ගෞරවනීය මාතෘ සත්කාරය: දරු ප්‍රසූතියේදී වැදගත් වන්නේ ඇයි?

Pregnant women in Colombo, on June 9, 2021

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, අමන්දා අබේසූරිය
    • Role, බීබීසී සිංහල

ශ්‍රී ලංකාව මාතෘ සෞඛ්‍යය සම්බන්ධයෙන් ගත්කල ඉතා දියුණු මට්ටමක සිටිනබව ඔබ දැන සිටියා ද? ශ්‍රී ලංකාව, ලොව අඩු හෝ මාධ්‍ය ආදායම් ලබන රටවල් අතරින් ආදර්ශ මාතෘ සේවයක් ඇති රටකි.

එනමුත්, රෝහල්වල දී දරු ප්‍රසූතිය සිදුකළ ඇතැම් ශ්‍රී ලාංකික කතුන් ඔවුන් ලද අත්දැකීම් සිහිපත් කරන්නේ කිසිදු ප්‍රියතාවකින් නොවේ. රෝහල් කාර්යය මණ්ඩලයෙන් ඔවුන් ලද වාචික හා මානසික අඩත්තේට්ටම් මීට හේතුවී තිබේ.

පුද්ගලික රෝහල්වලට සාපේක්ෂව, රජයේ රෝහල්වල දී මෙම තත්ත්වය වඩාත් සුලබබව අසන්නට ලැබේ.

ඉතා රළු ලෙස යෝනි මාර්ගය පරීක්ෂා කිරීමෙහි හා ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ දී අවශ්‍ය අවධානය ලබා නොදීමෙහි සිට ඉතා නොමනා ලිංගික ඇඟවුම් සහිත නින්දා සිදුකිරීම දක්වා අත්දැකීම් සමුදායකට ඔවුන් මුහුණදී තිබේ.

'එයාලා ඕනවට වඩා එයාලගේ බලය අනික් අයගේ මානසික මට්ටම පල්ලෙහා දාන්න පාවිච්චි කරනවා'

කාර්යය මණ්ඩලයේ හැසිරීම හේතුවෙන් ප්‍රසූතියේ දී පීඩාවට පත්වීම සියලුදෙනාට අත්විඳීමට සිදුවන අවාසනාවක් නොවේ. මවුන්ගේ ප්‍රසූති අත්දැකීම් පිළිබඳව සමාජ මාධ්‍ය හරහා විමසූ අවස්ථාවක දී, තමා දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළත් වූ අවස්ථාවේ වෛද්‍යවරුන්, හෙදියන් හා පවුල් සෞඛ්‍ය සේවිකාවන් තමාට ඉතා කරුණාවන්තව, ඉවසීමෙන් සැලකූබව බොහෝ මවුන් පවසා තිබුණි. නමුත් අයහපත් අත්දැකීම් ලද සැලකිය යුතු පිරිසක් ද ඒ අතර සිටියහ.

"මං අවදානම් ගර්භනී අවස්ථාවක හිටපු කෙනෙක්. [රෝහලේ දී] අනික් අයට කෑ ගහනවා බනිනවා ඇහුන නිසා මං ගියපු වෙලාවේ ඉදන් කළේ එයාලගෙන් බැනුම් අහන්නවෙයි, සවුත්තු වෙන්නවෙයි කියන බයටම ඒ කියන විදිහට හිටපු එක. ඒක හරි අමාරු යි. දෙයක් අහලා දැනගන්නවත් නෑ. ගෙදර එනකල් පුදුම ස්ට්‍රෙස් එකකින් හිටියේ," සේනානී අතාවුද ඇගේ ප්‍රසූත අත්දැකීම අප හා බෙදාගත්තා ය.

