කෙහෙළිය රඹුක්වැල්ලගේ රීට් පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? තීරණය අප්‍රේල් 30 වැනිදා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියේ සැකකරු වශයෙන් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරන්නේද? නැද්ද? යන තීරණය අප්‍රේල් 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කරනු ලැබීය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් ඉදිරියේ අද (අප්‍රේල් 09 වැනිදා) සලකා බැළුණි.
එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මූලික විරෝධතා මතු කරමින් මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියේය.
තමා අත් අඩංගුවට ගැනීම අභියෝගයට ලක් කරමින් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙන බවත් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවදුරටත් පවතින බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් දෙන තුරු මෙම පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳව පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබෙන මෙම රිට් පෙත්සමේ සඳහන් කර නොමැති අතර එය අධිකරණය හමුවේ කළ කරුණු වසන් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කර සිටියේය.
තමන්ට මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ප්‍රතික්ෂේප වූ අවස්ථාවක ඊට එරෙහිව මහාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබියදී එම නීතිමය පියවර අනුගමනය කිරීම මග හැර පෙත්සම්කරු අභියාචනාධිකරණය හමුවට පැමිණීම සම්මත නීතිමය පටිපාටිය උල්ලංඝණය කිරීමක් බවත් එය අධිකරණ බලය අවභාවිතයට ලක් කිරීමක් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේය.
පෙත්සම්කරු නීතිය මගහැර තමාට රිසි අධිකරණ තෝරා මෙවැනි නඩුකර ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු සඳහන් කළේය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එම අවස්ථාවේදි ප්‍රශ්නයක් මතු කළ විනිසුරු සමරකෝන් "ඔබ මේ අධිකරණයට චෝදනා එල්ල කරනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ගෙන් විමසීය.
ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා " ස්වාමීනි...මා කිසිම අවස්ථාවක ඔබ තුමාගේ අධිකරණයට චෝදනා එල්ල කරන්නේ නෑ. මා චෝදනා කළේ පෙත්සම්කරුට. පෙත්සම්කරු නීතිය අවභාවිතයට ලක් කිරීම මැඩ පැවැත්විය යුතුයි ." යනුවෙන් කියා සිටියේය.
මෙම පෙත්සමට අදාළ දිවුරුම් පෙත්සම පෙත්සම්කරු විසින් අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුවේදී බව එහි සඳහන් වන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පෙත්සම්කරුට පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වීම සඳහා පමණක් අනුමැතිය හිමි වී තිබෙන බවත් කියා සිටියේය.
බන්ධනාගාර රෙගුලාසිවලට අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවකු දිවුරුම් ප්‍රකාශයකට අත්සන් කළ යුත්තේ බන්ධනාගාර නිලධාරිකු ඉදිරිපිට බවත් මෙම නඩුවට අදාල දිවුරුම් පෙත්සම අත්සන් කිරීමේදී පෙත්සම්කරු එම නීතිමය ප්‍රතිපාදනය අනුගමනය කර නොමැති බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ක්‍රියාව තුළින් පෙත්සම්කරු බන්ධනාගාර පනත යටතේ වරදක්කර ඇති අතර පාර්ලිමේන්තු වරප්‍රසාද ද අවභාවිතයට ලක් කර තිබෙන බවත් චෝදනා කළේය.
ඒ අනුව අධිකරණය ඉදිරියේ පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් නෛතික පදනමක් එම පෙත්සම තුළ අන්තර්ගත වී නොමැති හෙයින් එය මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම මූලික විරෝධතා සම්බන්ධයෙන් සිය පිළිතුරු දේශන ඉදිරිපත් කළ පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා පෙත්සම්කරු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වැරදි සහගත බවත් ඔහුට එරෙහිව පොලිසිය විසින් පොදු දේපළ පනත යටතේ විධිමත් සහතිකයක් ඉදිරිපත් කර නොතිබූ බවත් සඳහන් කළේය.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් අධිකරණ නඩුකරයේ සෙසු සැකකරුවන් සදහා ඉදිරිපත් කළ සහතිකය පෙත්සම්කරු සඳහා ද අදාළ කරගන්නා ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඔහු චෝදනා කර සිටියේය.
