වෛද්‍ය හිඟය: 'දොස්තරලට රටින් එළියට යන්න හේතු තියෙනවා වගේ ම විදෙස් රටවල් වලින් දොස්තරලව එහෙට ගන්නත් හේතු තියෙනවා'

Patients in Hospital

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2022 සිට 2025 දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් 726 දෙනෙකු, හෙද හෙදියන් 2800 දෙනෙකු හා වෛද්‍ය නිලධාරීන් 1116 දෙනෙකු වෙනත් රටවලට සංක්‍රමණය වී ඇති බවත්, මූල්‍ය වශයෙන් එය අප රටට දැවැන්ත පාඩුවක් බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික සමුළුව අමතමින් ඉකුත් මැයි මස 20 වන දා පැවසුවේ ය.

සෞඛ්‍ය ශ්‍රම බළකායේ සංක්‍රමණ අප රටට ගැටලුවක් වී ඇති බවත්, ඒ හේතුවෙන් ගෝලීය වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට බලපාන ගැටලු විසඳීමේ අවශ්‍යතාවක් පවතින බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා කෙරෙන ආයෝජන තුළ මූල්‍ය අලාභයන් විඳ ගැනීමට සිදුවී ඇති බවත්, සංක්‍රමණික ගමනාන්ත වූ රටවල් ද මේ සම්බන්ධව වඩාත් වගකිවයුතු බවට විශ්වාස කරන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජාත්‍යන්තර බඳවා ගැනීම් සංග්‍රහය ඵලදායී හා ශක්තිමත් අන්දමින් ක්‍රියාත්මක කරන ලෙසට ද මෙහිදී ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා සමුළුව අමතමින් පැවසුවේ ය.

'රට ගිහින් තියෙන සංඛ්‍යාව මීට වඩා වැඩි යි'

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයේ දත්ත සත්‍ය නොවන බව ය.

"ඇමතිතුමා කියනවාට වඩා ඔය සංඛ්‍යාව වැඩි යි. 2023 අවුරුද්ද වෙද්දී විශේෂඥ වෛද්‍යවරු 700කට ආසන්න සංඛ්‍යාවක් විදෙස්ගත වෙලා ඉඳල තියෙනවා. 2024 අවුරුද්දේ සංඛ්‍යා දත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ නැහැ."

"2023 අවුරුද්දේ සැප්තැම්බර් මාසය වෙද්දී අපේ ඇස්තමේන්තුවලට අනුව නම් අවම වශයෙන් විශේෂඥ වෛද්‍යවරුන් 800ක් හෝ 1000 කට ආසන්න පිරිසක් රටින් පිටවෙලා විදෙස්ගත වෙලා ඉන්නේ. ඊට අමතරව වෛද්‍ය නිලධාරීන් 1500ක් වගේ විදේශත වෙලා ඉන්නවා මේ වෙද්දී. ඔක්කොම ගත්තා ම සාමාන්‍යයෙන් 2500කට වැඩි වෛද්‍යවරුන් පිරිසක් රටින් පිටවෙලා ගිහින් ඉන්නේ," රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

'ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න අමතරව අවුරුදු 07ක් ගත වෙනවා'

වෛද්‍ය පීඨයෙන් පිටවන වෛද්‍ය සිසුවෙකුට විශේෂඥ වෛද්‍යවරයෙකු වීම සඳහා කොපමණ කාලයක් ගතවේ ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.

"ඔය ස්පෙෂලිස්ට් කෙනෙක් විතරක් නෙමෙයි වෛද්‍යවරයෙක් වුණත් දවසෙන් දෙකෙන් හැදෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ගත්තා ම වෛද්‍යවරයෙකුට අවුරුදු 15ක් වගේ කාලයක් යනවා විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න."

