වාහන අංක තහඩු නිකුත් කිරීම අත්හිටුවීමට හේතුව කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA/AFP via Getty Images
- Author, තාරක සම්මාන්
- Role, බීබීසී සිංහල
අලුත් ලියාපදිංචි කරනු ලබන මෝටර් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම අත්හිටුවීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නව වාහන මිලට ගත් පාර්ශව වෙතින් චෝදනා එල්ල වෙමින් තිබේ.
එලෙස අංක තහඩු නිකුත් නොකරන බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් වාහන හිමියෙකු වෙත නිකුත් කරන ලද ලිපියක් ද මේ වන විට සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතී.
එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් එස්.වී. වෙත්තසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියේ දැක්වෙන්නේ, මෝටර් වාහනයක් නව ලියාපදිංචි කිරීමේදී අංක තහඩු නිකුත් කිරීම අත්‍යවශ්‍ය වුව ද අංක තහඩුවල හිඟතාවක් හේතුවෙන් නව ලියාපදිංචි කරන ලද මෝටර් වාහන සඳහා අංක තහඩු නිකුක් කිරීම 2025 අප්‍රේල් 28 වන දා සිට අත්හිටුවා ඇති බව ය.
ඒ හේතුවෙන්, වාහන සඳහා අංක තහඩු සහ ස්ටිකරය දැනට නිකුත් නොකරන බව ත් හැකි විගස ලබා දීමට කටයුතු කරන බව ත් එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මෙම ගැටලුවට මැදිව ඇත්තේ, ලියාපදිංචි නොකළ වාහන මිලට ගත් පුද්ගලයින් පමණක් නොවේ. භාවිත කරන ලද වාහන මිලට ගෙන ලියාපදිංචි පළාත වෙනස් වන පුද්ගලයින්ට ද නව අංක තහඩු ලැබී නොමැත.
ඒ අනුව, බීබීසී සිංහල මෙම ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීමක් කළේ ය.
'රජයක් වුණා ම ඉවර වෙන වෙලාවල් දැනගන්න ඕනේ, නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ'

කසුන් සමරසිංහ යනු, වාහන ආනයනය සීමා ලිහිල් කිරීමත් සමග නව වාහනයක් මිලට ගත් අයෙකි.
අංක තහඩු අර්බුදයට තමන් "වාසනාවකට මෙන්" මැදි නොවුණ ද ඊට ගොදුරු වූ තම මිතුරාගේ අත්දැකීම ඔහු බීබීසී සිංහල සමග බෙදා ගත්තේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"මට නම්බර් ප්ලේට් එක හම්බුණා. මොකද මම ඔය ටෙන්ඩර් ප්‍රශ්නයට කලින් ගත්තේ. හැබැයි මගේ යාළුවෙක් ගත්තා එයාට හම්බ වුණේ නැහැ. එයාලා එතකොට වාචිකව කිව්වේ, ටෙන්ඩර් එක ඉවරයි කියලා. හැබැයි ලියුමක් දුන්නා නම්බර් ප්ලේට් එක ආවා ම දෙන්නම් කියලා. හැබැයි හරි කාලයක් එහෙම කිව්වේ නැහැ," ඔහු පැවසීය.
අංක තහඩු නිකුත් නොකිරීමට හේතුව ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් "වාචිකව" පවසා තිබුණේ "ටෙන්ඩරයක්" සම්බන්ධ ගැටලුවකි.
දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද එම ලිපිය නිරීක්ෂණය කිරීමට අපට හැකි විය. එම ලිපිය ද එහි නියෝජ්‍ය කොමසාරිස් එස්.වී. වෙත්තසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.
අංක තහඩු හිඟයක් පවතින බවට එම නිලධාරිනිය එහි සඳහන් කර තිබුණ ද ඊට නිශ්චිත හේතුවක් සඳහන් කර නොමැති බව එහිදී පැහැදිලි විය.
කසුන් තමන් සහ තම මිතුරා ලද අත්දැකීම පිළිබඳව වැඩිදුරටත් මෙසේ පැවසීය.
"රජයක් වුණා ම ටෙන්ඩර් එක යන එන වෙලාවල්, ඉවර වෙන වෙලාවල් දැනගන්න ඕනේ, නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. හරියට කලකිරෙනවා. කිසි ම තේරුමක් නැහැ. එතන ඉන්න නිලධාරීන් එක්කෙනෙක්වත් දන්නේ නැහැ, මොකක් ද වෙන්නේ කියලා," ඔහු පැහැදිලි කළේ ය.
'දිනයක් හරියට ම කියන්න බැහැ. අපි ඉක්මනින් දෙන්න කටයුතු කරගෙන යනවා' - මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්
අංක තහඩු නිකුත් කිරීම සම්බන්ධයෙන් උද්ගතව ගැටලුව පිළිබඳව බීබීසී සිංහල මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහගෙන් විමසීමක් කළේ ය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, අප්‍රේල් මස 30 වන දා සිට නතර කර ඇති බව ය.
අංක තහඩු මුද්‍රණය කිරීමට අදාළ ටෙන්ඩර් ගිවිසුම අවසන් වීම ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ ය.
"අංක තහඩු නිකුත් කිරීම 4/30 ඉඳලා නතර කරලා තියෙනවා. ඒ ගිවිසුම අවසන් වෙලා තියෙනවා. අපි අලුත් ගිවිසුමකට යනවා. ඒක මාස දෙකක් ඇතුළත, දිනයක් හරියට ම කියන්න බැහැ. අපි ඉක්මනින් දෙන්න කටයුතු කරගෙන යනවා," කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
අංක තහඩු ප්‍රදර්ශනය කිරීමකින් තොරව ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල මෝටර් වාහන ධාවනය නීති විරෝධී බැවින් අංක තහඩු නිකුත් නොකෙරෙන වාහන සඳහා ගෙන ඇති පියවර පිළිබඳව ද බීබීසී සිංහල ඔහුගෙන් විමසීය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, වාහනය අදාළ අංකය නිකුත් කරන බැවින් මෝටර් රථ හිමියාට අංක තහඩු සකස් කර එය වාහනයේ ප්‍රදර්ශනය කිරීමට අවසර ලබා දෙන බව ය.
