ටොන් ගණනින් කසළ ගොඩගැසෙන ජලපෝෂක ශ්‍රීපාද රක්ෂිතය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාවේ ඇති වන රක්ෂිත අතුරින්, ජෛව විවිධත්වය අතින් ශ්‍රී පාද රක්ෂිතයට සුවිශේෂී ස්ථානයක් හිමිව තිබේ. මධ්‍යම කඳුකරයේ කොටසක් වන ශ්‍රී පාද රක්ෂිතය තුළ ශ්‍රී ලංකාවට ආවේණික සතුන් හා ශාඛ මෙන් ම වඳ වී යාමේ තර්ජනයට මුහුණදී ඇති ශාඛ සහ සත්වයෝ රැසක් ජීවත් වෙති. එමෙන් ම ශ්‍රී පාද රක්ෂිතය යනු ප්‍රධානත ම ජල පෝෂක ප්‍රදේශයකි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා කිහිපයක ම ආරම්භක ජල මූලාශ්‍ර ඇත්තේ එහි ය.
ශ්‍රීපාදස්ථානය වන්දනාමාන කිරීමට වාර්ෂිකව ලක්ෂ ගණනක වන්දනාකරුවන් ගමන් කරන්නේ රක්ෂිතය හරහා ය. දෙසැම්බර් මාසයේ උඳුවප් පොහොය දිනය සිට මැයි මස වෙසක් පොහොය දින දක්වා ඇති කාලවකවානුවේදී මෙලෙස ගමන් ගන්නා වන්දනාකරුවන් විසින් ගෙන යන කසළ තැන තැන විසි කර යාම වර්තමානය වන විට දැවැන්ත පාරිසරික ගැටළුවක් බවට පත් වී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Facebook|Sha Danthanarayana
වසරකට ටොන් ගණනක කසළ මෙලෙස වන්දනා කිරීමට පැමිණෙන පිරිස් විසින් ක්‍රමවත්ව බැහැර නොකර තැන තැන විසි කර දමා යන අතර, එහි මඟ දෙපස ගොඩගැසුණු කුණු ගොඩවල් ඉතා සුලභ දර්ශනයක් බවට පත් වී තිබේ. එලෙස විසි කර යන කුණු කඳු මුදුනේ සිට නැවත එකතු කර පහළට රැගෙන ඒම ද දුෂ්කර ක්‍රියාවක් බව කිවයුතු නොවේ.

ඡායාරූප මූලාශ්‍රය, Facebook|Sha Danthanarayana
සමාජ මාධ්‍යය කතා බහ
මෙලෙස කුණු දමා යාම සම්බන්ධයෙන් මෑත වසර කිහිපය තුළ සමාජ මාධ්‍යයේ විශාල කතා බහක් නිර්මාණය වූ නමුත් මෙම කසළ ගැටළුව තවමත් විසඳීමට නොහැකි ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ශ්‍රී පාදස්ථානය තරණය කිරීමට ප්‍රථමයෙන් සාම්ප්‍රදායික චාරිත්‍ර සිදු කරන "සීත ගඟුල", "ඉඳිකටුපාන" වැනි සුවිශේෂ ස්ථාන ආශ්‍රිතව දැවැන්ත කසළ ගොඩවල් සෑම වසරක ම පාහේ දැකගත හැකි අතර, මස්කෙළිය නගර සභාව විසින් වර්තමානය වන විට කසළ වර්ගීකරණය කර බැහැර කිරීමට කසළ බඳුන් තබා තිබුණත් වන්දන කිරීමට පැමිනෙණ පිරිස් එම මාර්ගෝපදේශ යටතේ කසළ බැහැර නොකරන බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් ඒ. රාජවීරන් බීබීසී සිංහල කළ විමසීමක දී ප්‍රකාශ කළේ ය.
මෙම දත්ත නිරීක්ෂණය කිරීමේ දී කොරෝනා හේතුවෙන් වන්දනා කිරීම සීමා කෙරුණු 2020 හා 2021 වසර හැරුණු විට අනෙක් වසරවල දැවැන්ත කසළ ප්‍රමාණයක් මස්කෙළිය ප්‍රාදේශිය සභාව විසින් එකතු කරනු ලැබ තිබේ. 2022, 2023 හා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා ද සැලකිය යුතු කසළ ප්‍රමාණයක් එකතු වී තිබේ. මෙහි වසරක ප්‍රමාණය සලකා ඇත්තේ පෙර වසරේ දෙසැම්බර් මසයේ සිට අදාළ වසරේ මැයි මාසය දක්වා ය.