"එයාලා ඕනවට වඩා එයාලගේ බලය අනික් අයගේ මානසික මට්ටම පල්ලෙහා දාන්න පාවිච්චි කරනවා. අපිට කතා කරන්න දෙයක් අහන්න හරි අමාරු යි, හේතුව ඖෂධ ගැන ප්‍රතිකාර ගැන අපි ළඟ දැනුම අඩුයිනේ. එයාලා එකේ වාසිය තියාගෙන අපිව මඩවන ගතිය තියෙනවා. වැරැද්දක් වුණත් ඒක ළඟට ඇවිත් හෙමින් කියන්න දන්නෑ, හැමෝටම ඇහෙන්න කෑ ගහලා කියනවා. ගොඩක් දුරට මේවා කරන්නේ හෙදියෝ, මිඩ්වයිෆ්ලා, ඇටෙන්ඩන්ට්ස්ලා," ඇය අප හා පවසයි.

ප්‍රසූතිය සඳහා රෝහලකට ඇතුළුවන ඇතැම් කාන්තාවෝ ඔවුන්ගේ ආත්ම ගෞරවයට හානිකර වන සැලකීම්වලට, නින්දාවන්ට හා අපයෝජනයන්ට මුහුණදෙති. එවැනි සැලකීම් නිසා, ගෞරවනීය සත්කාරයක් සඳහා හා වෙනස්කොට සැලකීමට ලක් නොවීමට කාන්තාවකට ඇති අයිතිය උල්ලංඝනය වන අතර, ප්‍රසූතිය මහත් පීඩාකාරී හා වෙහෙසකර අත්දැකීමක්බවට පත්කරයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"ගෞරවනීය මාතෘ සත්කාරය කියන්නේ ලංකාවේ රජයේ රෝහල්වලින් නොලැබෙනම දේ වෙන්න ඕනි," දිලුෂි පෙරේරා ඇගේ අත්දැකීම අප හා පවසන්නී ය. "ඒ මඳිවට ක්ලිනික් එකේ කිසිම දෙයක් පැහැදිලි කරලා දෙන්නෙ නෑ. ඩොක්ටර්ස්ලා ඔක්කොම හිතන් ඉන්නේ රජයේ රෝහල්වලට එන සේරම නූගත් ගෑණු අය කියලා. විස්තර කරලා දෙයක් ඇහුවත් ඇහුම්කන් දෙන්නෙත් නෑ, විස්තර කරන්නේත් නෑ. වාට්ටු ඊට හපන්. පෞද්ගලික ඇඳුනුම්කම් නිසා මට තරමක් හෝ හොඳට සැලකුවත් අනිත් අයට සලකපු විදිය ගැන නම් කියලා වැඩක් නෑ."

රෝහලේ කාර්යය මණ්ඩලයේ හැසිරීම නිසාවෙන් චතුරිකාගේ ද ප්‍රසූතිය වඩාත් දුෂ්කර වී තිබුණි. අටමසකට පසු ද ඇය එය සිහි කරන්නේ දැඩි අකමැත්තෙනි.

"පුටුවෙ වාඩි වෙලා ඉදලා කකුල් හොදටම ඉදිමිලා. මට උදව් කරන්න කිසිම කෙනෙක් හිටියෙ නෑ. ගෙදර අය ආපු වෙලාවට එයාල උදව් කරලා යනවා, එච්චරයි. මේ අතරෙ මගේ මානසිකත්වය බිංදුවටම වැටුනා. මට බබාව දාලා කොහේහරි යන්න හිතුණා. මට බබාව එපා උණා. බබාව දැක්කමත් මට ස්ට්‍රෙස් වගේ උණා. ඇත්තටම මගෙ මානසික තත්ත්වය හදාගන්න මං මගේ හිත ඇතුලෙන් පුදුම දුකක් වින්දෙ සහ අදටත් විඳිනවා. මගෙ බබාට මාස අටක් වෙලත් අදටත් අමතකවීම් වගේ ගොඩක් ප්‍රශ්න තියනවා. බබා ලැබුණු දවසෙ ඉඳන් මන් විඳපු දුක තවමත් මට ලොකු ෂොක් එකක්," ඇය අප හා පැවසුවා ය.

