ය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මහාචාර්ය වෙයිට්: සාමාන්‍යයෙන් ලෝකෙ ඕනෙම තැනක මවක් පළමුවෙන්ම අහන ප්‍රශ්නෙ තමයි මේ. 'මගෙ බබාට ඕනෙම බෙහෙතක් ආරක්‍ෂිත ද' කියන එක. ඇත්ත කාරණේ, ගොඩක් ඖෂධ ඉතාම අවම මට්ටම්වලින් තමයි බබාට ලැබෙන්නෙ. වෛද්‍යවරයෙක් කියනවා නම් ඔබ යම් ඖෂධයක් ලබාගන්න අවශ්‍ය යි කියලා, ඔවුන්ගෙන් ඔබේ ප්‍රශ්නෙ අහන්න. නමුත් ඒ ඖෂධය භාවිතාවට ආරක්‍ෂිත වෙන්නයි බොහෝවිට ඉඩ තියෙන්නේ. බබෙකුට වැඩියෙන්ම උවමනා කරන්නේ නිරෝගී අම්මෙක්. ආසාදන, විෂාදය සහ සාමාන්‍ය වේදනාවන්ට ලබාදෙන සුලබ ඖෂධ බොහෝවිට ආරක්‍ෂිත යි.
මව්කිරි දෙනකොට භාවිතා කරන්න සුදුසු නැති ඖෂධ ගත්තොත්, ඒ සංඛ්‍යාව ඉතාම කුඩා යි. බොහෝවිට ඒවා ලබාදෙන්නේ පිළිකාවක් වගේ ඉතාම විශේෂ, බරපතල රෝග තත්ත්වයන්ට. අවදානම් සහ ප්‍රතිලාභ අතර බර ප්‍රවේසමෙන් සළකා බලන්න ඕන ඖෂධ සමහරකුත් තියෙනවා. මව්කිරි දෙන ගමන් ඖෂධයක් නිර්දේශ කෙරුණු ඕනෑම කාන්තාවකට, ඒ ඖෂධය නිර්දේශ කරන්නාගෙන් ප්‍රශ්න අහන්න බලයක් තියෙන්න ඕන.
ඔබ ප්‍රවේසම් විය යුතු ඖෂධ තමයි, සාමාන්‍යයෙන් බෙහෙත් වට්ටෝරුවක් නැතිවම ෆාමසිවල ගන්න පුළුවන්, හෙම්බිරිස්සාවට, නහයේ බර ගතිය අඩු කරන්න දෙන 'ඩීකන්ජෙස්ටන්ට්' (එනම්, නාසයේ සිරවීම වළකන ඖෂධ) වර්ගෙ බෙහෙත් ජාති - ඒවායින් කිරි එරෙන එක අඩුවෙන්න පුළුවන්. ඒවගේම, හැමවිටම ශාකසාර ඖෂධ ගැන ප්‍රවේසම් විය යුතුම යි, මොකද අපි දන්නෙ නෑ ඒවයෙ මොනවා තියෙනවා ද කියලා. ඒවයින් වැඩි හරියක් නියමාකාරයෙන් අධ්‍යයනය කරපුවා නෙවෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
4. මව්කිරි දීමට පෙර ඔබ සැර අඩු ආහාර පමණක් ගත යුතු අතර, කුළුබඩු වැඩිපුර යොදා සැකසූ ආහාර අනුභව නොකළ යුතු ය
මහාචාර්ය වෙයිට්: මව්කිරි දෙන අතරෙ කෑමට නොසුදුසු ආහාර කියලා දෙයක් නැහැ. ඒ කෙසේ නමුත්, ඔබේ මව්කිරිවල නියමම සංයුතියට ඔබේ ආහාර වේලෙන් බලපෑමක් එල්ලවෙනවා. සමහර වෙලාවට, කාන්තාවට ඒකෙ යම් රටාවක් නිරීක්ෂණය වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට - මම මේක නිරීක්ෂණය කළේ මගෙ එක දරුවෙක්ගෙන් - මම කොයියම්ම වෙලාවක දොඩම් යුෂ වගෙ පැඟිරි බීමක් බිව්වොත්, [මව්කිරි බිව්වට පස්සෙ] මගෙ බබාට ඉක්මණින් කේන්ති යනවා.
සමහර වෙලාවට, ඔබේ ආහාර වේලේ බලපෑමෙන් ඇතිවුණා වෙන්න පුළුවන් දේකට ඔබේ දරුවා ප්‍රතිචාර දක්වන එකේ රටාවක් ඔබට හඳුනාගන්න පුළුවන්. නමුත් ඒක හානිකර විය යුතු හෝ වෛද්‍ය විද්‍යාත්මකව වැරදි, ඔබ විසින් මඟහැරිය යුතු දෙයක් නෙවෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
5. ඔබට මව්කිරි දීමට අවශ්‍ය නම්, ඔබට කිසිදා ළදරු කිරිපිටි ලබාදිය නොහැකි ය
මහාචාර්ය වෙයිට්: එහෙම පරම සත්‍යයක් හෝ නීතියක් නැහැ. නමුත්, ඔබට මව්කිරි එරෙන එක බොහෝදුරට නියාමනය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත. කාන්තාවකගේ සිරුර ඇගේ දරුවාට අවශ්‍ය තරම් කිරි නිපදවන්න පුළුවන් විදියට පුදුමාකාර විදියට යි හැදිලා තියෙන්නේ. දරුවා තනපුඩුව උරද්දී, ඒ ක්‍රියාවෙන් හෝමෝන උත්තේජනය වෙලා නිවැරදි ප්‍රමාණයට කිරි නිපදවෙනවා. ඒ නිසා, ඔයා කිරි දෙන්නේ චුට්ටි බබෙකුට වේවා, ලොකු බබෙකුට වේවා, නිවුන්නුන්ට වේවා, ඔබේ ශරීරය අවශ්‍ය තරම් කිරි නිපදවනවා.