"වෛද්‍ය ශිෂ්‍යයෙක් එයාගේ සාමාන්‍ය උපාධිය හදරලා ඉවර වුණාට කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ එයා ඉන්ටර්න්ෂිප් කරන්න ඕන, ඊට පස්සේ එතැනින් එහාට ඒ කෙනා වෛද්‍යවරයෙක් විදිහට හොස්පිටල් එකේ වැඩ කරන්න ඕන. ඔය වගේ කාලයක් ගියාට පස්සේ තමයි එයාට තවත් අවුරුදු 07ක් යනවා ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න කෝස් එක කරන්න," ඔහු පැවසුවේය.

වසරකට මෙරට වෛද්‍ය පීඨවලින් වෛද්‍ය සිසුන් 2,000ක් පමණ පිටවන බවත්, එලෙස පිටවන වෛද්‍ය සිසුන්ගෙන් රටේ සෞඛ්‍ය සේවයේ ඇති වී තිබෙන පුරප්පාඩු පිරවිය නොහැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

''අපේ සේවාවන් පුළුල් වෙලා තිබුණට අනුමත සේවක සංඛ්‍යාව ඒ කියන්නේ වෛද්‍යවරුන් කීදෙනෙක් ඉන්න ඕනද කියන එක තවම අප්ඩේට් කරලා නැහැ."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "අපේ සේවාවන් පුළුල් වෙලා තිබුණට අනුමත සේවක සංඛ්‍යාව ඒ කියන්නේ වෛද්‍යවරුන් කීදෙනෙක් ඉන්න ඕන ද කියන එක තව ම අප්ඩේට් කරලා නැහැ"

'අනුමත සේවක සංඛ්‍යාව යාවත්කාලීන කරලා නැහැ'

සෞඛ්‍ය සේවයට අදාළ අනුමත සේවක සංඛ්‍යාවේ යාවත්කාලීන කිරීම වසර 08කින් පමණ සිදුවී නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පැවසීය.

"අපේ සේවාවන් පුළුල් වෙලා තිබුණට අනුමත සේවක සංඛ්‍යාව ඒ කියන්නේ වෛද්‍යවරුන් කීදෙනෙක් ඉන්න ඕන ද කියන එක තව ම අප්ඩේට් කරලා නැහැ 2018 අවුරුද්දේ ඉඳලා. ඒවා අප්ඩේට් වෙන්න ඕන."

"2018 අවුරුද්දෙ අනුමත සේවක සංඛ්‍යාව තිබිලා තියෙන්නේ 23,000කට ආසන්න ගාණක්. ඒ වෙනකොට තිබ්බ රෝහල් ගාන, ජනගහනය එක්ක නේ මේ කාඩර් එක හැදෙන්නේ. ඒත් මේ වෙද්දී රෝහල් ගාන වගේ ම ජනගහනයත් වැඩි වෙලා තියෙන්නේ. අලුත් ස්පෙෂලිටිස්ලා වැඩි වෙලා තියෙනවා. වෛද්‍යවරුන් වගේ ම සේවා කාර්ය මණ්ඩලය වැඩි වෙලා කියල පෙන්නුවට ඇත්ත ම දේ අපි ඉන්නේ අව ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් එක්ක."

"මේ තත්ත්වයත් එක්ක අවුරුදු 8ක්-10ක් ඉස්සරහට යද්දී අපිට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. නමුත් අද වෙද්දී අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට ඉන්න දොස්තරලා ටික මදි. ඉන්න දොස්තරලා ටික රැක ගන්නත් ක්‍රමයක් නැහැ," වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ ය.

'සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය පොසිටිව් නැහැ'

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

වෛද්‍යවරුන් විදේශගත වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශය බරපතළ එකක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

"මිනිස්ටර් දුන්න ස්ටේට්මන්ට් එක එච්චර පොසිටිව් එකක් නෙමෙයි. ඕක ම වෙන විදිහකට කෙහෙළිය කිව්වේ. එයාර්පෝට් එකේදී නතර කරනවා, නඩු දානවා, රෙජිස්ට්‍රේෂන් එක අයින් කරනවා කියලා. මේ කියන්නේ රටකට ගියා ම ජොබ් දෙන්න එපා කියල නේ. ඒත් මෙහෙම කරන්න බැහැ. සාමාන්‍යයෙන් බුද්ධිගලනය වෙන එක නතර කරන්න බැහැ."

