නව මෘදුකාංගය නිසා දකුණු කොරියාවේ සෝල් අගනුවර ටැක්සි පදවන ශ්‍රවණාබාධිත රියදුරෝ

ඡායාරූප මූලාශ්‍රය, AFP
දකුණු කොරියාවේ සෝල් අගනුවර ප්‍රථම වරට ශ්‍රවණාබාධිත ටැක්සි රියදුරන් මාර්ගයට පිවිස ඇති බව දක්නට හැකිය.
කන් ඇසීම දුර්වල පුද්ගලයන්ට උපකාර කිරීම සඳහා හඳුන්වාදෙන ලද මෘදුකාංගයකට ස්තුතිවන්නට මේ තත්ත්වය උදාවී ඇතැයි වාර්තා වේ.
කොරියානු ටයිම්ස් පුවත් වෙබ් අඩවියට අනුව, ශ්‍රවණ අබාධ සහිත රියදුරන් දෙදෙනෙක් නගරයේ මගී ප්‍රවාහනයට මෙම සතිය තුළ දී එක්වී තිබේ. අළුතින් ආරම්භ කරන ලද ආයතනකින් වැඩිදියුණු කළ මෘදුකාංගයක් ඔවුන්ට මෙම රැකියාවේ නිරත වීමට උපකාරීවී ඇත.
එය ක්‍රියාත්මකවන ආකාරය පැහැදිළි කරන Yonhap පුවත් සේවය, මෝටර් රථය පසුපස අසුන ඉදිරියේ සහ රියදුරු අසුනට ආසන්නයේ ටැබ්ලට් උපකරණ දෙකක් ස්ථාපනය කර ඇති බවත්, ඒවා "Goyohan Taxi" හෝ "Silent Taxi" සමාගම්වල යෙදවුම් (apps) හා සම්බන්ධවී ඇති බවත් පවසයි.
මෙම ඇප් මගින් පුද්ගලයෙකුගේ වචන, අකුරු ලෙස තීරය මතට ලබාදෙන අතරම, මගියාට තමන් යායුතු ස්ථානය සහ නැවැත්විය යුතු ස්ථානය නිවැරදිව කීමටත්, මුදල් ගෙවීමේ ක්‍රමය තමන්ට රිසි පරිදි කිරීමටත් පහසුකම් සපයයි.

ඡායාරූප මූලාශ්‍රය, GOYOHAN TAXI
මෙම මෘදුකාංගය වැඩිදියුණු කරන ලද්දේ පරිගණක ඉංජිනේරු උපාධි ලාභියෙක්වූ සෝන්ග් මින්-පිඕ (Song Min-pyo) ගේ මෙහෙයුම යටතේ ශිෂ්‍යයන් කණ්ඩායමක් විසිනි.
මෙම මෘදුකාංගය දකුණු කොරියාවේ වාසය කරන ශ්‍රවණාබාධිත රියදුරන්ට එල්ලවෙන ගැරහුම් නැති කිරීමට උපකාර වනු ඇතැයි ප්‍රධාන විධායක නිලධාරී සෝන්ග් මින්-පිඕගේ බලාපොරොත්තුවයි.
"අපිට ඕන ශ්‍රවණාබාධිත පුද්ගලයන්ට රැකියා අවස්ථා වැඩිකර දීම" යැයි සෝන්ග් මින්-පිඕ පැවසූ බව කොරියානු ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, GOYOHAN TAXI
"පෑනක් සහ කොලයකින් සන්නිවේදනය කරන්න රියදුරා සුදානම් වෙනකොට කොරියානුවන් ටැක්සියෙන් ඉවතට බසින බව අපි දන්නවා. මේ මෘදුකාංගය නිර්මාණය කිරීමට එය හේතුවක් වුණා."










