කෙහෙළිය ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

ඡායාරූප මූලාශ්‍රය, Keheliya Rambukwella|Facebook
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් (පෙබරවාරි 29 වැනිදා) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරනු ලැබීය.
සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.
මෙම නඩුව අද (පෙබරවාරි 15වැනිදා) මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඉදිරියේ කැදවනු ලැබූ අවස්ථාවේදී සැකකාර හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි.
ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයා විසින් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
‘අමාත්‍ය මණ්ඩලය නොමඟ යවලා’
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ඉන් අනතුරුව පරීක්‍ෂණවල ප්‍රගතිය පිළිබඳ, කරුණු ඉදිරිපත් කළාය.
"ස්වාමීනි.... රට තුළ ඖෂධ වර්ග 182 ක හිඟයක් පවතින බවත් ඒවා හදිසි මිලදී ගැනීමක් නොකලොත් මාස තුනකින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාවැටිය හැකි බව සඳහන් කරමින් සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කළා. මේ ආකාරයෙන් ඖෂධ වර්ග 182 ක් පිලිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව හදිසි මිලදී ගැනීමක් යටතේ සිදුකිරීමට 2022 වසරේ ඔක්තෝබර් මස 24 වැනිදා අනුමැතිය ලබා ගෙන තිබෙනවා. මේ පිළිබඳව අපි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. එම ප්‍රකාශයෙන් අපට අනාවරණය වුණා සැකකාර අමාත්‍යවරයා හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගැනීමට යෝජනා කළ ඖෂධ වර්ග 182 ක එම අවස්ථාව වන විටත් රට තුළ ප්‍රමාණවත් තොග පැවැති බව. ඒ අනුව පැහැදිලි වෙනවා සැකකාර අමාත්‍යවරයා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අමාත්‍ය මණ්ඩලය නොමග යවමින් මෙම හදිසි මිලදී ගැනීම සිදුකර ඇති බව." යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය.
'හදිසි මිලදී ගැනීම්වලට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවල මුල්ගොනු නැහැ'
වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම නඩුකරයට පාදක වන හදිසි මිලදී ගැනීම් වලට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවල මුල්ගොනු නොමැති බවත් පැවසුවාය.
ස්වාමීනි... මෙම නඩුකරයට පාදක වන ඖෂධ වර්ග 182 ක් මිලදී ගැනීම් වලට අදාළ කැබිනට් පත්‍රිකාවේ මුල්ගොනු, සටහන් හා ලේඛන සියල්ල ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියා. එහෙත් එම මුල්ගොනු නොමැති බව එම අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා. හදිසි මිලදී ගැනීම් යටතේ මිලදී ගත් ඖෂධ මොනවාද කියා මේ දක්වා විමර්ශන වලදී කරුණු අනාවරණය වී නෑ. ඒ සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක් මේ දක්වා සොයාගැනීමට නොහැකි වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඖෂධ මිලදී ගැනීමේ විශේෂ පටිපාටියක් තිබෙනවා. මුලින්ම මිලදී ගැනීමට අපේක්ෂිත ඖෂධ වර්ගය, රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කෙරෙනවා. ඉන් නිසි ප්‍රමිතයක් පවතින බව තහවුරු වන ඖෂධ පමණයි මිලදී ගැනීම් සිදු කරන්නේ. මෙම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ශක්තිමත් නීති මාලාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසයි ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යය ඉහළ මට්ටමක් පැවතින්නේ. එහෙත් මෙම නඩුකරයට පාදක වන ඖෂධ මිලදී ගැනීමේ දී එම නීතිමය ක්‍රියාමාර්ග කිසිවක් සැකකාර හිටපු අමාත්‍යවරයා විසින් අනුගමනය කර නෑ" යනුවෙන් සඳහන් කළාය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එම අවස්ථාවේදී ප්‍රශ්නයක් මතු කළ මහේස්ත්‍රාත්වරිය "මෙම ලේඛන තිබුණේ කවුරු භාරයේ දැයි " විමසුවාය.
ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය මෙම ලේඛන පැවැතියේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් නිශ්පාදන අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක භාරයේ බවත් සඳහන් කර සිටියාය.
වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය "මෙම නඩුකරයට අදාළ විමර්ශන වලදී අනාවරණය කර ගත් ප්‍රශ්නගත ඖෂධ වර්ග 182 ක් හදිසි මිලදී ගැනීමක් යටතේ ලබාගෙන තිබෙන්නේ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය නොකරයි. එම ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ නොවන බවත් අනාවරණය වී තිබෙනවා. මේ හරහා සැකකාර හිටපු අමාත්‍යවරයා රුපියල් මිලියන 1444 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය පරිහරණයක් සිදුකර තිබෙනවා. මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා යොදාගෙන තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔක්සිජන් මිලදී ගැනීමේ වැය ශීර්ෂය තුළ තිබූ මුදල් ප්‍රතිපාදන යොදාගෙන තිබෙන බව විමර්ශන වලදී අනාවරණය වුණා. යම් ඇමතිවරයෙක් ඇමැති මණ්ඩලය හමුවට ගොස් යම් අනුමැතියක් ලබා ගතහොත් එහි වගකීම අදාළ ඇමතිවරයා වෙත පැවරෙනවා."යනුවෙන් සඳහන් කළාය.
වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය "මෙම විමර්ශනයට අවශ්‍ය කරන ඖෂධ ඇගයීම් කමිටුවේ සිටි ජයනාත් බුත්පිටිය සහ ටී.ආර්.සුදර්ශන යන වෛද්‍යවරු දෙදෙනා මෙම විමර්ශන ආරම්භ කිරිමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලබා රාජකාරි නිවාඩු මත විදේශ ගත වී තිබෙනවා. වෛද්‍ය ජයනාත් බුත්පිටියගේ විදේශ ගමන් තහනම් කරමින් අපි අධිකරණ නියෝගයක් ලබාගත් දිනට පෙර දිනයි ඔහු විදේශ ගත වී තිබෙන්නේ. විමර්ශන මගහැරීම සඳහායි ඔහු මේ ආකාරයෙන් විදේශ ගත වී සිටින්නේ.මෙම විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මේ මස 26 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා විසින් ඔහුගේ ඊ මේල් ලිපිනයට පණිවිඩයක් යවා තිබෙනවා." යනුවෙන් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම වෛද්‍යවරු දෙදෙනා රාජකාරී නිවාඩු මත විදේශ ගත වී සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය මත බවත් සඳහන් කර සිටියාය.
ඒ අනුව සැකකාර හිටපු අමාත්‍යවරයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි පවතින බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, " ස්වාමීනි... මෙම බී වාර්තාවේ සඳහන් වරදවල් මගේ සේවාදායකයා විසින් සිදු කර නෑ. 2022 තුන්වන මාසය වනවිට රටේ ආර්ථික අර්බුදයක් මතුවී විශාල අරගලයක් ඇතිවුණා. රුපියල් 203 ට පැවති ඩොලරය රුපියල් 365 දක්වා ඉහල ගියා. එම කාල වකවානුවේ රට තුළ ඖෂධ හිඟයක් පැවතුනා. රට තුළ මතුවී තිබෙන ඖෂධ හිඟය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් නිවේදන නිකුත් කර තිබූණා. දෙස් විදෙස් මාධ්‍යත් මේ පිළිබඳ වාර්තා පළකළා. ඔය කාලයේ ඖෂධ ආනයනය කිරීම සඳහා රජයට විදේශ විනිමය තිබුණේ නැහැ. එම වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙනවා බෙහෙත් වර්ග 182 ක් අඩු බව. ඒ අනුව භාණ්ඩාගාරය සැකකාර ඇමතිවරයාට දැනුම් දෙනවා ඉන්දීය ණය පහසුකම් යටතේ ඒවා මිලදී ගන්න කියලා. ඒ නිසා තමයි ඉන්දියානු ණය ක්‍රමය යටතේ මෙම ඖෂධ මිලදී ගැනීම සිදු කළේ. ඒ නිසා මේ චෝදනා පදනම් විරහිතයි. ස්වාමීනි.. ඊට අමතරව මෙම සැකකරු නිදාගන්න අවස්ථාවේදී ඔහුගේ සිරුරේ ඔක්සිජන් මට්ටම පහත යන රෝගී තත්ත්වයක් තිබෙනවා. ඒ හරහා ඔහුට හුස්ම ගැනීමේ අපහසුතාවයක් මතු වෙනවා. ඊට අමතරව උදරයේ සහ වකුගඩු ආබාධ තත්ත්වයක් තිබෙනවා" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා තම සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද්වේශ සහගත ලෙස ඔහු අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් කළේය.