තවත් මවක් අප හා කියා සිටියේ, ප්‍රසූතිය කෙතරම් ආසන්නදැ යි මැනීම සඳහා වෛද්‍යවරයා යෝනි මාර්ගය හරහා පරීක්ෂා කිරීමට (PV) යෑමේ දී අවශ්‍ය තරමට මාංශ පේශීන් සැහැල්ලුකර ගැනීමට තමාට නොහැකිවූ හෙයින්, "කරන්න කකුල් දිග අරින්න පුළුවන්, මේකට තමයි බැරි නේ"යි හෙදිය තමාට දොස් තැබූබව ය. ඒ, පුද්ගලික රෝහලක දී ය.

Opinion on respectful maternity care

ඡායාරූප මූලාශ්‍රය, Smart Lady/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, මේ, එක් මවක් කොළඹ රජයේ රෝහලක දී ලද සත්කාරය යි

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන පරිදි, රෝහල්වල දී සිදුවනබවට වාර්තා වන ආත්ම ගෞරවයට හානිකර වන සැලකීම් හා අපයෝජනයන් මෙවැනි ආකාර වේ:

  • ශාරීරික හිංසනය
  • නින්දා කිරීම හා වාචික හිංසනය
  • වේදනා නාශක ඖෂධ ලබා නොදීම
  • පුද්ගලිකත්වයට හානිකර අයුරින් සැලකීම
  • දැනුවත් කැමැත්ත ලබානොගෙන හෝ බලහත්කාරයෙන් වෛද්‍යමය ක්‍රියා පටිපාටි සිදුකිරීම (වන්ධ්‍යාකරණය ද ඇතුළුව)
  • රහසිගතබව ආරක්ෂා නොකිරීම
  • පූර්ණ දැනුවත් කැමැත්ත ලබා නොගැනීම
  • ප්‍රසූතිය අතරතුර දී ජීවිතයට හානිකර නමුත් මඟහැරිය හැකි සංකූලතා ඇතිවන පරිදි නොසලකා හැරීම

ජාත්‍යන්තරව පිළිගත් මානව හිමිකම් සම්මතයන්ට හා මූලධර්මවලට අනුව, දරු ප්‍රසූතියේ දී හිංසනයට ලක් කිරීම, නොසලකා හැරීම හෝ අගෞරව කිරීම කාන්තාවකගේ මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් විය හැකි ය.

උපත දෙන මවට ගෞරවයෙන් සැලකීම වැදගත්වන්නේ ඇයි?

'ගෞරවනීය මාතෘ සත්කාරය' යනු, සෞඛ්‍ය කාර්යය මණ්ඩලය විසින් ප්‍රසූතිය සිදු කරන කාන්තාවගේ ගෞරවය, පුද්ගලිකත්වය හා රහසිගතභාවය ආරක්ෂා වන අයුරින් කටයුතු කිරීම ය.

පසුගිය දශක කිහිපය තිස්සේ, ගෞරවනීය මාතෘ සත්කාරය සැපයීමට ඇති උනන්දුව ගෝලීය වශයෙන් කැපී පෙනෙන අන්දමින් වර්ධනයවී තිබේ.

ගෞරවනීය සත්කාරයක් නොලැබීම හරහා මවගේ ප්‍රසූති අත්දැකීම සෘණාත්මක වනබව, ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන, කොළඹ විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ ප්‍රසව හා නාරිවේද දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය හේමන්ත සේනානායක පවසයි.

සේවයේ ගුණාත්මකභාවය වැඩිවන්නට, ප්‍රසූතියේ දී මතුවන සංකූලතාවන් අඩුවිය හැකිබව ඔහු ප්‍රකාශ කරයි.

"සාමාන්‍ය අම්මකෙනෙක් ලේබර් රූම් එකකට යන්නේ බයෙන්. මේගොල්ලො [රෝහල් කාර්යය මණ්ඩලය] බනියි ද, මෙතන මොකද්ද වෙන්නේ, මොනවා ද මට කෙරෙන්නේ කියලා - ඒ ගැන අවබෝධයක් හුඟක් අයට නැහැ," මහාචාර්ය සේනානායක අප හා පවසයි.

