කසළ කළමනාකරණය ආරම්භ කළ යුත්තේ කොතැනින්ද?

කසල

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

කොළොන්නාව මීතොටමුල්ලේ කුණු කන්ද නාය යාමෙන් ජීවිත 32 ක් අහිමිවීමත් සමග කසළ බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් ජනතාවගේ අවධානය යොමු වී තිබේ.

මේ අතර මීතොටමුල්ල වෙනුවට තාවකාලික විකල්පයක් වශයෙන් කොළඹට නුදුරින් පිහිටි වෙනත් කසළ බැහැර කිරීමේ අංගන වෙත කුණු රැගෙන ඒමට එරෙහිව එම ප්‍රදේශවල ජනතාව දිගින් දිගටම විරෝධය පළ කරති.

එසේම ඇතැම් භූමි ප්‍රදේශ කසළ ගොඩ ගැසීම සඳහා යොදා ගැනීමට එරෙහිව පරිසරවේදීන් උද්ඝෝෂණයේ යෙදුණු අවස්ථා බොහෝය.

ශ්‍රී ලංකාවේ කසළ අර්බුදයට බලධාරීන් විසින් තිරසාර විසඳුමක් ලබා දිය යුතු බවට ප්‍රබල මතවාදයක් පවතින අතර ඒ සම්බන්ධයෙන් පුරවැසියන්ට ද වගකීමක් ඇති බව තවත් සමහරෙකුගේ අදහසය.

පුරවැසියාගේ 'වගකීම'

වීඩියෝ ශීර්ෂ වැකිය, කසල කළමනාකරණය කළ යුත්තේ කෙසේද?

කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥ ආචාර්ය සුජාතා ගමගේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ කසළ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් පුරවැසියන්ට ද වගකීමක් පැවරෙන බවය.

'ලර්න් ඒෂියා' ආයතනයේ ප්‍රතිපත්ති පිළිබඳ උපදේශිකා ආචාර්ය සුජාතා ගමගේ පෙන්වා දෙන පරිදි කසළ කළමනාකරණයේ "වැදගත්ම" මුල් අදියර ආරම්භ විය යුත්තේ නිවසෙනි.

ඉවතලන ආහාර නැතිනම් ජීව ද්‍රව්‍ය, කාඩ්බෝඩ්, පොලිතින්, වීදුරු වැනි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සෙසු ද්‍රව්‍යවලින් වෙන් කොට තැබිය යුතු බව ඇය අවධාරණය කරයි.

"කුස්සියේ ඉතුරු වෙන මස්මාළු, උයපු සහ උයපු නැති මේ ඔක්කොම වෙන් කර ගත යුතුයි. එසේ වෙන් කර ගත් දිරා පත්වන ද්‍රව්‍ය නිවසේදීම නඩත්තු කර ගත හැකි තාක්ෂණය අදවන විට තිබෙනවා. මීට අවුරුදු දහයකට කලින් තිබුණේ නැහැ," යනුවෙන් ඇය සඳහන් කළාය.

කසල 'අහිංසකයි'

"කසළවල තිබෙන ලොකුම ප්‍රශ්නය මේ ජීව ද්‍රව්‍ය. ජීව ද්‍රව්‍ය අයින් කරපු ගමන් කසළ බොහොම අහිංසක දෙයක් බවට පත් වෙනවා. ජීව ද්‍රව්‍ය තිබෙන කොට තමයි කසළවලින් අහිතකර දියර ගලන්නේ. අනෙක් පැත්තෙන් වායු හැදෙනවා."

වීඩියෝ ශීර්ෂ වැකිය, නිවස තුළම කසල ප්‍රතිචක්‍රීකරණය කර ගන්නා ගෘහනියක්

ජීව ද්‍රව්‍ය කසළ ධාරාවෙන් ඉවත් කර තැබිය හැකි නම් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි සෙසු අපද්‍රව්‍ය අවසන් බැහැරුමකට මුදා හැරීමේදී ප්‍රදේශවාසීන්ට ඊට එරෙහිව උද්ඝෝෂණය කිරීමේ අවශ්‍යතාවක් ඇති නොවන බවත් ඇය පෙන්වා දෙන්නීය.

"මොකද එවැනි ද්‍රව්‍යවලින් ජරාව ගලා යන්නේ නැහැ. ගිහිල්ලා භූගත ජලයට එකතු වෙන්නේ නැහැ. වායුගෝලයට විෂ වායු එකතු වෙන්නේ නැහැ. ගඳ ගහන්නේ නැහැ." (සාකච්ඡාව ඇතුළත් බීබීසී සංදේශයට සවන්දෙන්න)

කෙසේ නමුත් කසළ ගොඩ නොකොට සියයට සියයක් ප්‍රතිචක්‍රීකරණය කළ යුතු බවට පවතින තර්කය කසළ කළමනාකරණයේ පිළිගත් ක්‍රමවේදවලට සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ඇය පෙන්වා දෙයි.

ස්වීඩනයෙන් උදාහරණ

කසල

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කරදියාන කසළ අංගනය

අන්තර්ජාතික පිළිගැනීමට අනුව ද කසළ කළමනාකරණය සඳහා අවසන් බැහැරුමක් අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ආචාර්යවරිය, කසළ සියයට සියයක් ප්‍රතිචක්‍රීකරණය කළ යුතු බවට පරිසරවේදීන් සහ "විපක්ෂයේ ඉන්න විට ඕනෑම දෙයකට විරුද්ධ වන අය" නගන තර්කය ප්‍රයෝගික නොවන බවත් සඳහන් කරයි.

"උදාහරණයක් වශයෙන් ස්වීඩනයේ අවසන් බැහැරුමට යන්නේ සියයට එකයි. නමුත් මීට අවරුදු දහයකට කලින් සියයට තිහක් අවසන් බැහැරුමට යැව්වා. ඒ නිසා ප්‍රතිචක්‍රීකරණය සහ කසළ ගොඩ කිරීම එකට යා යුතුයි."

line
line

"මුලින් සියයට සියයක් කසළ ගොඩ කරා නම්, අවුරුදු දහයකින් ඒක සියයට පනහට අඩු කෙරෙන ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. තව අවුරුදු පහළොවකින් සියයට තිහට අඩි කෙරෙන ප්‍රතිපත්තියක්. එවැනි සැලැස්මක් තමයි අනෙක් රටවලත් තියෙන්නේ" යනුවෙන් කසළ කළමනාකරණය පිළිබඳ විශේෂඥ ආචාර්ය සුජාතා ගමගේ වැඩිදුරටත් කියා සිටියාය.