ඒ අනුව පෙත්සම්කරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පොදු දේපළ පනත යටතේ වු සහතිකයක් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ බව පෙනී යන්නේ යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ මත පදනම්ව නඩුව අවසන් වන තුරු පෙත්සම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නීතියට පටහැනි බවත් කියා සිටියේය.
පොදු දේපළ පනත යටතේ විත්තිකරුවන්ට නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කරනු ලබන්නේ මහාධිකරණය හමුවේ බවත් මහාධිකරණය හමුවේ එවැනි නඩු විභාගයක් ආරම්භ වී නොමැති අවස්ථාවක මෙම පෙත්සම්කරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ කෙසේදැයි ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයෙන් අතරමැදි පෙත්සමක්
මෙහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නීතීඥ සංගමය වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම්ගේ උපදෙස් මත කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර කියා සිටියේ මෙම නඩුකරයට සම්බන්ධ අපරාධමය ක්‍රියාවලිය හේතුවෙන් මහජනතාව අගතියට පත්ව ඇති බවයි.
ඒ අනුව මහජන සුභසාධනය සැලකිල්ලට ගෙන මෙම නඩුකරයට මැදිහත්වීමට ලංකා නීතිඥ සංගමය තීරණය කළ බවත් මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉදිරිපත් කළ සියලු මූලික විරෝධතා තමන් පිළිගන්නා බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදී ගැනීම සිදු කර ඇත්තේ ඉන්දියානු ණය ක්‍රමය යටතේ බවට පෙත්සම්කරු ප්‍රකාශ කළත් එය මිලදී ගෙන ඇත්තේ ශ්‍රී ලංකා රජයේ අරමුදල් වලින් බවට කරුණු අනාවරණය වී ඇති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් මාතර, මාතලේ, මහනුවර වැනි රෝහල් වල ප්‍රතිකාර ගත් රෝගීන්ට සංකූලතා මතුවී තිබෙන බවත් කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ගත් රෝගියෙකු මියගොස් ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
සියලු කරුණු සලකා බලා මෙම පෙත්සම විභාගයට ගැනීමට නොතීසි නිකුත් කිරීමකින් තොරව නිෂ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පොදු දේපළ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් කෙහෙළිය ඇතුළු සැකකරුවන් රිමාන්ඩ්
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේදී රජයේ මුදල් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් හත් දෙනකුගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය (මාර්තු 14 වැනිදා) නියෝග කළේය.
ඒ අනුව අදාළ සැකකරුවන්ට පොදු දේපළ පනත යටතේ නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නිකුත් කළ ඇප නියෝගයේ සඳහන් විය.
ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා පොදු දේපළ පනතට අදාළ වන බව අධිකරණය විසින් පිළිගනු ලබන බව ය.
පොදු දේපළ පනතේ සැකකරුවකු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කළ විට ඔහු ඇපමත මුදා හැරීම සඳහා සුවිශේෂි කරුණු ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
සැකකරුවන්ට අදාළ විමර්ශන තවමත් පැවැත්වෙන බවත් එවැනි අවස්ථාවක මොවුන්ට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරිය සිය තීන්දුවේ සඳහන් කළාය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් CID අත්අඩංගුවට
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් (මාර්තු මස 01 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබීය.
ප්‍රශ්නගත මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව බීබීසී සිංහල වෙත තහවුරු කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Saman Ratnayake|Facebook
අධිකරණයෙන් දුන් නියෝගය
ප්‍රශ්නගත මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකට (මාර්තු මස 01 වැනිදා) පෙරවරු 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය (පෙබරවාරි මස 29 වැනිදා) නියෝග කළාය.
ඒ අනුව පැය 07 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණයේ දී මීට පෙර සිදුවුයේ කුමක්ද ?
මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන පිටු හතක වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිනී ගිරිහාගම පවසා සිටියේ "ශ්‍රී ලංකාවට බෙහෙත් ආනයනය කිරීමේ ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින්. එහෙත් මෙම නඩුකරයට පාදකවන සිද්ධියේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව බෙහෙත් ආනයනය කිරීමේ ක්‍රියාවලියෙන් ඉවත් කොට සම්මත පටිපාටියට පරිබාහිරව මෙම බෙහෙත් මිලදී ගැනීමට සැකකාර අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා. මෙම බෙහෙත් තොගය ආනයනය කිරීම සඳහා සැකකාර අමාත්‍යවරයා අවස්ථා හතරක දී කැබිනට් සංදේශ හතරක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකාවේ බෙහෙත් වර්ග 182ක් නොමැති බවත් ඇතැම් බෙහෙත් වර්ග තිබෙන්නේ ඉදිරි මාස තුනක කාලයකට පමණක් බවත් සැකකාර අමාත්‍යවරයා එම කැබිනට් සංදේශය තුළින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර තිබෙනවා. එම අවස්ථාව වන විටත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරටට අවශ්‍ය ඖෂධ ලබා දීමට එකඟතාව පළ කර තිබුණා. එවැනි තත්ත්වයක් තිබියදී ශ්‍රී ලංකාව තුළ බෙහෙත් හිඟයක් මතුවිය හැකි බවට බොරු බිල්ලෙක් අමාත්‍ය මණ්ඩලය තුළ මවා මෙම බෙහෙත් ආනයනය කිරීමට සැකකාර අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා. මෙම බෙහෙත් ආනයනය කිරීමට අදාළ සියලු වගකීම් පැවරී තිබෙන්නේ සැකකාර අමාත්‍යවරයා මතයි" යනුවෙනි.
සැකකාර අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෑතකදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුද උත්සන්න වී අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පෝලිම් නිර්මාණය වී තිබූ අවස්ථාවක මෙම බෙහෙත් තොගය ආනයනය කිරීමට සිදු වූ බව පැවසීය.
එම අවස්ථාවේදී රට තුළ උග්‍ර බෙහෙත් හිඟයක් පැවැති බවත් ජනතාවගේ සෞඛ්‍යය රැක ගැනීම සඳහා මෙලෙස බෙහෙත් ආනයනය කිරීම වරදක්දැයි ඔහු අධිකරණය හමුවේ ප්‍රශ්න කර සිටියේය.
මෙම ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලියේ සියලු ලේඛන වලට අනුමැතිය ලබා දී තිබෙන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් තම සේවා දායකයා ඊට මැදිහත් වී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.
එහෙත් මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ කරුණු දක්වමින් "ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් මෙම සැකකරු පත් කරනු ලැබුවේ මහජන සෞඛ්‍ය නඟා සිටුවීමේ අරමුණින්. මහජන සෞඛ්‍යයේ භාරකරු වශයෙන් කටයුතු කිරීමේ වගකීම සහ වගවීම සැකකාර අමාත්‍යවරයා වෙත පැවරී තිබෙනවා. ඒ නිසා 'මේවා ගැන දන්නෙ නෑ' කියා කීමට ඔහුට හැකියාවක් නෑ. " කියා සිටි මහේස්ත්‍රාත්වරිය සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් නියෝග කළාය.
එමෙන්ම මෙම නඩුවට පාදකවන ප්‍රශ්නගත ඖෂධය භාවිත කිරීම හේතුවෙන් සංකූලතාවලට මුහුණ දුන් රෝගීන් හා එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ අගතිදායක තත්ත්වයන්ට මුහුණ දුන් වෛද්‍යවරු පිළිබඳව විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර සිටියාය.
හිටපු සෞඛ්‍ය ඇමති චුදිතයෙක් වෙන්නේ කොහොමද?
ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව සිවිල් සංවිධාන විසින් දිගින් දිගටම චෝදනා එල්ල කරමින් සිටියි.
එම මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) යට පැමිණෙන ලෙස දැනුම් දුන්නද පසුගිය ජනවාරි 31 වැනිදා ඔහු එහි නොගියේ තමන්ට වෙනත් කටයුත්තක් මෙන්ම මහාධිකරණය හමුවේ පෙනී සිටීමට ඇති බවට CID යට ලිඛිතව ලිපියක් යොමු කරමින් ය.
මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පෙබරවාරි 02 උදෑසන 9.00ට පමණ අපරාධ පාරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය. ඒ එම දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් (පෙබරවාරි 01 වැනිදා) නියෝග කරනු ලැබීමෙන් අනතුරුවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අධිකරණයේදී සිදුවුයේ කුමක්ද ?
මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ තොග පාලක සුජිත් කුමාර නමැත්තා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය විසින් නියෝග කරන ලදී.
එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත ඇතුළු සෙසු සැකකරුවන් 6 දෙනා පෙබරවාරි 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කෙරුණි.
හිටපු සෞඛ්‍ය ඇමති චුදිතයෙක් වෙන්නේ කොහොමද?
'හදිසි සහ අත්‍යවශ්‍ය වුවමනා' බව සඳහන් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඖෂධ වර්ග 183ක්, ඇගයීම් කමිටුවක් හරහා දින 4ක් තුළදී ඇගයීමකට ලක් කර ඇති බවත්, එලෙස ඇගයීමට ලක් කළ ඖෂධ අතර මෙම ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය සහ චෝදනාවට ලක්වූ තවත් ඖෂධ 3ක් තිබී ඇති බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් බීබීසී සිංහල සේවයට පැවසුවේය.
ඔහු කියා සිටියේ අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට යොමුකරන විටත් ඖෂධ මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩර් කැඳවීම සිදුකොට ඊට අදාළ කටයුතු සිදුකර තිබෙන අයුරු මෙහිදී පෙනී යන බවයි.
"උදාහරණයක් විදිහට කෙහෙළිය රඹුක්වැල්ල චුදිතයෙක් වෙන්නේ කොහොමද කියලා අහන කොට අපිට එතන තියෙන ප්‍රශ්නේ තමයි සෞඛ්‍ය ලේකම්වරයා කැබිනට් පත්‍රිකාව අනුමත වුණා කියලා හිතාගෙන ටෙන්ඩර් පළ කරද්දී කැබිනට් පත්‍රිකාව අනුමත වෙලා තියෙන්නේ ඊට සතියකට පස්සේ කියන එක."
"මේ කාරණා කොහොමද නිල වශයෙන් ඇමතිවරයා විසින් ලේකම්වරයාට ලබා දෙන්නේ කියන එක ගැන රටේ ක්‍රමවේදයක් නැති නිසා එතැනදී ඇමතිවරයා අහුවෙන්නේ නෑ."
"නමුත් ලේකම්වරයාගේ ඉදන් පල්ලෙහාට ඉන්න කණ්ඩායම අහුවෙනවා ඔවුන් ලිඛිත තොරතුරු පදනම්කර ගෙන වැඩකරන කණ්ඩායමක් නිසා." ඔහු පැවසුවේය.
'හුඟ දෙනෙක් වහලා කතා කරන්නේ - මමයි පළවෙනි පැමිණිල්ල කලේ'
ප්‍රශ්නගත මානව ඉමියුනෝග්ලොබියුලීන් ප්‍රතිදේහ ඖෂධ සිදුවීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය සහ වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ තමන් මෙය දකින්නේ දේශපාලන වැඩපිළිවලක් ලෙස බවයි.
"කවුරුත් මේක දැන ගෙන නෙමේ කතා කරන්නේ.මම මේක දකින්නේ දේශපාලන වැඩපිළිවෙලක් විදිහටයි."
“මේ සම්බන්ධව මම සියලුම කැබිනට් පත්‍රිකා, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකළ ආකාරය ඇතුළු සියලුම කරුණු CID එකට භාරදීලා තියෙනවා."
"ඊට අමතරව දැන් තියෙන කරුණු ටිකත් මම ඔවුන්ට භාර දෙනවා."
"කවුරුත් අමතක කරපු, ඒ වගේම හුඟ දෙනෙක් වහලා කතා කරන දෙයක් තමයි මේ නඩුවේ පැමිණිලිකරු මම කියන එක."
