ශ්‍රී ලංකාවේ 'Taxi සේවා රියැදුරන්ගෙන් මගීන්ට වන හිංසන' නැවැත්වීමට නියාමනයක් අවශ්‍ය ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කුලී මගී රථ සේවා ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් භාවිත කෙරෙන ජංගම දුරකතන යෙදුම් දෙකක් භාවිත කිරීමේදී තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පාරිභෝගිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ තබා ඇති සටහන් නිරන්තරනයෙන් දක්නට ලැබේ.
ඇතැම් පිරිස් චෝදනා කරන්නේ, සේවා ලබා ගැනීමේදී තමන්ට මුහුණ දීමට සිදුවන ගැටලු පිළිබඳව අදාළ සමාගම් වෙත පැමිණිලි කළ ද ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෑහීමට පත්විය නොහැකි බව ය.
'මට අසභ්‍ය වචනයෙන් බැන්නා'
බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ 28 හැවිරිදි තරුණියක වන නිමේෂා (ඇයගේ සත්‍ය නම නොවේ) පැවසුවේ, එක් අවස්ථාවකදී ජංගම දුරකතන යෙදුම හරහා යොමුවූ ත්‍රිරෝද රථ රියැදුරෙකු තමන්ට පරුෂ වචනයෙන් බැන වැදුණු බව ය.
'මම ඇප් එකෙන් කොළඹ ජාතික රෝහලේ ඉඳලා ගෙදරට යන්න ත්‍රීවිල් එකක් බුක් කළා. ටික වෙලාවකට පස්සේ මට කෝල් එකක් ආවා හයර් එකට එන ත්‍රීවිල් එකේ ඩ්‍රයිවර්ගෙන්.''
''ඒ වෙලාවේ මම කතා කළා ම හයර් එකට එන ත්‍රීවිල් එකේ කෙනා හිටිය හරියේ ලොකු ශබ්දයක් තිබුණ නිසා මම කියන දේ එයාට ඇහෙන්නේ නැහැ කිව්වා. මම කිහිප පාරක් ම කතා කළා. පස්සේ එයා ෆෝන් එක කට් කරද්දී මට කුණු හරුපයකුත් කියලා තිබ්බේ.''
''ඒ කිව්ව දේ මගේ ෆෝන් එකේ රේකොඩින් තිබ්බ නිසා රෙකෝඩ් වුණා. මම ඒ ත්‍රිවිල් එක කැන්සල් කළා. පස්සේ මම පික්මී ආයතනයට කෝල් කරලා ඒ ගැන කම්ප්ලේන් කළා. නමුත් ඒ පැමිණිල්ලට මොක ද වුණේ කියලා තව ම මාව දැනුවත් කළේ නැහැ,' ඇය පැවසුවා ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 1
කාඩ් පේමන්ට් නිසා උරණ වූ කුලී රථ රියැදුරන්
මේ අතර, තවත් පාරිභෝගිකයින් කිහිප දෙනෙකු ම X සමාජ මාධ්‍ය වේදිකාව ඔස්සේ සටහන් තබමින් සඳහන් කර තිබුණේ, තනිව ම ගමන් කරන කාන්තාවන්ට ඇතැම් විට කුලී ගමන් රථ රියැදුරන්ගෙන් වාචිකව එල්ල වන ප්‍රකාශවලින් මෙන් ම කෙටි පණිවිඩ හරහා ද හිංසන සිදුවන බව ය.
එක් කාන්තාවක සිය සටහනෙන් පෙන්වා දී තිබුණේ, ඇතැම් අවස්ථාවලදී කුලී ගමන් සේවා සඳහා කාඩ් පත් හරහා ගෙවීම් කරන විට කුලී රථ රියැදුරන්ගෙන් වැඩි වශයෙන් බලපෑම් එල්ල වන බව ය. බොහෝ විට අවසානයේදී කුලී රථය වෙනස් කිරීමට හෝ එම සේවාව අවලංගු කිරීමට කටයුතු කළ විට එම රියැදුරාට යම් මුදලක් බැර වන බවත් පාරිභෝගිකයින්ට සිදුවන තවත් එක් අසාධාරණයක් ලෙස ඇය මෙය පෙන්වා දී තිබුණා ය.
'අසභ්‍ය කෙටි පණිවුඩ එව්වා'
මේ අතර, තවත් පුද්ගලයෙකු සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් පවසා ඇත්තේ, තම බිරිඳට කුලී රථ සේවා රියැදුරෙකු විසින් අසභ්‍ය කෙටි පණිවිඩ යොමු කරනු ලැබූ බව ය.
