නව වසරට පෙර නිවසේ ඇති අනවශ්‍ය දෑ ඉවත් කර පිරිසිදු කිරීම පහසු කිරීමට ක්‍රම 4ක්

Woman checks mobile while organising wardrobe

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

නත්තල් උත්සව අවසානයත් නව වසරේ ආරම්භයත් සමග ඔබට සෑම වසරක ම දෙසැම්බර් මාසයේ අවසන් දින කිහිපයේ සිදු කිරීමට ඇති දෙයක් තිබේ.

ඒ, නව වසරට පෙර නිවසේ ඇති දෑ පිළිවෙලකට සකසා අනවශ්‍ය දෑ ඉවත් කොට නිවස පිරිසිදු කිරීමයි.

නමුත් නිවසේ ඇති "අනවශ්‍ය" දේවල් ඉවත් කිරීම බොහෝ දෙනෙකුට තවමත් අපහසු කාර්යයකි.

මේ මොහොතේ ප්‍රයෝජනයට නොගන්නා, තවදුරටත් ඔබගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය නොවන නමුත් විවිධ හේතු නිසා අපගේ නිවෙස් තුළ අප ගොඩගසාගෙන ඇති විවිධ භාණ්ඩ තිබිය හැකි ය.

මේවා හේතුවෙන් අපගේ නිවෙස්වල වැඩි ඉඩක් ඇහිරී තිබේ.

සාමාන්‍යයෙන් නිවසක් ගත් කළ, අපගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය නොවන බොහෝ දේ එහි තිබේ.

පැරණි ඇඳුම්, පැරණි පොත්පත්, පැරණි පත්තර, ක්‍රියා නොකරන තත්ත්වයේ ඇති විදුලි උපකරණ ආදිය බොහෝ විට ඔබේ නිවස තුළ තිබිය හැකි ය.

ඒවා ඉවත් කිරීමට යාමේදී ඇතැම්විට ඒවා ඔබට යම් දිනයක අවශ්‍ය වේ යැයි සිතා තබා ගැනීමට සිතිය හැකි ය.

එසේත් නැතිනම් ඒවා සමග ඇති චිත්තවේගීය හෝ අතීතකාම බැඳීමක් හේතුවෙන් ඒවා ඉවත් කිරීම ඔබට අපහසු විය හැකි ය.

නැතිනම් ඔබට ආරම්භ කරන්නේ කොතනින් ද?, ඉවත් කර භාණ්ඩ දමන්නේ කොතැනට ද? යන ප්‍රශ්න තිබෙනවා විය හැකි ය.

මේ ඔබේ නිවසේ ඇති අනවශ්‍ය භාණ්ඩ ඉවත් කර නිවසේ ඉඩ සාදා ගැනීමට අනුගමනය කළ හැකි සරල උපක්‍රම 4කි.

01. පොඩි තැනකින් ආරම්භ කරන්න

බොහෝ දෙනෙකුට ඇති ලොකු ම අභියෝගය වන්නේ මේ ක්‍රියාවලිය ආරම්භ කිරීම ය. එබැවින් අනවශ්‍ය දේ ඉවත් කිරීමට ඔබ ඔබට ම අවසර දීම වැදගත් වේ.

මෙයට, ඔබට ප්‍රයෝජනයක් නොමැති නමුත් යම් කෙනෙකු විසින් තෑගී කළ දෙයක් නිසා ඔබ තබා ගත් තෑගි භාණ්ඩ ද ඇතුළත් ය.

මෙය සිදු කිරීම ඔබ ආරම්භ කළ යුත්තේ සෙමින් ය.

එනම් ඔබ භාණ්ඩ රැසක් එක් වර ම ඉවත් කිරීම නොවේ. වරකට එක බැගින් ඉවත් කරන්න. නිවසේ ම ඇති භාණ්ඩ එකවර ඉවත් කිරීම නොව වරකට එක් කුඩා කොටසක ඇති භාණ්ඩ ගැන අවධානය යොමු කරන්න.

ඔබ පළමුව ඔබගේ පුද්ගලික කබඩ් සහ අල්මාරි තෝරාගෙන පසුව ක්‍රමයෙන් ඔබේ නිවසේ අනෙකුත් ස්ථාන පිරිසිදු කිරීමට යාම වඩා කාර්යක්ෂම විය හැකි ය. මෙයින් ඔබ අධික වෙහෙසට පත් නොවී නිවස පිළිවෙල කිරීමට ඔබව උනන්දු කළ හැකි ය.

02. ඔබේ භාණ්ඩ රැගෙන යා යුතු ස්ථානය සැලසුම් කරන්න

පරිත්‍යාග කිරීම සඳහා පොත් ඇසුරුම් කරන කාන්තාවකගේ සමීප රූපයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඔබ ඉවතලන අයිතමවලට කුමක් සිදු කරන්නේදැයි කල්තියා සැලසුම් කිරීම අත්‍යවශ්‍ය වේ. මෙය අනවශ්‍ය භාණ්ඩ ඉවත් කිරීම ආරම්භ කිරීමට පෙර හෝ පළමු දින කිහිපය තුළ විය යුතු ය.

ඒවා කිසිසේත් ම ඔබේ නිවස පිටුපස, මිදුලේ, ගබඩා කාමරයක හෝ ආලින්දයේ ගොඩගසා නොතැබිය යුතු ය.

භාණ්ඩ පරිත්‍යාග කිරීම හෝ ප්‍රතිචක්‍රීකරණය කිරීම ඔබට කළ හැකි ය.

