'ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි' කාන්තාවක් අත්අඩංගුවට ගැනීම: හසලක පොලිස් ස්ථානාධිපති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

ඡායාරූප මූලාශ්‍රය, SUNDAY OBSERVER
- Author, බීබීසී සිංහල
2019 වසරේ "ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් ඇඳ සිටියේ යැයි" කාන්තාවක අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම තුළින් හසලක පොලිස් ස්ථානාධිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද [ජූලි 30] තීන්දු කරන ලදී.
මෙසේ අත්අඩංගුවට පත්ව තිබූ කොලොන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහිම් මසාහිනා නමැති කාන්තාවක විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.
'ධර්ම චක්‍රයක් නොව නැවක සුක්කානමක්'
අදාළ අත්අඩංගුවට ගැනීම සිදුකළ හසලක පොලීසියේ එවකට ස්ථානාධිපතිවරයා වූ පොලිස් පරීක්ෂක චන්දන නිශාන්ත විසින් ඔහුගේ පෞද්ගලික මුදල් වලින් රුපියල් 30,000.00 ක මුදලක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවට විනිසුරු මඩුල්ල විසින් නියම කරන ලදී.
එම වන්දි මුදල ගෙවීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ අරමුදල් හෝ පොලිස් සාමූහික අරමුදලේ මුදල් භාවිත නොකළ බවට පොලිස්පතිවරයා විසින් අධිකරණයට සහතිකයක් ලබාදිය යුතු බවටත් නියෝගයේ සඳහන් විය.
ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනතේ (ICCPR) 3(1) වගන්තිය යටතේ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමේදී අනුගමනය කළ යුතු පැහැදිලි කිරීම් දැක්වෙන චක්‍රලේඛයක් නීතිපතිවරයාගේ අනුමැතියට යටත්ව පොලිස් ස්ථානවලට නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියම කරන ලදී.
පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පුලස්ති හේවාමාන්න අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායිකාව ධර්ම චක්‍රයක් සහිත ඇඳුමක් පැළඳ සිටි බවට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූව ද, පසුව එය නැවක සුක්කානමක් බවට කරුණු අනාවරණය වී ඇතැයි කියා සිටියේ ය.
ඒ අනුව ඇය එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත (ICCPR) යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම නීතියට පටහැණි බවට නීතිඥවරයා තර්ක කළේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්හ.
සිදුවීම කුමක් ද?
2019 වසරේ මැයි මස 17 වන දා හසලක පොලිස් වසම තුළදී "ධර්ම චක්‍රය" සහිත ඇඳුමක් හැඳ සිටියේ යැයි මෙම පෙත්සම්කාරිය අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබිණි.
කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින්, පොලිසිය සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කාරිය විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.














