ආසන්න වසර 5ක දත්ත විශ්ලේෂණයක්: 'ශ්‍රී ලංකාවේ සෑම පැය 4කට ම වරක් රිය අනතුරු හේතුවෙන් මරණයක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
පසුගිය මැයි 11 වන දා අලුයම රම්බොඩ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී සිදුවූ මාරක රිය අනතුරෙන් එම බස් රථයේ ගමන්ගත් මගීන් 21 ක් සහ බස් රථයේ රියැදුරුට දිවි අහිමි විය.
මෙම වසර තුළ මෙවැනි බස් රථ අනතුරු කිහිපයක් ම වාර්තා වූ අතර, බස් රථ අනතුරු හැරුණු විට වෙනත් මාරක රිය අනතුරු රාශියක් ද වාර්තා විය.
පසුගිය වසර පහ තුළ සිදුව ඇති රිය අනතුරු පිළිබඳ නිරීක්ෂණය කළ විට සෑම පැය 4කට වරක් ම ආසන්න වශයෙන් මාරක රිය අනතුරක් හේතුවෙන් ජීවිතයක් අහිමි වේ.
ශ්‍රී ලංකා පොලීසිය විසින් පසුගිය වසර කිහිපයේ සිදුව ඇති රිය අනතුරු සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවක ඇති දත්ත විශ්ලේෂණයේදී ඉහත කරුණ අනාවරණය වන අතර, එම දත්තවලට අනුව දිනකට රිය අනතුරු 64ක් පමණ සිදුවේ.

පසුගිය වසරේ අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ලියාපදිංචි වී තිබෙන්නේ යතුරුපැදි ය.
රිය අනතුරු පිළිබඳ දත්ත විමසා බැලීමේදී වසරකට සිදුවන රිය අනතුරුවලින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි අනතුරු වන අතර, සිදුවන මරණ සංඛ්‍යාවෙන් ද වැඩි අගයක් ගන්නේ එම අනතුරුවලින් මිය ගිය යතුරුපැදිකරුවන් සහ පසුපදිකරුවන් ය.
ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව ප්‍රවාහන මාධ්‍ය ලෙස යොදාගනු ලබන්නේ බස් රථයි.
බස් රථ අනතුරු ද සැලකිය යුතු ප්‍රමාණයක් වසරකට සිදුවන අතර, ආසන්න වසර 3 තුළ එවැනි බස් රථ අනතුරු 2,000 ඉක්මවා වාර්තා වී තිබේ.
පසුගිය 2024 වසරේ මුල සිට නොවැම්බර් 30 දක්වා කල පරිච්ඡේදය තුළ බස් රථ සම්බන්ධ අනතුරු 2,029ක් සිදුවී ඇති අතර, ඒවායින් 222ක් මාරක රිය අනතුරු විය.
එලෙස 2024 වසරේ නොවැම්බර් 30 දක්වා සිදුව ඇති අනතුරුවලින් 1,510කට පුද්ගලික බස් රථ වගකිවයුතු අතර, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 519ක් ද එම කාලවකවානුවේ සිදුවූ බස් රථ අනතුරුවලට වගකිවයුතු වේ.
2020, 2021 වසරවල ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ අනතුරට පත් වී ඇති ප්‍රමාණය අඩු අගයක් ගත්ත ද එය මේ වන විට ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගොස් තිබේ.
පුද්ගලික බස් රථ අනතුරට පත්වීම ද සිදුව ඇත්තේ ද ඒ ආකාරයෙන් ය.
ශ්‍රී ලංකා පොලීසිය විසින් නිකුත් කර ඇති වාර්තාවේ දැක්වෙන ආකාරයට බස් රථ සම්බන්ධ වැරදි හේතුවෙන් පවරා ඇති නඩු සංඛ්‍යාව ද ආසන්න වසරවල ඉහළ ගොස් තිබේ.
ඒවායින් බහුතරයක් නඩු කටයුතුවලට හේතු වී ඇති වැරැද්ද වන්නේ මාර්ග නීති උල්ලංඝණය වේ.
අපරික්ෂාකාරී රිය ධාවනය සහ අධික වේගය ද බස් රථවලට නඩු පවරා ඇති තවත් ප්‍රධාන වැරදි ය.
මෙම වසරේදී බස් රථවල අලංකරණය සඳහා සවිකර ඇති විවිධ කොටස් ගැලවීමේ මෙහෙයුමක් ද ශ්‍රී ලංකා පොලීසිය විසින් දියත් කළ අතර, බොහෝ බස් රථවල සුදු යකඩ කොටස් ගැලවීමට, ස්ටිකර් ගැලවීමට පොලීසිය ක්‍රියා කළේ ය.
එමෙන් ම අධික වේගයෙන් ගමන් ගන්නා වාහන හඳුනාගැනීමට නව උපකරණයක් ද මෑතකදී ශ්‍රී ලංකා පොලීසිය විසින් භාවිතයට ගැනීම ආරම්භ කෙරිණි.
කෙසේ වෙතත් ආසන්න දින කිහිපය තුළ පමණක් බස් රථ අනතුරට පත්වීම් 3ක් වාර්තා විය.
රම්බොඩ බස් රථ අනතුරට පෙර දින රාත්‍රියේද බස් රථයක් අනතුරට පත්ව තිබූ අතර, ඊයේ දිනයේ එනම් මැයි 13 වන දින ද බස් රථයක් අනතුරට පත් වී පිරිසක් තුවාල ලබා රෝහල් ගත කෙරිණි.