එමෙන් ම ඇතැම් භාණ්ඩ නැවත විකිණීම පවා කළ හැකි ය.

භාවිත කළ භාණ්ඩ මිලදී ගැනීම සහ විකිණීම සඳහා ම වූ ඇතැම් සමාජ මාධ්‍ය සමූහ තිබේ.

එවැන්නක් හරහා ඔබට පහසුවෙන් ඔබ භාවිත කළ නමුත් නැවත භාවිත කළ හැකි තත්ත්වයේ භාණ්ඩ විකිණීම සිදු කළ හැකි ය.

වර්තමානයේ භාණ්ඩ පරිත්‍යාග කිරීමේ හැකියාව ද පවතින අතර, මේ වන විට සුළි කුණාටුව හේතුවෙන් හානි සිදුවූ ප්‍රදේශවල සිටින පුද්ගලයන් හට ඔබ සතුව ඇති භාවිත කළ හැකි මට්ටමේ පවතින දේවල් පරිත්‍යාග කිරීමේ හැකියාව ද පවතියි.

එවැනි තත්ත්වයක නොපවතින දේවල් ප්‍රතිචක්‍රීකරණය කිරීම කළ හැකි ය.

ඔබ අයත් ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ කසළ එකතු කිරීමේ සේවාව හරහා එය ඔබට පහසුවෙන් සිදු කරගත හැකි ය.

බොහෝ ප්‍රදේශවල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන ද පවතින බැවින් ඔබට ම එම මධ්‍යස්ථාන වෙත ඔබේ නිවසින් ඉවත් කරන දේවල් භාර දීමට හැකි ය.

03. ප්‍රමාණයට නොව ගුණාත්මක භාවයට ප්‍රමුඛත්වය දෙන්න

බොහෝ විට පවසන්නේ ඔබ අනවශ්‍ය දේවල් ඉවත් කිරීමේදී ඉතා දැඩි විය යුතු බව ය. නමුත් හොඳ අස් කිරීමක් යනු ඔබට වැදගත් හෝ අර්ථවත් දේවල් ඉවත දැමීම නොවේ.

එයින් අදහස් කරන්නේ භාණ්ඩ ඉවත් කිරීමට දැඩි තීරණ ගැනීම පමණක් නොවේ.

භාණ්ඩ තෝරා ගැනීමේදී කල්පනාකාරී වීම ද එයට ඇතුළත් ය.

ඔබ නිවසේ දොරෙන් ඇතුළු වූ විට ඔබව ශක්තිමත් කරන දේවල් පමණක් තබා ගන්න.

එමෙන් ම නිවස පුරා භාණ්ඩ විසිරුවා තැබීම නොව එක් එක් නිශ්චිත භාණ්ඩය සඳහා නිවසේ නිශ්චිත ඉඩක් වෙන් කිරීමෙන් ඔබට නිවසේ ඉඩ කළමනාකරණය කිරීමට හැකි වේ.

පරිත්‍යාග කිරීම සඳහා ඇඳුම් ආයිත්තම් කට්ටල පිරිසිදු කරන කාන්තාවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

04. අතීතකාමය සහ හැඟීම්බර බව අතර වෙනස හඳුනා ගන්න

චිත්තවේගීය බැඳීම යනු මිනිසුන් දේවල් අත්හැරීමට අරගල කරන ප්‍රධාන හේතුවක් වේ.

මෙම බැඳීම බොහෝ විට අතීතකාමය සහ හැඟීම්බර බව යන දෙක සමග ම බැඳී තිබේ.

යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් අපට ඇති හැඟීම්බර බව යනු වර්තමානයේ එය සතුව ඇති චිත්තවේගීය වටිනාකමයි.

බොහෝ විට එය සම්බන්ධතාවයක්, ජයග්‍රහණයක් හෝ අපට වැදගත් මොහොතක් සංකේතවත් කරන්නකි.

අතීතකාමය යනු, අතීතය ගැන ඇති ආශාවයි. එය අතීතයේ මතක හාරා අවුස්සන යම් භාණ්ඩයක් සමග බැඳී තිබිය හැකි ය.

ඔබට ඔබේ දරුවාගේ සෙල්ලම් බඩුවක් ගැන හැඟීම්බර බවක් තිබිය හැකි අතර, එයින් දරුවා සෙල්ලම් කළ කාලය සම්බන්ධයෙන් අතීතකාමයක් තිබිය හැකි ය.

මේ දෙක අතර වෙනස හඳුනාගැනීම අත්හැරීමට සහයක් විය හැකි ය.

ඔබේ දරුවාගේ පළමු සපත්තු කුට්ටම ගැන සිතන්න. එය ඉවත් නොකර තබා ගැනීමට ඔබට සිතිය හැකි ය. නමුත් එයට හේතු විය හැක්කේ ඇතැම්විට ඔබ සාප්පු වෙත ගොස් ඒවා මිලදීගත් මතකය විය හැකි ය.

එම නිසා, භාණ්ඩ තබා ගැනීමට හේතු සහ නිවසේ පුද්ගලයින්ට ඒවා සැබවින්ම අවශ්‍ය වේ ද යන්න ගැන සැබවින් ම සිතා බලන්න.

කෙසේවෙතත් වර්තමානයේ ඡායාරුපයක් ගැනීම වැනි සරල දෙයක් හරහා අපට මතකයන් අප ළගින් ම තබා ගත හැකි යි. එම නිසා මතකයන් වෙනුවෙන් භාණ්ඩ එකතු කර තබා ගැනීම කළ යුතු ද යන්න සිතා බලන්න.