ඔබේ පළාත් පාලන ආයතනය විසින් නිසි ලෙස කසළ රැගෙන නොයන්නේ නම් ඔබට කළ හැක්කේ කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
එක් දිනක් හෝ නිවසේ කසළ ගොඩගැසුණහොත් නාගරික වටපිටාවක ජීවත්වන ඔබට මොනතරම් අපහසුතාවකට මුහුණ දීමට සිදුවනවා ද?
කොළඹ ඇතුළු තදාසන්න නාගරික ප්‍රදේශවල වෙසෙන ජනතාව මෙන් ම මහල් නිවාසවල ජීවත්වන ජනතාව මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් බවට දෛනික කසල බැහැර කිරීම පත්ව තිබේ.
එක් දිනකට හෝ කසළ රැගෙන යාම අතපසු කළහොත් දැඩි දුෂ්කරතාවකට මුහුණ දීමට ජනතාවට සිදුවේ.
නිවෙස්වල කුණු කසළ පමණක් නොව මාර්ගවල ද දින ගණන් කුණු කසළ එක්රැස්ව තිබෙන අයුරු ඇතැම්විට අප දැක තිබේ.
එය ප්‍රදේශයේ ජනතාවට ද අතිශය අමිහිරි අත්දැකීමකි.
කසළ රැගෙන යාම විධිමත්ව නොකරන්නේ නම් ඔබට ගත හැකි ක්‍රියාමාර්ග මොනවා ද?
කසළ බැහැර කිරීමේ වගකීම පැවරී ඇත්තේ කාට ද?
"කසළ කළමනාකරණය කිරීමේ වගකීම පැවරිලා තියෙන්නේ පළාත් පාලන ආයතනවලට, පළාත් පාලන පනතින්, නගර සභා ආඥා පනතින් තමයි කසළ කළමනාකරණයේ නෛතික වගකීම තියෙන්නේ," මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිල රාජපක්ෂ බීබීසි සිංහල සේවයට පැවසීය.
කසළ කළමනාකරණයට අදාළ මාර්ගෝපදේශ ලබා දීම, මග පෙන්වීම ඇතුළු නියාමන කාර්යය මධ්‍යම පරිසර අධිකාරිය මගින් සිදු කෙරේ.
පළාත් පාලන අයතන තම බල ප්‍රදේශයේ සියලු ස්ථානවලින් කසළ එකතු කර කළමනාකරණය කළ යුතු වුව ද ඊට අදාළ ධාරිතාවක් නොමැති වීම හේතුවෙන් එසේ සිදු නොකරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
"පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණ සැලැස්මට අනුව කී වතාවක් එකතු කරනවා ද?, මොන තැන්වල ද එකතු කරන්නේ? කියන එක තියෙනවා. සමහර ග්‍රාමීය ප්‍රදේශවලින් හොඳට ඉඩකඩ තියෙන තැන්වලින් ඉඳුල්, දිරන කසළ වගේ දේවල් එකතු කරන්න ගියොත් ඒක අනවශ්‍ය බරක් වෙනවා නේ කසළ කළමනාකරණයට."
කසළ එකතු කරන සීමා මොනවා ද?
පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණය කළ යුතු ආකාරය පිළිබඳව බීබීසි සිංහල සේවය ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානයෙන් තවදුරටත් විමසීය.
ඇතැම් පළාත් පාලන ආයතන වරිපනම් බල ප්‍රදේශය තුළ පමණක් කසළ එකතු කරනු ලබන අතර, තවත් සමහර පළාත් පාලන ආයතන ධාරිතාව අනුව තම මුළු බල ප්‍රදේශයේ ම කසළ එකතු කරයි.
ධාරිතාව ඉක්මවා යන විට තුන් වන පාර්ශවයක් කසළ එකතු කිරීමට අනුයුක්ත කිරීම සහ කසළ එකතු කිරීමේ සීමා තීරණය කරනු ලබන්නේ, පළාත් පාලන ආයතන විසිනි. එහෙත් තම බල ප්‍රදේශයේ කසළ එකතු කිරීම සහ කළමනාකරණයේ වගකීම පළාත් පාලන ආයතන සතු වේ.
පළාත් පාලන ආයතනවලට සම්පතක් වූ කසළ
කසළ, පළාත් පාලන ආයතන සතු සම්පතක් ලෙස සැලකේ, දැනට පවතින යන්ත්‍ර සූත්‍ර සහ ධාරිතාව අනුව එකතු කර ගන්නා කසළ කළමනාකරණය කරන ආකාරය වෙනස් වේ.
ඇතැම් පළාත් පාලන ආයතන දිරන කසළ යොදා ගනිමින් කොම්පෝස්ට් නිපදවීමට කටයුතු කරන අතර නොදිරන කසල වෙන් කිරීමෙන් අනතුරුව ඒවා විකුණා ආදායමක් ලබන බව ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානයේ සඳහන් වේ.
තෙත් කලාපයේ ඇතැම් පළාත් පාලන ආයතන දිරන කසළ භාවිත කර ජීව වායු ඒකකයක් පවත්වාගෙන යමින් එය විදුලිය නිපදවීමට හෝ උඳුනක් දල්වා ගැනීමට භාවිත කරනු ලබයි.
සම්පත් හෝ ධාරිතාව නොමැතිව ඉතා ම සුළු පළාත් පාලන ආයතන ප්‍රමාණයක් එකතු කර ගන්නා දිරන කසළ වළ දමයි.
'කසළ එකතු කරන්නේ නැතිනම් දැනුම් දෙන්න'
ඇතැම් අවස්ථාවලදී කසළ එකතු කරන ප්‍රදේශවල දින කිහිපයක් කසළ එකතු කිරීමට නොපැමිණෙන අවස්ථා තිබේ. එවන් අවස්ථාවල ජනතාව දැනුවත් කිරීම පළාත් පාලන ආයතනයේ වගකීමක් වේ.
එසේ යම් සාධාරණ හේතුවක් ඇතිව කසළ එකතු කිරීම සිදු නොකරන්නේ නම් ඊට විකල්ප ක්‍රම හඳුන්වා දීම හෝ ආසන්න පළාත් පාලන ආයතනයක සහය ලබා ගනිමින් කසළ එකතු කළ යුතු ය.
කුණු ප්‍රශ්න ගැන පැමිණිලි කරන්නේ කාට ද?
යම් පළාත් පාලන ආයතනයක් කසළ එකතු කිරීම නවතා දැමුවහොත් හෝ ඒ හා සම්බන්ධ පැමිණිල්ලක් ඇත්නම් අදාළ පළාත් පාලන ආයතනය වෙත ලිඛිත හෝ වාචිකව ඉදිරිපත් කළ හැකි ය.
පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණ ඒකක හෝ සෞඛ්‍ය ඒකකවලට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළ හැක.
ඊට අමතරව පළාත් පාලන ආයතන ක්‍රියාත්මක නොවන්නේ නම් පළාත් පාලන කොමසාරිස්වරයාට දැනුම් දිය හැකි ය.
පළාත් පාලන ආයතන මට්ටමින් ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් පළාත් පාලන අමාත්‍යංශයට ලිඛිතව හෝ වාචිකව පැමිණිලි කිරීමේ අවස්ථාව ද පවතී.
එමෙන් ම, කසළ තම ගෙවත්තේ කළමනාකරණය කර ගත නොහැකි අවස්ථාවල කසළ එකතු කරන ලෙස අදාළ පළාත් පාලන ආයතනයට බලපෑම් කිරීමේ හැකියාව ද ජනතාව සතු වේ.