"කාර්යය මණ්ඩලය මවකගේ ප්‍රසූතිය වෙලාවේ පාවිච්චි කරන වචනවලින් සමහර විට හුඟාක් හිත රිදෙන්න පුළුවන්... [අයහපත්] චේතනාවකින් නෙවෙයි, මවට අනුබල දෙන්න කතා කරද්දී වුණත්, අපි ඒක ප්‍රවේශමෙන් කරන්න ඕන," ඔහු ප්‍රකාශ කළේ ය.

ලොව ඉහළම සිසේරියන් අනුපාතය සහිත රටක්?

එසේම, ගෞරවනීය සත්කාරයක් ලබාදීමේ දී විද්‍යාත්මක පදනමක් සහිත මැදිහත්වීම් පමණක් සිදුකළ යුතුබව මහාචාර්ය සේනානායක පවසයි. ඔහු මීට උදාහරණ ලෙස ගෙනහැර පෑවේ මෙරට සිදුවන සිසේරියන් සැත්කම් ප්‍රමාණය යි.

ලංකාවේ දරු උපත්වලින් 40.5%ක් සිදුවන්නේ සිසේරියන් සැත්කම් හරහා ය. රජයේ රෝහලක දී හිරිහැර විඳීමට සිදුවෙතැ යි බියෙන් ඒවාට ඇතුළත්වීමට මැළිවන ගර්භනී කතුන්, ඒ වෙනුවට පුද්ගලික රෝහලක දී සිසේරියන් සැත්කමක් සිදුකිරීම තෝරා ගන්නාබව පෙනෙන්නට තිබේ.

මහාචාර්යවරයා පවසන්නේ, විද්‍යාත්මක පදනමක් ඇතිව එවැනි සැත්කම් සිදුකළේ නම් එවැනි උසස් අනුපාතයක් තිබිය නොහැකිබව යි.

"අපි දන්නවා, දීර්ඝකාලීනවත්, කෙටිකාලීනවත් සිසේරියන් සැත්කම්වලින් ප්‍රශ්න තියෙනවා. ඉදිරි ගර්භනීභාවයන්ට සිසේරියන් සැත්කම නිසාම සංකූලතා ඇතිවෙන්න පුළුවනැ,"යි අන්තරාය පෙන්වා දෙන ඔහු, විද්‍යාත්මක පදනමක් රහිතව සිසේරියන් සැත්කමක් සිදුකිරීම ගෞරවනීය මාතෘ සත්කාරයට පිටින් යන්නක් ලෙස සැලකිය හැකිබව යෝජනා කරයි.

ප්‍රසූතිය අතරතුරේ දී යම් වෛද්‍යමය ක්‍රියාවලියක් සිදුකරන්නේ නම් මවට එය පැහැදිලිව විස්තරකර දීම හා ප්‍රසූතියේ ප්‍රගතිය මව සමග සාකච්ඡා කිරීම ද ගෞරවනීය මාතෘ සත්කාරයේ කොටසකි.

Opinion on Respectful maternity care

ඡායාරූප මූලාශ්‍රය, Smart Lady/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, මෙවැනි ඉතා යහපත් අත්දැකීම් ලද මවුවරුන් ද සිටියි

'ප්‍රසූති සහායිකාවක්' යනු කවුරුන් ද?

ගෞරවනීය මාතෘ සත්කාරය තහවුරු කිරීමෙහිලා මෙහිදී ඔහු ඉදිරිපත් කරන විසඳුමක් නම්, ප්‍රසූත සහායිකාවක ළඟ තබා ගැනීමට මවට ඉඩ සැලසීම යි.

ලංකාවේ පුද්ගලික අංශයේ බොහෝ රෝහල්වල දී, ප්‍රසූතිය පසුවන කාන්තාව අසල රැඳී සිටීම සඳහා ඇගේ පුරුෂයාට අවසරය සලසා දී ඇත. නමුත් රජයේ රෝහල්වල තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් ය.