ඒ සම්බන්ධයෙන් තම බිරිඳ අදාළ දුරකතන සමාගම වෙත පැමිණිලි කිරීමට ද කටයුතු කර තිබූ බව එම පුද්ගලයා වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post, 2
'ලිඛිතව පැමිණිලි කරන්න පුළුවන්'
දුරකතන යෙදුම් ඔස්සේ ක්‍රියාත්මක කුලී ගමන් රථ සේවා සම්බන්ධයෙන් අගතියට පත්වන සේවාදායකයින්ට ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවා දැයි බීබීසී සිංහල සේවය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් විමසීමක් කළේ ය.
එම අධිකාරියේ අධ්‍යක්ෂ, පාරිභෝගික කටයුතු සහ තොරතුරු ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ.කේ. බණ්ඩාර කියා සිටියේ, යම් පාරිභෝගිකයෙකුට ගාස්තු පිළිබඳව ඇති වන ගැටලු සම්බන්ධයෙන් සිය අධිකාරියට ලිඛිතව පැමිණිලි කිරීමේ හැකියාව පවතින බව ය.
''දුරකතන යෙදුම් හරහා සිදුකරන කුලී ගමන් සේවාවලදී වැඩිපුර ගාස්තු අය කිරීම වැනි සිදුවීම් ගැන පාරිභෝගිකයින්ට යම් පැමිණිල්ලක් තියෙනවා නම් ඒ ගැන පාරිභෝගික සේවා අධිකාරීයට ලිඛිතව පැමිණිලි කරන්න පුළුවන්.''
''මේ කුලී ගමන් රථ සේවා සපයන ආයතනවල ඇප්ස්වල ම තියෙනවා පාරිභෝගිකයින්ට අදාළ සමාගමට පැමිණිලි කරන්න පුළුවන්. සමහර පාරිභෝගිකයින් ඒ ගැන දැනුවත් වී නැහැයි කියලා හිතෙනවා. ඒ වගේ ම යම් විදිහකින් පාරිභෝගිකයෙක්ට සිදුවන වාචිකව මෙන් ම වෙනත් ආකාරයක ගැටලු සම්බන්ධයෙන් පොලිසියට ඍජුව ම පැමිණිලි කරන්නත් හැකියාව තියෙනවා," ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.

ඡායාරූප මූලාශ්‍රය, X
මේ අතර, ඇතැම් පාරිභෝගිකයින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළකරමින් පවසා ඇත්තේ, ජංගම දුරකතන යෙදුම් ඔස්සේ සේවා සපයන මෙවැනි ආයතන නියාමනය කිරීමට රජය කඩිනම් පියවර ගත යුතු බව ය.
ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය එම්.එම්. ප්‍රසන්න කුමාර කියා සිටියේ කුලී රථ සේවා නියාමනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව ය.
ඒ සම්බන්ධයෙන් රජය මේ වන විට සොයා බැලීම් කරමින් සිටින බවත්, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සමග එක්ව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
කුලී ගමන් රථ සේවා සපයන ආයතන වලින් ලද ප්‍රතිචාරය
ශ්‍රී ලංකාවේ කුලී ගමන් රථ සේවා සපයන ප්‍රධාන ආයතන දෙකකින් මෙම ගැටලු සම්බන්ධයෙන් ප්‍රතිචාර ලබා ගැනීමට බීබීසී සිංහල සේවය උත්සහ දැරීය.
ඒ අනුව, පාරිභෝගිකයින්ගෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය විද්‍යුත් තැපෑල ඔස්සේ PickMe ආයතනයට ප්‍රශ්න කිහිපයක් යොමු කළේ ය.
එහිදී,
1. එවැනි සිදුවීම් වාර්තා කිරීම සඳහා ගනුදෙනුකරුවන්ට ලබා දී ඇති පහසුකම් මොනවා ද?
2. මෙම සිදුවීම් වාර්තා වූ විට ඔබේ සමාගම ගන්නා ක්‍රියාමාර්ග මොනවා ද?
3. එවැනි පැමිණිලි විසඳීම සඳහා සාමාන්‍යයෙන් ප්‍රතිචාර දැක්වීමට ගන්නා කාලය කොපමණ ද?
4. මෙවැනි පැමිණිලි ලැබෙන රියැදුරන් සම්බන්ධයෙන් ඔබේ සමාගම ගන්නා ක්‍රියාමාර්ග මොනවා ද?
