පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම: මෙතෙක් සිදුව ඇත්තේ කුමක් ද?

CMC

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

මහා නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275ක් ඇතුළු පළාත් පාලන ආයතන 339ක් සඳහා නියෝජිතයන් 8,000කට වැඩි ප්‍රමාණයක් තෝරා ගැනීම සඳහා මැයි 09 වන දින පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අවසන් වූයේ බොහෝ පළාත් පාලන ආයතනවල බහුතර බලයක් කිසිදු පක්ෂයකට ලබා නොදෙමිනි.

නිකුත් වූ අවසන් ඡන්ද ප්‍රතිඵල අනුව 50%වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි කරගනිමින් ජාතික ජනබලවේගයට බහුතර බලය හිමි ව තිබුණේ පළාත් පාලන ආයතන 72ක පමණි.

ඉලංගෛ තමිල් අරසු පක්ෂය 50%ට වඩා වැඩි ඡන්ද ලබාගත් ආයතන 3 හැර විපක්ෂය නියෝජනය කරන සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් පක්ෂ කිසිවක් 50%ක ඡන්ද ප්‍රතිශතයක් පළාත් පාලන ආයතනවල හිමිකරගෙන නොතිබිණි.

කොළඹ NPPයට

ඒ අනුව ඡන්ද විමසීම අවසන් වූ දිනවල සිට ම බලය තහවුරු නොවූ පළාත් පාලන ආයතනවල බලය තහවුරු කරගැනීම සඳහා විවිධ දේශපාලන පක්ෂ අතර සාකච්ඡා පැවැත්විණි.

එතෙක් බලය පිහිටුවීමට නොහැකි වූ පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් තෝරා පත් කරගැනීම සඳහා ඡන්ද විමසීම් පැවැත්වෙන්නේ ඒ අනුව ය.

වඩාත් අවධානයට ලක් වූ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය සඳහා රහස් ඡන්දයක් පවත්වනවා ද නැද්ද යන්න පිළිබඳව, නගර සභාවේ මංගල සැසි වාරය පැවති ජූනි 16 දින උණුසුම් තත්ත්වයක් ඇති විය.

අවසානයේදී කොළඹ මහා නගර සභාවේ බලය ජාතික ජන බලවේගය ලබා ගත අතර, නගරාධිපති ධූරය සඳහා ව්‍රායි කැලී බල්තසාර් තේරී පත් විය.

බීබීසී සිංහල කළ විමසීමකදී ජාතික ජනබලවේගයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔවුන් මේ වන විට පළාත් පාලන ආයතන 206ක බලය පිහිටුවා ඇති බව ය.

ඒ අතුරින් පළාත් පාලන ආයතන 151ක බලය අභ්‍යන්තර ඡන්ද නොපවත්වා පිහිටුවා ගැනීමට හැකි වූ බව ඔහු පැවසුවේ ය.

28 ක් සජබට; 22ක් ITAK

බහුතර බලයෙන් බලය පිහිටුවා ගැනීමට නොහැකි වූ නිසා 2025 ජූනි 24 වන විට පළාත් පලාන ආයතන 124ක ඡන්ද පවත්වා තිබේ.

ඒ අතුරින් පළාත් පාලන ආයතන 28ක බලය පිහිටුවීමට සමගි ජනබලවේගය සමත්ව තිබේ.

මෙම පළාත් පාලන ආයතනවලින් සමහරක වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි කරගෙන තිබුණේ ජාතික ජනබලවේගයයි.

කෙසේවෙතත් වෙනත් පක්ෂ බලය පිහිටුවා ඇති පළාත් පාලන ආයතන 09ක නියෝජ්‍ය නගරාධිපති සහ නියෝජ්‍ය සභාපති ධූර සඳහා සමගි ජනබලවේගයේ සභිකයන් පත්ව තිබේ.

එමෙන් ම උතුරු-නැගෙනහිර පළාත්වල පළාත් පාලන ආයතන 25ක බලය ඉලංගෛ තමිල් අරසු පක්ෂය දිනාගෙන තිබේ. එයින් 22ක් මේ දක්වා කැඳවන ලද පළාත් පාලන ආයතනවල පැවති සභික ඡන්දවලින් දිනාගෙන ඇති අතර, පළාත් පාලන මැතිවරණයේදී 50%ට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමිකර ගත්තේ ආයතන 3ක පමණි.

තවත් ආයතන 19ක් විපක්ෂයට 2ක් ස්වාධීන කණ්ඩායම්වලට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ සහ කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන් ලෙස පත්ව තිබෙන අතර, අකුරණ ප්‍රාදේශීය සභාව, මැදවච්චිය ප්‍රාදේශීය සභාව, මැදගම ප්‍රාදේශීය සභාව ඇතුළු පළාත් පාලන ආයතන 16ක නියෝජ්‍ය තනතුරු සඳහා පත්ව තිබේ.

ජනාධිපතිවරණයේදී වඩාත් ආන්දෝලනයට ලක් වූ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය පළාත් පාලන ආයතන 4ක බලය තහවුරු කර තිබේ.

මධ්‍යම පළාතේ කොටගල ප්‍රාදේශීය සභාවේ සහ ආගරපතන ප්‍රාදේශීය සභාවේ බලය ලංකා කම්කරු කොංග්‍රසය හිමිකරගනිද්දී ඒවායේ නියෝජ්‍ය වගකීම් හිමිකරගෙන ඇත්තේ ජාතික ජනබලවේගයට ය.

හපුතලේ නගර සභාවේ සහ කරෙයිනගර් ප්‍රාදේශීය සභාවේ බලය හිමිකරගෙන ඇත්තේ ස්වාධීන කණ්ඩායම් දෙකකි.

ඒ අනුව ජූනි 24 දක්වා පැවති ඡන්ද විමසීම් 124කින් පළාත් පාලන ආයතන 71ක බලය විපක්ෂයේ පක්ෂ හිමිකරගෙන තිබේ.

මෙතෙක් බලය පිහිටුවා ගැනීමට නොහැකි වූ ඉතිරි පළාත් පාලන ආයතනවල මංගල සැසි සහ ඡන්ද විමසීම් මෙම සතිය ඇතුළත අවසන් කිරීමට නියමිත අතර, විවිධ හේතු නිසා කල් ගිය අනෙකුත් ආයතන කිහිපයක ඡන්ද විමසීම් ඉදිරි සතියේ පැවැත්වෙනු ඇත.