පහසුකම් අවම එම රෝහල්වල ඇත්තේ මව්වරුන් කීපදෙනෙකු එකවර ප්‍රසූතිය ලබාදෙන පොදු සූතිකාගාර යි. පුද්ගලිකත්වය අවම මේවාට පිවිසීමට පුරුෂයින්ට අවසර ලබාදීමට නොහැකිවෙතත්, ඒ වෙනුවට කාන්තා සහායිකාවකට ඉඩකඩ සලසා දිය හැකියැ යි මහාචාර්ය සේනානායක යෝජනා කරයි.

"මවගේ සහායට කවුරුහරි ඉන්නවා නම්, ඒකෙන් [අම්මගේ] බය එහෙම යම්කිසි දුරකට අඩුවෙනවා, මොකද, අර ඇබියුස් එක හුඟක් දුරට අඩුවෙනවා. නිරායාසයෙන්ම ඒ මවට සලකන විදිය ගෞරවනීය වෙනවා, මොකද තව එක්කෙනෙක් එතන ඉන්නවා. අපට ඕන ඕන විදියට එයාට කතා කරන්න බැහැ.

"එතකොට විද්‍යාත්මක පැත්තෙන් ගත්තොතින්, මේ ගැන විද්‍යාත්මක දත්ත හුඟාක් තියෙනවා. මේවායින් අපට පෙන්නන්නේ, එහෙම සහායිකාවක් ළඟ ඉන්නවා නම්, මවට ප්‍රසූතිය සඳහා යන කාලය අඩුවෙනවා. දෙවනුව, එයාට අවශ්‍යවන වේදනා නාශක බෙහෙත්වල අඩුවක් අපි දකිනවා... මොකද, මවගේ ආතතිය අඩු කළාම... මවට දැනෙන වේදනාව අඩුවෙනවා."

ස්වභාවිකව ප්‍රසූතිය සිදුවීම සඳහා ඇති ප්‍රවණතාව මෙමඟින් වැඩිකරනබව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මහාචාර්ය සේනානායක, ප්‍රසූතියේ සහාය සඳහා කිසිවෙකු ළඟ සිටීමේ වාසි තුනක් නම්කරයි:

  • මවගේ බිය අඩුවෙයි - මෙවිට, බිය නිසා නිකුත්වෙන ඇඩ්රිනලින් හෝමෝනයෙන් ඇතිකරන සෘණාත්මක වෙනස්කම්වලට මුහුණදීමට ඇයට සිදුනොවෙයි.
  • ප්‍රසූතිය කෙටිවෙයි - මව බිය අඩු, යහපත් තත්ත්වයක පසුවන බැවින් ප්‍රසූත ක්‍රියාවලිය ඉක්මණින් සිදුවෙයි.
  • සිසේරියන් සැත්කමක් අවශ්‍යවීමේ ප්‍රවණතාව අඩුකරයි - හෙවත්, සාමාන්‍ය ලෙස ප්‍රසූතිය සිදුවීමේ ප්‍රවණතාව ඉහළ දමයි.
Opinion on respectful maternity care

ඡායාරූප මූලාශ්‍රය, Smart Lady/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, තමා ලද සත්කාරය පිළිබඳව ප්‍රසාදයෙන් පසුවන මවුන් ද බොහෝ ය

ප්‍රසූති සහායිකාවකට ඉඩ ලබාදීම සඳහා ඇති බාධා මොනවා ද?

ඉහත ප්‍රශ්නය යොමුකළ අවස්ථාවේ දී, "අපේ ආණ්ඩුවෙනුත්, අපේ සෞඛ්‍ය අමාත්‍යංශයෙනුත් 2017 දී මේක ගැන තවත් උනන්දු වෙන්න කියලා චක්‍රලේඛෙකුත් නිකුත් කරලා තියෙනවා. හැබැයි ඒක අපේ ලංකාවේ වෙන්නේ නැහැ අවාසනාවකට,"යි වෛද්‍යවරයා අප හා පැවසුවේ ය.

ඊට එක් හේතුවක් නම්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් හා සේවකයින්ගෙන් විරෝධතා එල්ලවී තිබීම යි.