“සීමා දැම්මාට වැඩක් නෑ මිනිස්සු ඒවා පිළිපදින්නේ නෑ”
බීබීසී සිංහල වෙත අදහස් දැක් වූ මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ ලේකම් එස්. රාජවීරන් පැවසුවේ දිරන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයක් මගින් කොම්පෝස්ට් නිෂ්පාදනයට යොදාගන්නා බව ය. නොදිරන අපද්‍රව්‍ය ද ප්‍රතිචක්‍රීයකරණය කටයුතු සිදු කරන අතර, හිස් ප්ලාස්ටික් බෝතල් මිලදී ගන්නා ආයතන වෙත ඒවා විකුණන බව ඔහු පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook|Travelsoul
"කාලෙන් කාලෙට විවිධ සීමා දැම්මාට වැඩක් නෑ මිනිස්සු ඒවා පිළිපදින්නේ නෑ. කසළ වර්ගීකරණය කරලා දාන්න අපි නම් ගහලා පාර දෙපැත්තේ කසළ බඳුන් තියලා තිබුණත් කවුරුත් ඒවා පිළිපදින්නේ නෑ.මේ වසරේ මැයි මාසයෙන් පසුව අවාරයේ දී ජල සම්පාදන ව්‍යාපෘතියක් කිරීමට නියමිත නිසා ලබන වසරේ සිට අපට ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් ගෙන යාම සීමා කරන්න පුළුවන් වේවි කියලා බලාපොරොත්තු වෙනවා," රාජවීරන් පැවසුවේ ය.
කඳු මුදුන හා අවට මාර්ගයේ කසළ එකතු කිරීම හැරුණු විට කාසල් රී, මා උස්සාකැලේ වැනි ජලාශවලට එක් වී ඇති ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍ය ද බෝට්ටුවලින් ගොස් එකතු කරන බව ද ඔහු පැවසුවේ ය. "ශ්‍රී පාදය ආසන්නයේ දී බස් වලින් වන්දනාවේ එන අය පාර අයිනේ කෑම උයාගෙන කාලා ඒ අපද්‍රව්‍යත් ඒ තැන්වලම දාලා යන එකත් වර්තමානයේ ලොකු ගැටළුවක් වෙලා තිබෙනවා. මේ කසළත් විශාල වශයෙන් අපට එකතු කරන්න සිදු වෙලා."
“වතුර පහරවල් දිගේ පුදුම කුණු ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා”
මෙම කසළ රක්ෂිතය හරහා වැටී ඇති මාර්ග කිහිපය ආසන්නයේ පමණක් නොව මුළු රක්ෂිතයටම ඇති ගැටළුවක් බව පාරිසරික උපදේශකයෙකු වන භාතිය ගොපල්ලව පෙන්වා දෙයි. ශ්‍රී පාද රක්ෂිතය ආශ්‍රිත ජෛව විවිධත්වය සම්බන්ධයෙන් පර්යේෂණ කිහිපයකට ම සහභාගී වී ඇති ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට ආවේණික ශාඛ හා සතුන් මෙන් ම වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ශාඛ හා සතුන් ද සැලකිය යුතු ප්‍රමාණයක් මෙම රක්ෂිතය නිවහන කරගෙන සිටින බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook|Travelsoul
"සාමාන්‍ය මිනිස්සු ලක්ෂ ගානක් වර්ෂයකට මේ රක්ෂිතය හරහා ගමන් කරනවා. වැඩිපුරම ගමන් කරන්නේ හැටන් මාර්ගයේ. එක් වරක් අපි මේ ශ්‍රීපාදයට යන ප්‍රධාන මාර්ග තුන දෙපැත්තෙ තියෙන ජෛව විවිධත්වය සම්බන්ධයෙන් පර්යේෂණයක් කළා. ජාතික උද්භිද සංගණනනයක් යටතේ. සංඛ්‍යා බැලුවාම, තියෙන ශාඛ වලින් 50% පමණ ඒක දේශීය ශාඛ වගේම බහුතරයක් ඖෂධීය පැලෑටි. මේ වගේ ශාඛවලට කසළ දැමීමෙන් බලපෑමක් තියෙනවා," ඔහු පැවසුවේ ය.
