ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු ලියාපදංචි කළ වාහන ගණන 62,000 ඉක්මවයි: රජයට රු. බිලියන 130ක බදු ආදායමක්

Cars

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

වසර 5ක පමණ කාලයක් පැවති වාහන ආනයන සීමා ඉවත් කර මේ වන විට මාස කිහිපයක් ගතව ගොස් තිබේ.

පෞද්ගලික ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කෙරෙන වාහන නැවත ආනයනය කිරීමට 2025 පෙබරවාරි මස 1 වන දා සිට අවසර ලැබිණි.

ඒ අනුව කාර්, වෑන් ආදී මෝටර් වාහන, පොදු ප්‍රවාහන කටයුතු සඳහා යොදා ගන්නා බස් රථ, භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගන්නා මෝටර් වාහන, විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නා රථ, ත්‍රී රෝද රථ, යතුරු පැදි සහ අනෙකුත් මෝටර් එන්ජින් භාවිත නොවන වාහන ආනයනය කිරීමට 2421/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අවසර ලැබිණි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව පෙබරවාරි, මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාස තුළ අලුතින් ලියාපදිංචි කර ඇති මෝටර් රථ ගණන 62,000 ඉක්මවයි.

කෙසේ වෙතත්, එම වාහන සඳහා අංක තහඩු ලබා ගැනීමට නොහැකි වීම වාහන මිල දී ගත් පාර්ශ්වයන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ.

පළමු තැන මෝටර්සයිකල්වලට

2025 වසරේ ජනවාරි මස සිට මැයි මස දක්වා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අලුතින් ලියාපදිංචි කර ඇති මෝටර් රථ සංඛ්‍යාව ඇතුළත් දත්ත වාර්තාව නිරීක්ෂණය කිරීමට බීබීසී සිංහල සේවයට හැකි විය.

එම දත්ත අනුව, 2025 වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ සමස්තයක් ලෙස මෝටර් රථ 73,489ක් අලුතින් ලියාපදිංචි කර තිබේ.

ඒ අතුරින් වැඩි ම සංඛ්‍යාවක් ඇත්තේ මෝටර්සයිකල් ය.

ජනවාරි සිට මැයි දක්වා අලුතින් ලියාපදිංචි කර ඇති මෝටර්සයිකල් ගණන 58,943කි. ඒවා වැඩි ම ගණනක් ලියාපදිංචි කර ඇත්තේ අප්‍රේල් මාසයේදී වන අතර එම ගණන 13,126කි. කෙසේ වෙතත්, මැයි මාසය වන විට එම ගණන 11,825 දක්වා පහත වැටී තිබේ.

ජනවාරි මස 10,521ක්, පෙබරවාරි මස 11,857ක් සහ මාර්තු මස 11,614ක් ලෙස මෝටර්සයිකල් අලුතින් ලියාපදිංචි කර ඇත.

ජනවාරි සිට මැයි දක්වා වූ කාල සීමාව තුළ අලුතින් ලියාපදිංචි කර ඇති කාර් ගණන 7,542කි. ඉන් වැඩි ම ගණනක් ලියාපදිංචි කර ඇත්තේ මැයි මාසයේදී ය. එම ගණන 4,502කි.

ජනවාරි මස සිට මැයි දක්වා දත්ත නිරීක්ෂණය කිරීමේදී අලුතින් ලියාපදිංචි කළ කාර් සංඛ්‍යාවේ වැඩි වීමක් පෙන්නුම් කරයි.

පෙබරවාරි සිට මැයි දක්වා මෝටර් රථ 62,025ක් ලියාපදිංචි කරයි

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වාහන ආනයන සීමා ලිහිල් කළ පෙබරවාරි මස සිට මැයි දක්වා ඇති දත්ත අනුව, මෝටර් රථ 62,025ක් අලුතින් ලියාපදිංචි කර තිබේ.

ඒවා අතරින් වැඩි ම සංඛ්‍යාවක් ඇත්තේ මෝටර්සයිකල් ය. පෙබරවාරි සිට මැයි දක්වා අලුතින් ලියාපදිංචි කර ඇති මෝටර්සයිකල් ගණන 48,422කි.

එම කාල සීමාව තුළ කාර් 7,431ක් සහ ත්‍රිරෝද රථ 1,645ක් අලුතින් ලියාපදිංචි කර ඇත.