"ආගමන විගමන පනතේ තියෙනවා රැකියාවක් නිසා කෙනෙක්ව ගුවන් තොටුපොළේදි නතර කරන්න බැහැ කියලා. මේ වගේ ප්‍රකාශ කරන එක නෙමෙයි කරන්න ඕන හරි නම් රජය ලංකාවේ දැනට ඉන්න දොස්තරලා ටික රැක ගන්න කටයුතු කරන එක යි කරන්න ඕන."

"දොස්තරලට ප්‍රශ්න තියෙනවා. වැටුප් ගැටලුව විතරක් නෙමෙයි. ක්වාටස්වල ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ම දුර බැහැර රෝහල්වල රැකියාවට ගියා ම එයාගේ පවුලේ සාමාජිකයින් ඉන්නේ වෙන තැනක. ළමයින්ව ඉස්කෝලෙට යවන්න ගියා ම ප්‍රශ්න තියෙනවා. මේ වගේ දේවල්වලට රජය කෙටි කාලීන වගේ ම දීර්ඝ කාලීන විසඳුම් සොයන්න අවශ්‍ය වෙනවා."

"දොස්තරලට රටින් එළියට යන්න හේතු තියෙනවා වගේ ම විදෙස් රටවල් වලින් දොස්තරලව එහෙට ගන්නත් හේතු තියෙනවා. වෘත්තීයවේදීන්ට ලෝකයේ ඕනෑ ම තැනක පිළිගැනීමක් තියෙනවා. විශේෂයෙන් ම ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල් කැමති දොස්තරලව වෙනත් රටවල්වලින් ගෙනල්ලා ඒ රටේ වැඩ කරන්න දීලා ඒකට අවශ්‍ය කරන පහසුකම් සහ වැටුප් ගෙවනවා. මොක ද ඩොක්ටර් කෙනෙක් හැදෙන්න යන කාලයත් එක්ක බලද්දී ඒක එයාලට වාසි යි. ශ්‍රී ලංකාවේ ඩොක්ටර් කෙනෙක් කියද්දී තියෙන පිළිගැනීමත් වැඩි යි," වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේය.

"මේ තත්ත්වයත් එක්ක අවුරුදු 8ක්-10ක් ඉස්සරහට යද්දී අපිට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. නමුත් අද වෙද්දී අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට ඉන්න දොස්තරලා ටික මදියි. ඉන්න දොස්තරලා ටික රැක ගන්නත් ක්‍රමයක් නැහැ."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මේ තත්ත්වයත් එක්ක අවුරුදු 8ක්-10ක් ඉස්සරහට යද්දී අපිට මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා"

'පහසුකම් නැති නිසා වෛද්‍යවරුන් යනවා'

මේ අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය රෝහලක සේවය කරන වෛද්‍යවරයෙකු වන උදාර (සැබෑ නම නොවේ) බීබීසී සිංහල වෙත කියා සිටියේ, මේ වන විට රජයේ රෝහල් වෛද්‍යවරුන්ගේ හිඟයකට මුහුණ දී සිටින බව ය.

ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන්ට ලබා දී ඇති නේවාසික පහසුකම් අවම මට්ටමක පැවතීම හේතුවෙන් ඔවුන් එම රෝහල්වල සේවය නොකර ඉවත්ව යාමට උනන්දු වන බව මෙම වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

"ගොඩක් රෝහල්වල වෛද්‍යවරුන්ගේ හිඟයක් තියෙනවා. මම වැඩ කරන්නේ ප්‍රාදේශීය රෝහලක. ප්‍රාදේශීය රෝහලේ A, B, C කියලා ශ්‍රේණි තියෙනවා. මේ කැටගරීස්වලට පිළිවෙළින් ගත්ත ම රෝහල්වල ඩොක්ටර්ස්ලා 10, 08, 06 කියලා ඉන්න ඕන. ගොඩක් තැන්වල දැන් ඉන්නේ ප්‍රාදේශීය රෝහල්වල වෛද්‍යවරුන් 4ක් නැත්නම් 3ක් විතර යි."

"ප්‍රාදේශීය රෝහල්වල විශේෂඥ වෛද්‍යවරු නැහැ. ඉන්නේ සාමාන්‍ය දොස්තරලා. මේ සාමාන්‍ය දොස්තරලා ඉන්න අවශ්‍ය ගාණත් අවුරුදු ගාණකින් එකතු කරලා නැහැ. මිනිස්සු වැඩි වෙනවා. නමුත් රෝහල්වල ඉන්න ඕන දොස්තරලා ගාණ අඩු යි. අලුතෙන් පත්වීම් ලැබුණත් ඒ එන දොස්තරලා ඉන්නේ නැහැ. ඒ අය යනවා. මම ඉන්න ක්වාර්ටස් එකෙත් වහළවල් එහෙම කඩා වැටිලා අවුරුදු ගාණකින් මේවා නඩත්තු කරලා නැහැ. ඒ වගේ පහසුකම් අඩු නිසා ඩොක්ටරස්ලා ගොඩක් දුක් විඳිනවා."

"අද වෙද්දී සෞඛ්‍ය අමාත්‍යවරයා කියන සංඛ්‍යාවට වඩා වැඩි ගාණක් වෛද්‍යවරුන් නොදන්වා ම රටින් බැහැර වෙලා තියෙනවා. ඒ නිසා මේ සංඛ්‍යා දත්ත නිවැරදි නැහැ. ඒ වගේ ම යි සීමාවාසික පුහුණුවීම් ලබන ඔක්කොම වෛද්‍යවරුන් පත්වීම ගන්නේ නැහැ. ඒ අය සීමාවාසික පුහුණුවීම් ලබලා නොදන්වා ම රටින් යනවා."

"2017 අවුරුද්දෙන් පස්සේ රටේ සෞඛ්‍ය සේවාවට අනුමත සේවක සංඛ්‍යාව ගැන ඇස්තමේන්තුගත කිරීමක් කරලා නැහැ. මේක බලපානවා සෞඛ්‍ය සේවයට."

"අපි වැඩ කරන්න ඕන පැය ගාණ කීය ද කියලා කිසි ම සඳහනක් නැහැ. නමුත් ප්‍රාදේශීය රෝහලක වෛද්‍යවරුන් ගාණ අඩුයි නම් ඉන්න වෛද්‍යවරුන් පිරිස එක දිගට වැඩ කරන්න ඕන. මම දන්න කාන්තා වෛද්‍යවරියන් දෙන්නෙක් හිටියා, ඒ අයට මාසෙකට රාත්‍රී සේවා මුර 15ක් වැඩ කරන්න වුණා."

"ගොඩක් වෛද්‍යවරුන්ට කැමති වුණත් රටින් පිටවෙන්න බැරි හේතු තියෙනවා. නමුත් මගේ බැජ් එකේ දොස්තරලා 50 දෙනෙක් වගේ ඉන්නවා දැනට එක්සෑම් කරලා රට යන්න බලාගෙන ඉන්න අය ඉන්නවා. මොක ද ඒ අය එක්සෑම් කළාට රට යන්න විදිහක් නැහැ. මොක ද ඒ අයට යන රටින් ජොබ් එකක් ඔෆර් වෙන්න ඕන."