භාතිය පෙන්වා දෙන්නේ මෙම කසළ අක්‍රමත්ව බැහැර කිරීම මිනිසුන්ට ද බලපාන බව ය. "පොලිතින් විතරක් නෙවෙයි මිනිස්සු මළපහ පවා මේ විදිහට දාලා යනවා. ජල මූලාශ්‍රවල ඉන්න ජීවීන්ටත් මේකෙන් බලපෑමක් තියෙනවා. ඒ වගේ ම උඩින් ගලාගෙන එන වතුරම තමයි පහළ දි මිනිස්සු පරිභෝජනය කරන්නේ. අපද්‍රව්‍ය කලවම් වුණු ජලයෙන් නාන එක හෝ පරිභෝජනය කිරීම නිසා මිනිස්සුන්ටත් බලපෑමක් තියෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Ravisara Jayamanna
"මෑතක දී අපි 'නෙලු" කියන ශාඛ විශේෂයක් ගැන විස්තර කළා. 2018 දි මුල් අවස්ථාවේ නිරීක්ෂණය කරද්දි පැල සියයකට වැඩිය තිබුණා. 2020 දි නැවත බලන විට පඳුරු 10ක් විතර තමයි තිබුණේ. ඒවාට කසළ දාලා ඒවාත් විනාශ වුණොත් ඒ ශාඛය තුරන් වෙලාම යන්න පුළුවන්.සාමාන්‍ය පරිසරයක දි කුණු දැමුවාම තියෙන බලපෑම දෙගුණයක් තෙගුණයක් වෙලා තිබෙනවා ශ්‍රීපාදයේ දි."
"ශ්‍රී පාදයේ ඉහළම කොටස දැඩි ස්වභාවික රක්ෂිතයක්. හරිවිදිහට නම් මේ වගේ පාරක්වත් ඒක මැද්දෙන් තියෙන්න බෑ. පිදුරුතලාගල හෝ හග්ගල මේ විදිහට යන්න බෑ. නමුත් ශ්‍රීපාදය හරහා මිනිස්සු ලක්ෂ ගාණක් ගමන් කරනවා," ඔහු පෙන්වා දෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජල පෝෂක ප්‍රදේශෙවල කසළ දැමීමෙන් ජලයේ ගුණාත්මක භාවය පහළ යාම නිසා ජල පහරවල් වල ජීවත් වන කුඩා සතුන් හා උභය ජීවින්ට ද තර්ජනයක් ඇතිවන බව ඔහු පෙන්වා දෙයි.
"පුල්ලි මැඩියා වසර 150කට පමණ පසුව හමුවුණේ පළාබද්දළ පාර ආශ්‍රිතව. ඒ වගේ සතුන්ට අනිවාර්යයෙන් ම තර්ජනයක් ඇතිවිය හැකියි. හැටන් පාරේ තියෙන සීත ගඟුලේ එක් කොටසක් හරහා මම උඩට ගිහින් තියෙනවා. ඒ වතුර පහරවල් දිගේ පුදුම කුණු ප්‍රමාණයක් එකතු වෙලා තියෙනවා. ඒවා ප්‍රාදේශිය සභාවෙන්වත් සුද්ද කරන්නේ නෑ. එයාලා සුද්ද කරන්නේ ප්‍රධාන වශයෙන් ම මාර්ග දෙපස කුණු විතරයි." භාතිය පැවසුවේ ය.

ප්‍රාදේශීය සභාවට අමතර ව විවිධ සංවිධාන ද කසල එකතු කීරීමේ ව්‍යාපෘති කරන නමුත් ඒවා මඟින් පාලනය කළ නොහැකි මට්ටමේ කසළ ප්‍රමාණයක් සෑම වර්ෂකයම එකතු වේ. වන්දනා කරන මාස හය තුළ එකතුවන කසළ අනෙක් මාස හය තුළ පිරිසිදු කරන නමුත් නැවත නැවතත් කසළ එක් රැස්වීම වළක්වා ගැනීමට නම් ශ්‍රීපාදය තරණය කරන සියළු දෙනා වගකීම් සගත ව කසළ තැන තැන නොදමා ඒම මෙන් ම රජය විසින් ද එය පාලනයට යම් යම් සීමා පැනවීම සිදු කළ යුතු බව සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා තිබූ බොහෝ අයගේ අදහස විය.