"අංක තහඩුවක් හදාගෙන දුවන්න අවසර ලබා දීලා තියෙනවා. ලියවිල්ලක් නිකුත් කරනවා, ඒ අයගේ ආරක්ෂාවට. පොලිස්පතිතුමා, දිසාපතිතුමා සහ ප්‍රධාන ලේකම්වරුන් දැනුවත් කරලා තියෙනවා ප්‍රාදේශීයව," ඔහු පැහැදිලි කළේ ය.
ගිවිසුම අවසන් වනතුරු ටෙන්ඩර් කැඳවීමට පියවර නොගත්තේ ඇයි දැයි බීබීසීය කොමසාරිස් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කළේ ය.
ඊට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ; "නෑ... නෑ... නෑ... ප්‍රොකියුමන්ට් එකේ ප්‍රමාදයක් තමයි තියෙන්නේ. ඒක දැන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. පහුගිය කාලයේ තිබ්බ... ඒ කියන්නේ ටික කාලයක් යනවා මේ ප්‍රොකියුමන්ට් එකකට. ඒක නිසා තමයි කාලය ගිහින් තියෙන්නේ," ඔහු පැවසීය.
මේ වන විට සමාගම් කිහිපයක් මිල ගණන් ඉදිරිපත් කර ඇති බව ත් ඒවා තෝරාගෙන තාක්ෂණික ඇගයීම් සිදු කර ඇති බව ත් කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
"ඊට පස්සේ සාම්පල් ටෙස්ට් කරලා ඒක පිරිනමනවා කරනවා සමාගමට," ඔහු සඳහන් කළේ ය.
"හැකි ඉක්මනින් ම අපි බලාපොරොත්තු වෙන්නේ දෙන්න. ප්‍රසම්පාදන පටිපාටියේ දින ගණනාවක් තියෙනවා නේ. ඒ දින ගණන ඇතුළත ඒක ඉවර කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ," ඔහු වැඩිදුරටත් පැවසීය.
අංක තහඩු නැතිව ගිහින් දඩ ලියයි ද?

උද්ගතව ඇති තත්ත්වය හමුවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල අංක තහඩු නොමැතිව මහමග ගමන් කිරීම දඬුම් ලැබීමකට හේතුවක් වන්නේ ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල ශ්‍රී ලංකා පොලිසියෙන් විමසා බැලීය.
එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෙම ගැටලුව පිළිබඳව පොලිසිය දැනුවත් කරනු ලැබ ඇති බව ය.
"RMV එකෙන් වාහන සඳහා අංක තහඩු නිකුත් කරන්නේ නැහැ කියන එක අපිට දැනුම් දීලා තියෙනවා. අංක තහඩු නිකුත් කරන්නේ නැත්නම්, අංක තහඩු නැහැ කියලා ඒ වාහන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. අපි එහෙම ක්‍රියාත්මක කරන්නේ නැහැ," ඔහු පැහැදිලි කළේ ය.
කෙසේ වෙතත්, වාහනයේ ලියාපදිංචි අංකය නිකුත් කරන බැවින් එය අදාළ වාහන හිමියා විසින් ප්‍රදර්ශනය කරනු ලැබිය යුතු බව ඔහු අවධාරණය කළේ ය.
"හැබැයි, නම්බර් ප්ලේට් එක නොතිබ්බට වාහනයට අදාළ අංකය නිකුත් කරනවා. ඒ නිසා අංකය ප්‍රදර්ශනය කිරීම කළ යුතුයි," පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
අපරාධ සඳහා වාහන භාවිත වන බැවින් මහජන ආරක්ෂාවට ගැටලුවක් නොමැති ද?
මේ දිනවල වාර්තා වන වෙඩි තැබීම් වැනි අපරාධ ක්‍රියාවලදී මෝටර් වාහන යොදා ගන්නා බැවින් අංක තහඩු නොමැති මෝටර් වාහන මහමග ගමන් කිරීම හෝ නිල නොවන ලෙස ලියාපදිංචි අංකය ප්‍රදර්ශනය කිරීම මහජන ආරක්ෂාවට තර්ජනයක් නොවන්නේ ද යන්න පිළිබඳව ද බීබීසී සිංහල පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ප්‍රශ්න කළේ ය.
ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, එවැනි ගැටලුවක් පවතින බව ය.
"පැහැදිලිව ම අලුත් වාහන සඳහා විතරයි මේ තත්ත්වය තියෙන්නේ. පරණ වාහන සඳහා දැනටමත් නම්බර්ස් නිකුත් කරලා තියෙන්නේ. අලුතින් එන අන් රෙජිස්ටර්ඩ් වාහනවලට තමයි මේ ගැටලුව තියෙන්නේ. ඔය කියන ප්‍රශ්නය තියෙනවා. මොකද අලුත් ම වාහනයක් අරගෙන මේ විධියට ගියොත් නම්බර් ප්ලේට් එක නැති එකේ ගැටලුවක් තියෙනවා," ඔහු පැවසීය.
කෙසේ වෙතත්, එවැනි අනාරක්ෂිත තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීමට මෙම ගැටලුව විසඳන තුරු "පරීක්ෂා කිරීම් ඉහළ දමා" ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.