"ගොඩක් වෛද්‍යවරුන්ට තියෙන දේ තමයි තමන් කරන සේවයට කිසි ම අගැයීමක් නැහැ කියන එක. ඒක ලොකුවට ම තියෙනවා වෛද්‍යවරුන්ගේ හිතේ," ඔහු පැවසුවේය.

මේ අතර, දැනට ශ්‍රී ලංකාවෙන් පිටව විදෙස් රටවල සේවය කරන වෛද්‍යවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගැනීමට ද බීබීසී සිංහල සේවය පියවර ගත්තේ ය. එහිදී එම වෛද්‍යවරු සිය අනන්‍යතාව හෙළි නොකරන පොරොන්දුව මත බීබීසී සිංහල වෙත අදහස් දැක්වූහ.

කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සෞඛ්‍ය සේවකයින් කිහිප දෙනෙක් ගමන් කරන අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

'මම රට ආවේ අලුත් අත්දැකීමක් ලබා ගන්න'

තමන් විදෙස්ගත වීමට මූලික හේතුව වූයේ, පශ්චාත් උපාධිය හැදෑරීමෙන් අනතුරුව අවම වසරක කාලයක් විදේශගතව රෝහලක හෝ පිළිගත් විශ්වවිද්‍යාලයක රැකියාවේ නිරත වී අත්දැකීම ලබාගත යුතු වීම බව දැනට බ්‍රිතාන්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු කියා සිටියේ ය.

"පුද්ගලිකව ගත්ත ම විදේශ රටක සේවයට යන්න මට තිබුණු ප්‍රධාන ම හේතුව තමයි විශේෂඥ වෛද්‍යවරයෙක් විදිහට මගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කළාට පස්සේ පිළිගත් රටක වසරක සේවා කාලයක් සම්පූර්ණ කරන්න අවශ්‍ය යි. මට ආසාවක් තිබ්බා ජාත්‍යන්තර මට්ටමේ විභාගවලට මුහුණ දීලා ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබා ගන්න. ඒක මගේ පුද්ගලික ආසාවක්."

"අනිත් කරුණ තමයි ලංකාවේ උපයනවාට වඩා 20 ගුණයක වැටුපක් මේ රටේදී මම උපයනවා. බදු ගෙව්වටත් පස්සේ ශ්‍රී ලංකාවේ උපයනවාට වඩා 15 ගුණයක් මම උපයනවා. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවත් එක්ක පශ්චාත් උපාධි පාඨමාලාවත් එක්ක අවුරුදු 12-15ක් වගේ කාලයක් යනවා. අපිට ජීවත් වෙන්න අවශ්‍ය ගෙයක් ගන්න, ගමනක් යන්න වාහනයක් ගන්න ලැබුණේ නැහැ, ලංකාවේ එච්චර කාලයක් වැඩ කරලත්. ඒත් අපි මේ රටට ආව ම ඒ දේවල් කර ගන්න ලැබුණා ම පුදුම සතුටක් දැනෙනවා හිතට," එම වෛද්‍යවරයා පැවසුවේය.

ශ්‍රී ලංකාවේ රාජකාරී කරන විට වෛද්‍යවරුන්ට වැඩකළ යුතු උපරිම පැය ගණනක් සඳහන් කර නොමැති බව ද එම වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

"මම මේ රටේදී වැඩ කරන්නේ සතියට පැය 40ක් හෝ උපරිම පැය 48ක් විතරයි. නමුත් ලංකාවේ මම අනිවාර්යෙන් ම උදේ 8 ඉඳලා හවස 4.00 වෙනකම් වැඩ කරන්න ඕන විතරක් නෙමෙයි ඊට පස්සේ වුණත් වැඩ කරන්න වෙනවා. මේ කොච්චර කාලයක් වැඩ කළත් අපිට දෙන්නේ පැය 04ක අතිකාල දීමනාවක් විතර යි. විශේෂඥ වෛද්‍ය පුහුණුවක ඉන්නව නම් දවසක් හැර දවසක් පැය 24ක සේවා මුරයක් වැඩ කරන්න ඕන," ඔහු කියා සිටියේ ය.