ශ්‍රී ලංකාවේ ප්‍රසව වෛද්‍යවරුන් අතර සිදුකළ සමීක්ෂණයකින් පෙන්වා දෙන පරිදි, ඔවුන්ගෙන් 58.8%ක් ප්‍රසූත සහායිකාවකට ඉඩ ලබානොදෙන අයහපත් ආකල්ප දරයි. මෙය, උසස් සෞඛ්‍ය සේවාවක් සපයන ශ්‍රී ලංකාව වැනි රටක දී ඉතා අවාසනාවන්ත තත්ත්වයක් ලෙස සැලකිය හැකි ය.

"අපි සෞඛ්‍ය සේවාවක් හැටියට, මාතෘ සේවාවක් හැටියට කොතන ද ඉන්නේ කියලා මේකෙන් පිළිබිඹු වෙනවා. ඒ කියන්නේ, [සහායිකාවක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන්] මේ වගේ විද්‍යාත්මක දත්ත තියෙනවා කියලා, [ඒක ප්‍රසූතියට] ප්‍රයෝජනවත් වෙනවා කියලා පෙන්නනකොටත් අපි මේක කරන්නේ නැත්නම්, ඒක සම්පූර්ණයෙන්ම මවගේ පැත්තෙන් අසාධාරණයක්," මහාචාර්යවරයා සිය අදහස කියාපෑවේ ය.

2011 වසරේ සිට ද සොයිසා කාන්තා රෝහලේ මහාචාර්ය ඒකකයේ දී ප්‍රසූති සහායිකාවක් තබාගැනීමට අනුබල දුන්බවත්, එය ඉතා සාර්ථකවූබවත් ඔහු පවසයි.

"කාන්තාවකට ඉන්න ඉඩ දෙන එක ලේසියෙන් කරන්න පුළුවන්. ලංකාවේ ඕන රෝහලක මේක කරන්න පුළුවන්. හැබැයි අවාසනාවකට, ඔය එක එක හේතු නිසා මේක වෙන්නේ නෑ. ඒක කණගාටුවට කරුණක්."

"අපි මේවා කරනවා නම්, සෞඛ්‍ය බලධාරීනුත් ඒකට අදාළ විදියට වැඩ කරන්න ඕන. ඒ කියන්නේ, ප්‍රතිපාදන සලස්වන්න ඕන, අවශ්‍ය ප්‍රමාණයට කාර්යය මණ්ඩලය සපයන්න ඕන, ඒ වගේ දේවල්. අනිත් එක, හරි ප්‍රතිපත්ති තියෙන්න ඕන. එහෙම නැතුව කාර්යය මණ්ඩලයකටත් අමාරු යි ඒක නිකන්ම ඒ ගෞරවාන්විත විදියට [සේවය] කරන්න. මොකද ඒගොල්ලන්ගේ අර කාර්යයබහුලවීම තුළින්ම එතන ප්‍රශ්න ඇතිවෙන්න බලනවා. ඒ විදියට කට්ටියට සලකන එක අමාරුවෙන්න පුළුවන්," මහාචාර්යවරයා අවසන් වශයෙන් ප්‍රකාශ කළේ ය.

රෝහලේ දී අයහපත් අත්දැකීමකට මුහුණදෙන්නට සිදුවුණොත්?

ඔබ ප්‍රසූතිය සඳහා රෝහල්ගතවී සිටිද්දී කායිකව, වාචිකව හෝ මානසිකව හිංසනයට හෝ පීඩාවට ලක්වී නම්, ඒ සම්බන්ධයෙන් රෝහලේ අධ්‍යක්ෂකවරයා වෙත පැමිණිල්ලක් ගොනු කිරීමේ අවස්ථාව ඔබට තිබේ. ඊට අමතරව ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වා සිටීමට ඔබට හැකි ය.

ඔබට පසු ප්‍රසව විෂාද තත්ත්වයක් ඇතිබව හැඟෙන්නේ නම් කරුණාකර ඔබේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හරහා හෝ සෘජුවම වෛද්‍ය උපදෙස් පතන්න.

ස්මාට් ලේඩි සමූහයට විශේෂ ස්තුතිය පුදකරමු.