පෙබරවාරි සිට මැයි දක්වා දත්ත නිරීක්ෂණය කිරීමේදී අලුතින් ලියාපදිංචි කළ වාහන සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබේ.

පෙබරවාරි 12,712ක්, මාර්තු 13,287ක්, අප්‍රේල් 17,563ක් සහ මැයි 18,463ක් ලෙස මෝටර් රථ අලුතින් ලියාපදිංචි කර ඇත.

පෙබරවාරි මාසයේ කාර් 92ක්, මාර්තු මාසයේ කාර් 327ක්, අප්‍රේල් මාසයේ කාර් 2510ක් සහ මැයි මාසයේ කාර් 4,502ක් අලුතින් ලියාපදිංචි කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පෙන්වා දෙන්නේ, ජනවාරි මස සිට මැයි මස දක්වා එන්ජින් ධාරිතාව 1000ට අඩු සහ විදුලි මෝටර් රථ 4,367ක් අලුතින් ලියාපදිංචි කර ඇති බව ය.

ආනයන සීමා ලිහිල් කළ පෙබරවාරි මස සිට මැයි දක්වා ලියාපදිංචි කර ඇති එම මෝටර් රථ ගණන 4,360ක් බව එහි දැක්වේ.

එන්ජින් ධාරිතාව 1000ට අඩු සහ විදුලි මෝටර් රථ අලුතින් ලියාපදිංචි කිරීමේ වැඩි වීමක් දත්ත දෙස බැලීමේදී නිරීක්ෂණය වන අතර මැයි මාසයේදී පමණක් එම කාණ්ඩවලට අයත් මෝටර් රථ 2,665ක් ලියාපදිංචි කර ඇත.

බදු ආදායම රු. බිලියන 130 ඉක්මවයි

මෙම වසරේ ජනවාරි මස සිට ජූනි 3 වන දා දක්වා වාහන ආයනය මගින් රුපියල් බිලියන 132ක බදු ආදායමක් උපයා ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ බීබීසී සිංහල කළ විමසීමකදී මේ බව පැවසීය.

වාහනය ආනයනය සීමා කර තිබුණු කාලය තුළ ද විශේෂ කාර්යයන් සඳහා අවශ්‍ය මෝටර් රථ මෙරටට ආනයනය කළ බව ත් ඒ අනුව, ජනවාරි මාසය ද ඇතුළුව මෙම බදු ආදායම ගණනය කර ඇති බව ත් ඔහු වැඩිදුරටත් පැවසීය.

අංක තහඩු ලැබෙන කාලය

අලුත් ලියාපදිංචි කරනු ලබන මෝටර් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම තවත් මාස එකහමාරකින් පමණ යළි ඇරඹිය හැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පවසයි.

බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මේ වන විට ටෙන්ඩර් ක්‍රියාවලියට අදාළ කටයුතු සිදුවෙමින් පවතින බව ත් ලංසු තැබූ සමාගම් 15ක් අතරින් තෝරාගත් සමාගම් කිහිපයක් තාක්ෂණික කමිටුව වෙත යොමු කර ඇති බව ත් ය.

"Technical Evaluation එකට මොරටුවට අපි යවලා තියෙනවා. ඒක ආවම procument එක proceed කරන්න පුළුවන්. මාස එකහමාරක් දෙකක් ඇතුළත ප්ලේට් ගහන්න පටන් ගන්න පුළුවන්, අලුත් provider කෙනෙකුට දුන්නා ම," ඔහු පැවසීය.

කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, මෙම දිනවල දිනකට මෝටර් රථ 1,000කට ආසන්න සංඛ්‍යාවක් අලුතින් ලියාපදිංචි කරන බව ය.

"සාමාන්‍යයෙන් මේ දවස්වල දවසකට 1,000කට ආසන්න සංඛ්‍යාවක් එකතු වෙනවා වාහන. මෝටර්සයිකල් තමයි වැඩියෙන් ම එන්නේ. 700ක් විතර. අනිත් ඒවා නම් 200ක් 300ක් විතර," ඔහු පැවසීය.

ඉදිරියේදී නිකුත් කෙරෙන නව අංක තහඩුවල පළාත සහ එහි මෙතෙක් කල් ඇලවූ ස්ටිකරය ඇතුළත් නොවන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

"අලුතින් ලබා දෙන එකේ පළාතත් නැහැ, ස්ටිකර් එකත් නැහැ, ඒක detect කරන්න detectors නැහැ," ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.