5. මෙවැනි ගැටලු සම්බන්ධයෙන් දිනපතා පැමිණිලි කීයක් ලැබෙනවා ද?
6. පාරිභෝගික පැමිණිලි ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම සඳහා PickMe ආයතනය විසින් හඳුන්වා දීමට සැලසුම් කර ඇති නව විශේෂාංග තිබේ ද?
මේ අතර, Uber ආයතනය සම්බන්ධ කර ගැනීම සඳහා එම ආයතනය ප්‍රසිද්ධ කර ඇති දුරකතන අංක ඔස්සේ ඇමතීමට බීබීසී සිංහල දැරූ උත්සාහය ආසාර්ථක විය.
PickMe ආයතනය ලිඛිතව දැක්වූ ප්‍රතිචාරය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
කුලී රථ රියැදුරන් සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය යොමු කළ ප්‍රශ්න වලට PikcMe ආයතනය විසින් ඉකුත් මාර්තු 04 වැනිදා ලිඛිතව කරුණු දැක්වීමක් සිදුකරමින් විද්‍යුත් පණිවිඩයක් එවා තිබේ.
එම සේවය භාවිත කරන මගීන්ට පහසුකම් සපයන ආකාරය, මගීන් පැමිණිලි ඉදිරිපත් කරන අවස්ථාවල කටයුතු කරන ආකාරය සහ වැරදි හැසිරීම් හෝ සේවා අඩුපාඩු පිළිබඳ සිදුවීම් විසඳීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් PikcMe ආයතනය යොමු කර ඇති පිළිතුරු ලිපියේ කරුණු සඳහන් වේ.
Pickme යෙදුම භාවිත කරන මගීන්ට යම් ගැටලුවකට මුහුණ දීමට සිදුවී ඇත්නම් එම යෙදුම ඔස්සේ ලබාදී ඇති දුරකථන අංකය ඔස්සේ සවිස්තරාත්මක පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි බවත් ඒ සම්බන්ධයෙන් තම සේවා කණ්ඩායම ගැටලුව විමර්ශනය කිරීමට කටයුතු කරන බවත් ඔවුන් එම ලිපියෙන් දැනුම් දී තිබේ.
පාරිභෝගිකයින් යෙදුම හරහා හෝ දුරකථනයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ පසු ඒ සම්බන්ධයෙන් එම ආයතනයේ ව්‍යුහගත විමර්ශන ක්‍රියාවලියක් සිදුකරන බව එම ලිපියේ දැක්වේ.
එහිදී දත්ත මත පදනම් වූ විශ්ලේෂණයක් සිදුකරන අතර තොරතුරු ඉක්මනින් සමාලෝචනය කිරීමට පියවර ගන්නා බව ද එම ලිපියේ සඳහන් කර තිබේ.
පැමිණිල්ල රියදුරුගේ හැසිරීමට පමණක් අදාළ නම් (උදාහරණයක් ලෙස, රළු හැසිරීම හෝ වෘත්තීය නොවන බව), ගැටලුව පාරිභෝගික සහාය කණ්ඩායම සහ මෙහෙයුම් ශාඛා වෙත යොමු කොට ඊට අදාළ සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බව PickMe ආයතනය දැනුම් දී ඇත.
එමෙන්ම පාරිභෝගිකයින්ගේ අස්ථානගත වූ භාණ්ඩ පිළිබඳව ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් ද PickMe ආයතනය කරුණු සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව දැනුම් දී සිටියි.
පැමිණිල්ල මගින් යම් අපරාධකාරී හැසිරීමක් හෝ නීතිමය මැදිහත්වීමක් අවශ්‍ය බව පැවසෙන අවස්ථාවන්හිදී (උදාහරණයක් ලෙස, බරපතල ආරවුලක් හෝ අභ්‍යන්තරව විසඳිය නොහැකි නැතිවූ අයිතමයක් සඳහා), PickMe සමාගම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බව එහි දැක්වේ.
පැමිණිල්ලකට පොලිසියේ මැදිහත්වීමක් අවශ්‍ය වූ විට, සම්පූර්ණ විමර්ශනයක් සඳහා පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය සියලු දත්ත සහ ගනුදෙනුවේ විස්තර ලබා දීමට එම ආයතනය කටයුතු කරන බව ද එම ලිපියෙන් දැනුම් දී තිබේ.