"මමයි පළවෙනි පැමිණිල්ල කරන්නේ.ඊට පස්සේ තමයි අනිත් අය ගිහින් පැමිණිලි කරන්නේ ගිහිල්ලා."
"මට අඳුනගන්න ලැබුණා හොර බෙහෙත් ජාවාරමක් ක්‍රියාත්මක වෙනවා කියලා. පස්සේ මම ඒ ගැන පැමිණිල්ලක් කළා."
"ඊට පස්සේ මට ඒ කොම්පැනියේ අයිතිකාරයා තර්ජනාත්මකව ලියවිල්ලක් එව්වා. මම ඒ ලියමන CID එකට භාර දුන්නා. ඒවා ගැන කවුරුවත් කතා කරන්නේ නෑ. ඕක තමයි ඇත්ත." ඔහු පැවසුවේය.
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන එල්ලවූ චෝදනා සහ විමර්ශන කමිටු පත් කිරීම
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා නිරීක්ෂණය කිරීමට යාමේ සිදුවීමක් පිළිබඳව ද සෞඛ්‍ය සේවාවන්ට අදාළ වෘත්තීය සමිති විසින් එවකට ප්‍රශ්න කරන ලදී.
රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ඖෂධ මිලදී ගැනීමට ප්‍රමාණවත් විදෙස් මුදල් නොතිබීම නිසා හදිසි මිලදී ගැනීම් ලෙස මෙරට රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ ඇණවුම් කිරීම සිදුකරනු ලැබුවේ ඉන්දීය රජය විසින් ලබාදුන් ණය පහසුකම යටතේය.
වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලද සමයේදී රජයේ රෝහල් මගින් ප්‍රතිකාර සඳහා ලබාදුන් ඖෂධ ප්‍රමිතියෙන් තොර බාල ඒවා බවට අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල විය.
එහිදී ශල්‍යකර්ම සඳහා යොදා ගැනෙන නිර්වින්දන ඖෂධ සහ භාවිතයට ගැනුණු ප්‍රතිජීවක එන්නත් වර්ග ආසාත්මික වී රෝගීන් මිය යාමේ සිදුවීම් සහ ඇසේ සුද ඉවත් කිරීමෙන් පසු ශල්‍යකර්මයට ලක්වූ පුද්ගලයින්ට ලබා දුන් ඖෂධයක් නිසා පිරිසකගේ දෑස් නොපෙනී යෑම වැනි සිදුවීම් රැසක් වාර්තා විය.
ඒ අතර නිර්වින්දන ඖෂධයක් ලබාදීමෙන් පසුව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ගැබිණි මවක ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු මියයාම මෙන්ම උදරාබාධයකට ප්‍රතිකාර ලබන අතරවාරයේ 21 හැවිරිදි තරුණියක මිය යාමේ සිදුවීම් රටේ මහත් ආන්දෝලනයක් ඇති කරනු ලැබූ සිදුවීම් විය.
අසාත්මිකතා හේතුවෙන් රෝගීන් කිහිපදෙනෙකු මියයාමේ සිද්ධීන් පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළේ පසුගිය වසරේ ජුලි මාසයේදීය.
එම කමිටු වාර්තාව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට ඉකුත් වසරේ අගෝස්තු 9 වෙනිදා භාර දුන් අතර එහිදී ආසාත්මිකතා හේතුවෙන් ඇති වූ සංකූලතා හා මරණ සම්බන්ධ වූ විශ්ලේෂණයන්ට අනුව වාර්තා වූ මරණ 6 යෙන් පහක්ම දරුණු ආසාත්මිකතා (Anaphylaxis) හේතු කොටගෙන සිදු වූ බවට සඳහන් කර තිබිණි.
හිටපු සෞඛ්‍ය ඇමතිට එරෙහිව එල්ලවූ චෝදනා සහ විශ්වාස භංගය
ඖෂධ හිඟය, ඇතැම් ඖෂධ භාවිතා කිරීමෙන් පසු රෝගීන් මිය යෑම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩාවැටීම් පදනම් කරගෙන එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එනු ලැබිය.