ඔබ දරුවට ළදරු කිරිපිටි (ෆෝමියුලා) දෙන්න පටන්ගත්තොත්, මේ ඉල්ලුම්-සැපයුම් චක්‍රයට බාධා වෙනවා. එතකොට දරුවාට තවත් කිරි ඕනෙ කියලා ඔබේ ශරීරයට ඇති තරම් සංඥා ලැබෙන්නෙ නැහැ. ඔබට කිරි එරෙනවා අඩු නිසා ඔබ දරුවාට ෆෝමියුලා දෙන්න පටන් ගත්තොත්, ඒකෙන් ඔබට කෙටිකාලීන සහනයක් ලැබුණත්, ඔබේ ප්‍රශ්න තවත් උග්‍ර අතට හැරෙන්න පටන්ගන්න පුළුවන්.
නමුත් අනෙක් අතින් ගත්තොත්, ඔබ ඉතාම නරක රාත්‍රියක් ගතකරනවා නම්, ඔබ රෝගී නම් හෝ දැඩි වෙහෙසින් පෙළෙනවා නම්, ඔබට විවේක ගන්න පුළුවන් විදියට ඉඳහිට ඔබේ සහකරුවා ඔබේ දරුවාට ෆෝමියුලා ටිකක් පෙව්වා කියන එකෙන්, ඔබට ආපහු මව්කිරි දෙන්න බෑ කියලා අදහස් වෙන්නේ නැහැ. ඉතින් ඇත්තෙන්ම ඒක පරම නීතියක් නෙවේ, නමුත් ඒකෙන් වාසියක් නොලැබෙන්න පුළුවන්.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
6. ඔබ රෝගී නම් මව්කිරි දීමෙන් වැළකිය යුතු ය
මහාචාර්ය සට්ක්ලිෆ්: නෑ, ඒක මිත්‍යාවක්. කාන්තාවක් මව්කිරි දීමෙන් වැළකිය යුතු එකම අවස්ථාව තමයි, ඈට HIV හෝ හෙපටයිටිස් තිබීම. ඒ වෛරස මව්කිරි හරහා සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. අපි අතීතයේ දී මේ ශෝකජනක සංසිද්ධිය අත්දැකලා තියෙනවා.
බොහෝ අවස්ථාවන්වල දී, මව රෝගීවුණත් දිගින් දිගටම මව්කිරි දෙන එක ආරක්‍ෂිත යි, මොකද මවගේ සිරුරෙන් නිපදවන ප්‍රතිදේහවලින් ඔවුන්ගේ අලුත උපන් ළදරුවාත් ආරක්ෂා වෙනවා. දරුවෙකුගේ රෝගයක් මව්කිරි හරහා මවගෙන් ලැබුණු රෝගයක් වෙන්නේ ඉතාම, ඉතාම කලාතුරකින් අවස්ථාවක තමයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
7. ඔබ වසරකට වැඩි කලක් මව්කිරි ලබාදෙන්නේ නම්, ළදරුවාට කිරි වැරීම අපහසු වේ
මහාචාර්ය වෙයිට්: ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය තමයි, ඔබ මාස හයක් මව්කිරි පමණක් ලබාදෙන්න ඕන කියන එක. ඉන් පසුවත්, වෙනත් පෝෂණ මාධ්‍යයන් (ආහාර) හඳුන්වා දුන්නත් ඔබට අවශ්‍ය තරම් කාලයක් මව්කිරි දෙන්න කියලා ඒ සංවිධානය නිර්දේශ කරනවා. ඔබ නවත්වන්න ඕනේ කාලයක් නිර්දේශ කරලා නැහැ.
එක්සත් රාජධානිය වගෙ ඇතැම් ඉහළ-ආදායම් රටවල බොහෝ දරුවො වයස අවුරුද්දත් දෙකත් අතරෙ දී සම්පූර්ණයෙන්ම කිරෙන් අරවනවා. ඒ අතරෙ, උගන්ඩාව වගේ පහළ-ආදායම් රටවල දී දරුවාට වයස අවුරුදු දෙක, තුන වෙනකල්ම මව්කිරි දෙනවා. මෙතෙන දී ගෝලීයව තියෙන ගැටලුවක් තමයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව දරුවාට මව්කිරි පමණක් ලබාදෙන්න ප්‍රමාණවත් වෙන තරමෙ දිග මාතෘ නිවාඩුවක් බොහෝ රටවල්වලින් මව්වරුන්ට ලබාදෙන්නෙ නැතිකම.