එම අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ලගේ රෝගී තත්ත්වය විදහා පාන අන්තර්ජාලයෙන් ලබා ගත් ලේඛනයක් විත්තියේ නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එය භාරගැනීම මහේස්ත්‍රාවරිය විසින් ප්‍රතික්ෂේප කළාය.
එය ඡායා පිටපතක් බැවින් එය භාර ගැනීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරිය පැවසුවාය.
තවත් සැකකරුවකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරාල අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන වෛද්‍ය සමන් රත්නායක මෙතෙක් අත් අඩංගුවට ගෙන නොමැති බව සඳහන් කළේය.
සමන් රත්නායක අත් අඩංගුවට නොගන්නේ ඔහු සී.බී.රත්නායකගේ සොහොයුරා නිසා දැයි ප්‍රශ්න කළ නීතිඥවරයා එය දන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා පමණක් බවත් සඳහන් කර සිටියේය.
සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද තම සේවාදායකයින් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඇප ඉල්ලීම් ඉදිරිපත් කළේය.
'අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා එතුමා පාර්ලිමේන්තු යන්න බැහැ කිව්වා'
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නව පාර්ලිමේන්තු සභා වාරයට සහභාගි වීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව (පෙබරවාරි මස 07 වෙනිදා) ප්‍රකාශ කරන ලදී.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි දිසානායක බීබීසී සිංහල සේවයට පැවසුවේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවට යාමට නොහැකි බවට හිටපු අමාත්‍යවරයා දැනුම් දුන් බවයි.
"පාර්ලිමේන්තු වේත්‍රධාරි විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කරලා තිබ්බා කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමතිවරයාට අද දවසේ පාර්ලිමේන්තු කටයුතු සඳහා පැමිණීමට අවශ්‍ය කටයුතු කරන්න කියලා."
"ඒ අනුව අපි හිටපු ඇමතිවරයාගෙන් කැමැත්ත විමසුවාම එතුමා දැනුම් දුන්නා තමන්ගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා පාර්ලිමේන්තු සභා වාරයට යාමට නොහැකි කියලා."
"ඒ වගේම අපි ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ලිඛිතව දැනුම් දීමට කටයුතු කළා." බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ චෝදනාවට මෙම මස 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තමන් දරමින් සිටි පරිසර අමාත්‍ය ධුරයෙන් ( පෙබරවාරි 06 වෙනිදා) ඉල්ලා අස්විය.
මේ අතර 09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් (පෙබරවාරි 07) උත්සවාකාරයෙන් විවෘත කිරීම සිදුකෙරුණි.
අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම
පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත පෙබරවාරි මස 06 වෙනිදා යොමු කර ඇත.
අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකානායකගේ අත්සනින් යුතුව රජයේ මුද්‍රණාලය විසින් නිකුත් කරනු ලැබීය.
2024.02.03 දින සිට අදාළ ඉල්ලා අස් වීම බලපැවැත්වෙන බව අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්ය.
ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර සිදු වුයේ කුමක්ද?
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ දී ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් වූ චෝදනාව මත කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය පෙබරවාරි මස 02 වෙනිදා අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගනු ලැබූ ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත පෙබරවාරි 03 වෙනිදා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි මස 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය.
කෙහෙළියට එරෙහි විශ්වාස භංගය සහ විරෝධය
මේ අතර කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව නැවත වරක් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව මීට පෙර සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදා ප්‍රකාශ කර සිටියේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ කෙහෙළිය රඹුක්වැල්ලට ජනතා බදු මුදලින් නඩත්තු වීමට කිසිදු අයිතියක් නොමැති බවයි.
මේ අතර බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වීමත් සමග ඔහුට එරෙහිව සමාජයේ ප්‍රබල විරෝධතාවක් ඇතිවිය.
සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ පිරිස් කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි බලකර සිටියහ.