පුරා දින 3ක විවාදයෙන් පසුව පැවති ජන්ද විමසීමේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 40කින් පරාජයට පත්කිරීමට ආණ්ඩුව සමත් විය.
‘තාක්ෂණිකව හොරකම් කරන්න පුලුවන් ක්‍රමයක් හැදිලා තියෙනවා’
සෞඛ්‍ය සේවයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ තාක්ෂණිකව හොරකම් කිරීමේ ක්‍රමවේදයක් නිර්මාණය වී ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් පැවසුවේය.
බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ වනවිට සෞඛ්‍ය සේවයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින්නේ ගැටළු සහගත තත්ත්වයක් බවයි.
"මේ කතාව ආරම්භ වෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින ගැටළු සහගත තත්ත්වයත් එක්ක."
"මේක කෙහෙළිය රඹුක්වැල්ලගේ කතාවට සම්බන්ධ වෙන්නේ මෑත කාලීනව. "
"සෞඛ්‍ය සේවාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඉතා නරක විදිහට තාක්ෂණිකව හොරකම් කරන්න පුළුවන් විදි ක්‍රමයක් හැදිලා තිබෙනවා."
"ඒ ක්‍රමයට අනුව සෞඛ්‍ය කේෂ්ත්‍රයට ඇවිල්ලා නියම ආකාරයෙන් ව්‍යාපාරයක් කරන්න විදිහක් නැහැ කොමිස්, අල්ලස් හෝ වෙනත් වරදාන ලබා නොදී."
"ඒක වෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ ඇතුලේ වැඩකටයුතු සිදුවන ක්‍රමවේදය, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටු, ප්‍රසම්පාදන කමිටු වැඩ කරන ක්‍රමවේදය හරහායි."
"ඖෂධ සමාගමකට එක පැත්තකින් ඒකාධිකාරියක් හදා ගන්න පුලුවන් වගේම අනෙක් පැත්තෙන් තත්ත්වයෙන් උසස් කියන ලේබල් එක ගහ ගන්න පුලුවන් මුදල් වියදම් කරලා." ඔහු කීයා සිටියේය.
මෙවැනි කටයුතු සිදුවන බවට වෘත්තීය සමිති කණ්ඩායම් ඒ පිළිබඳව පෙන්වා දුන්නද, ඒ පිලිබඳ විමර්ශනය නොකර ඒවා හෙළි කළ තමන් ඇතුළු කණ්ඩායම චෝදනාවන්ට ලක් කොට වැඩ තහනම් කිරීම දක්වා ගෙන යාමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන කමිටුව උත්සහ දැරූ බව රවී කුමුදේශ් මෙහිදී පැවසුවේය.
"ඒ සියල්ලම සිදුකලේ දේශපාලන මැදිහත්වීමක් එක්ක. එතකොට ඒ දේශපාලන මැදිහත්වීම් එක්ක අපට පෙනී ගිය එකක් තමයි මේකේ තාක්ෂණික ක්‍රමවේදය හරහා හොරකම් කරන්න ඉඩ හැර තිබෙනවා කියන එක."
"ආර්ථික අර්බුදය සහ කොවිඩ් වසංගතය එක්ක ඇතැම් සමාගම් මෙය ව්‍යාපාර මොඩලයක් බවට පත් කර ගැනීමට කටයුතු කළා." ඔහු කියා සිටියේය.
ඉල්ලුම් නොකළ ලංසු නිසා ඇතිවූ තත්ත්වය
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ සමයේදී ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේ දී ඉන්දියාවට ගොස් එක් සමාගමක් තෝරා ගෙන ඉන් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියකට යොමු වූ බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා පෙන්වා දෙන ලදී.
"හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ඉන්දියාවට ගිහින් එක් සමාගමක් තෝරා ගෙන ඒ සමාගමෙන් විතරක් ඖෂධ මිලදී ගන්න, කැබිනට් පත්‍රිකාවක් දාලා ඉල්ලුම් නොකළ ලංසු කියන ක්‍රමවේදයට යන්න ගියා."