'මේ කොච්චර කාලයක් වැඩ කළත් අපිට දෙන්නේ පැය 04ක අතිකාල දීමනාවක් විතරයි.'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 'කොච්චර කාලයක් වැඩ කළත් අපිට දෙන්නේ පැය 04ක අතිකාල දීමනාවක් විතර යි.'

'මම ආපහු ලංකාවේ සේවය කරන්න කැමති යි. ඒත් කලකිරිලා ඉන්නේ'

බීබීසී සිංහල සේවයට අදහස් දැක්වූ එම වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, තමන් ශ්‍රී ලංකාවේ නැවත සේවයට පැමිණීමට කැමැත්තෙන් සිටිය ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හමුවේ සෞඛ්‍ය සේවකයින් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බව ය.

"ආපහු ලංකාවට ඇවිත් වැඩ කරන්න මම කැමති යි. මොක ද මම ලංකාවේ අධ්‍යාපනය හැදෑරුවේ එංගලන්තයට ගිගින් රාජකාරී කරන්න නෙමෙයි. නමුත් අපිට අවස්ථාවක් ලැබුණා විදේශ රටකට ඇවිල්ලා අධ්‍යාපනය ලබන්න, අත්දැකීම් ලබන්න. ඒ අත්දැකීම තුළින් ලංකාවේ අපේ ජනතාවට උදව් කරන්න හැකියාව තියෙනවා."

"සමහර වෛද්‍යවරුන් ඉන්නවා විදේශ රටවලට ගිහින් හොඳ අත්දැකීම් ලබලා ලංකාවට ආව ම ඒ එන විශේෂඥ වෛද්‍යවරයාව කිසි ම පහසුකමක් නැති පළාතක රෝහලකට මාරු කරනවා. එහෙම මාරු කළා ම ඒ විශේෂඥ වෛද්‍යවරයා ටික කාලයක් ලංකාවේ ඉඳලා සේවයෙන් ඉවත් වෙලා විදේශගත වෙනවා. මොක ද ඒ විශේෂඥ වෛද්‍යවරයාගෙන් අවශ්‍ය සේවය ගන්නේ නැහැ මේ රටේදී."

"ඒ වගේ ම ලංකාවේ රජයටත් වගකීමක් තියෙනවා. වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙනව නම්, වෛද්‍යවරුන්ට හොඳ වැටුපක් ලබා දෙනවා නම් ගොඩක් වෛද්‍යවරුන්ට අවශ්‍යතාවක් නැහැ පෞද්ගලික රෝහල්වලට ගිහින් සේවා කරන්න."

"මගේ පෞද්ගලික අත්දැකීමක් තමයි, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආකාර්යක්ෂමතාව ඉහළින් ම තියෙනවා. වෛද්‍යවරුන් ගොඩ දෙනෙක් කියන කතාවක් තමයි, ඒ වෛද්‍යවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න නිලධාරීන් භුමියේ සේවය කරන පිරිස් ගැන කිසි ම හැඟීමක් නැතිව වැඩ කරන්නේ. මේ තත්ත්වය වෙනස් නොවෙනවා නම් අපිට වුණත් ආපහු ඇවිල්ලා වැඩ කරන්න හිතන්නේ නැහැ."

"ලංකාවේ ගොඩක් වෛද්‍යවරුන් ඉන්නවා මගෙන් උදව් ඉල්ලනවා එංගලන්තයට එන්න. මොක ද ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න සමහර නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් නිසා වෛද්‍යවරුන් විතරක් නෙමෙයි ගොඩක් සෞඛ්‍ය සේවකයින් ගැටලුවලට මුහුණ දෙනවා," ඔහු වැඩිදුරටත් පැවසීය.