කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විභාග වන නඩු

දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තවත් නඩුවකට අදාළව මේ වන විට ලබන මස 3 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. ඔහුට එරෙහිව අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩු මොනවා ද? බීබීසී සිංහල ඒ පිළිබඳ සොයා බැලීමක් කළේ ය.
කෙහෙළිය රඹුක්වැල්ල මෑතකදී රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පැවරූ පැමිණිලි තුනකට අදාළවය.
2021 සහ 2023 යන කාලසීමාව තුළ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් පස් දෙනෙකු ඇතුළත් කොට ඔවුන්ට ලැබෙන වැටුප් දීමනා සහ අතිකාල දීමනා සියල්ල ලබාගෙන ඒවා සිය ආධාරකරුවන්ට ලබා දීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80කට ආසන්න මුදලක් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිලි තුනක් ගොනු කර තිබේ.
කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි වෙනත් නඩු මොනාවා ද?
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැය කර දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප මිල දී ගැනීම තුළින් දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා කර කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් නඩුවක් ගොනු කරනු ලැබ තිබිණි.
එම නඩුව මේ වන විටත් කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙමින් පවතියි.
ඊට අමතරව, 2006 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකතන සඳහා ගෙවිය යුතු බිල වන රුපියල් දෙලක්ෂ හතලිස් දහසකට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල්වලින් ගෙවීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාට එරෙහිව තවත් නඩුවක් ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබිණි.
අල්ලස් කොමිසම විසින් එම නඩුව ගොනු කරනු ලැබ තිබේ.
එම නඩුව ද මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ විභාග වෙමින් ඇත.
ඊට අමතරව ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කොට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
එම පැමිණිල්ලට අදාළව අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව මේ වන විට ඇප මත මුදාහැර සිටියි.
එම සිද්ධිය සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩු විභාගයක් පැවැත්වීමට නීතිපතිවරයා තීරණය කර තිබේ.
ඒ අනුව නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි අදාළ නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරිය විසින් මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ද පත් කරනු ලැබ තිබේ.
පුත්‍රයා අත්අඩංගුවට
මේ අතර, කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ල අද (මැයි 21 වැනි දා) අත්අඩංගුවට ගැනිණි.
ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගිනි.
ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ ඔහු එම කොමිසම හමුවට පැමිණි අතර, අනතුරුව අත්අඩංගුවට පත්විය.