"මේක ඇතුලේ අපිට පෙනුණා යම් ගැටළු සහගත තත්ත්වයක් තිබෙනවා කියලා. අපි ඉතා අසීරුවෙන් සමහර කාරණා ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. "
"එසේ කරද්දී සිවිල් සංවිධාන සමග එක්ව කටයුතු කරන්න වුණා; මොකද කියනවනම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන ඒකකය කළේ ප්‍රශ්නය ගැන හොයන්නේ නැතුව ඒක ගැන හෙළි කරන සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට එරෙහිව කටයුතු කිරීමයි." ඔහු පැවසුවේය.
'හොර සහතික නිකුත් කළේ කවුදැයි මෙතෙක් හෙළිවෙලා නෑ'
ප්‍රශ්න සහගත ඉමියුනෝග්ලොබියුලින් ගනුදෙනුව සම්බන්ධයෙන් හොර සහතික නිකුත් කර ඇති බවට ඖෂධ නියාමන අධිකාරිය විසින් ප්‍රකාශ කළේ සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් දිගින් දිගටම සිදුකළ චෝදනා හේතුවෙන් බව ද මෙහිදී රවී කුමුදේශ් පැවසුවේය.
"ඖෂධ නියාමන අධිකාරිය එයාලගේ ගැලවීම සඳහා මේ සමහර ගණුදෙනු කරලා තියෙන්නේ හොර සහතික වලින් කියලා කියන්න ගත්තා."
"හොර සහතික ගැහුවේ ඖෂධ නියාමන අධිකාරියද , සමාගමද එහෙම නැත්නම් අධිකාරිය දැනුවත්ව ගහපු හොර සහතික ද කියලා තවම අපි දන්නේ නැහැ. "
"ඒ ගැන හෙළිදරව්වක් වෙලා නැහැ තවම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශන වලින්."
"නමුත් ඒ හොර ව්‍යාජ සහතික සිදුවීමත් එක්ක තමයි අපිට හෙලිවෙන්නේ මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කියන එන්නත් ඉන්දියාවේ ඉදලා ගේනවා කිව්වට එහෙන් ගෙන්නලත් නැහැ, ඒ සමාගම මේ වගේ එන්නතක් හදලත් නෑ, ඒ වගේම මේ එන්නත් වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පස්සේ ලක්ෂ 1400 ක මුදලක් ගෙවලා තියෙනව කියන එක වගේම මේ එන්නත් රජයේ රෝහල් වලට බෙදා දීලා ඒවා ලබලා දුන්නා කියලා රෝගීන්ට."
"හැබැයි ඒ එන්නත් දුන්න රෝගීන්ට මොකක්ද වුණේ කියලා අද වෙනකන් අපි දන්නෙත් නෑ."
"මෙතනින් අපි අවුරුදු 4-5ක් පුරාවට කිව්ව ලංකාවේ සෞඛ්‍ය සේවයේ සිද්ධ වෙනවා කියන තාක්ෂණික හොරකම කියන එක ගැන හෙළිදරව් වෙනවා."
"ඒ එක්කම කියන්න ඕන මේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් කතාවෙන් අපි අදහසක් ගන්න හොද නැහැ ලංකාවේ සිද්ධ වුන එකම ගනුදෙනුව මේක කියලා හරි ඖෂධ වලින් ගසා කෑම හරි පගා ගත්ත කියන එකම සිදුවීම මේක කියලා." ඔහු කියා සිටියේය.
'කෙහෙළිය ගෝ ගම' විරෝධතාවය
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිදුවීම සඳහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් ජනවාරි මස 31 වැනිදා වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී "කෙහෙළිය ගෝ ගම" යනුවෙන් විරෝධතාවයක් ආරම්භ කරනු ලැබීය.
කෙසේ වුවද එලෙස විරෝධතාවය ආරම්භ කළ සිවිල් ක්‍රියාකාරීන් 10 දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන (පෙබරවාරි 01) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී ඔවුන්ට ඇප නියම විය.














