විශ්‍රාමික ජනපතිවරුන්ගේ හිමිකම් අවලංගු කරන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බව අද (අගෝස්තු 25 වැනිදා) නිවේදනය කළේය.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි.
රජය වෙනුවෙන් මෙම පෙත්සම් විභාගයට සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න පෙනී සිටියේය.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා, සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ, නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී එස්.එම්. විජේවික්‍රම ඇතුළු පිරිසක් පෙත්සම් හයක් ඉදිරිපත් කර තිබිණි.
එම පෙත්සම්වල වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.
පෙත්සම්වල තර්ක
මෙම පෙත්සම් පිළිබඳ විභාගය අද (අගෝස්තු 25 වැනිදා) පෙරවරුවේ ආරම්භ වූ අවස්ථාවේදී
පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නාවික හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී එස්.එම්. විජේවික්‍රම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් 1986 අංක 04 දරණ ජනාධිපති හිමිකම් පනතේ 03 වන වගන්තිය යටතේ විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හෝ වැන්දඹු භාර්යාවට නිවාස, විශ්‍රාමික දීමනා, කාර්ය මණ්ඩල පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් සලසා දීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඇතැයි සඳහන් කළේය.
නිවසක් ලබා නොදෙන අවස්ථාවක විශ්‍රාමික ජනාධිපතිවරුන්ට ලබාදෙන විශ්‍රාමික දීමනාවෙන් තුනෙන් එකක මුදලක් නිවාස කුලී වශයෙන් රජය විසින් ගෙවිය යුතු බව එහි දක්වා තිබේ.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) සහ 36(4) ව්‍යවස්ථාව තුළින් විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් සුරක්ෂිත කර ඇත.
පාර්ලිමේන්තුව විසින් නියම කරනු ලබන දීමනාවක් ලැබීමට විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හෝ ඔවුන්ගේ වැන්දඹුවට හිමිකම් පවතින අතර ඒවා වැඩිකිරීමට මිස අඩු කිරීමට හැකියාවක් නොමැති අතර එම ව්‍යවස්ථා ප්‍රතිපාදන තුළින් අවධාරණය කර තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා " ස්වාමීනි... ජනාධිපතිවරයා සතු වරප්‍රසාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා බැඳුණු කරුණක් බැවින් ඊට අදාළ සංශෝධන සිදු කිරීමේදී පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත වීමට අමතරව ඒ සඳහා ජනතා අනුමැතිය ලබා ගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නඩු තීන්දු වලින් ප්‍රකාශ කර තිබෙනවා. 2015 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් තමන් සතු ඇතැම් බලතල අත් හැරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කළා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා මෙම බලතල ඉවත් කරනවා නම් ඒ සම්බන්ධයෙන් මහජනතාවගෙන් අනුමැතිය ලබාගත යුතු බව. මොකද මේ බලතල පවරා තිබෙන්නේ විධායක ජනාධිපතිවරයාට මිස මෛත්‍රිපාල සිරිසේනට නොවන බවත් එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නා." යනුවෙන් සඳහන් කළා.
වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා "ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා විශ්‍රාම යෑමෙන් අනතුරුව ඔහුට හිමි විශ්‍රාම දීමනා ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. එහෙත් ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ජනාධිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. කොංග්‍රස් මණ්ඩලය සඳහන් කළා මේ වරප්‍රසාද සලසා දෙන්නේ ඔබට නොවෙයි. ඔබේ තනතුරට. ජනාධිපති ධූරයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහායි එම වරප්‍රසාද ලබා දෙන්නේ. ඒ නිසා එම වරප්‍රසාද අත් හැරීමට හැකියාවක් නෑ.යනුවෙන් ඇමෙරිකානු කොංග්‍රසය සදහන් කළා." යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා යහපත් වටිනාකම් සහිත පුද්ගලයින් මෙවැනි තනතුරු වෙත පත්වීම සඳහා මෙවැනි වරප්‍රසාද සලසා දීම වැදගත් බවත් සඳහන් කර සිටියේ ය.
වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා "ස්වාමීනි....ජනාධිපතිවරුන්ට සිය නිල කාලය තුළ දැඩි අවදානම්කාරී තීන්දු ගැනීමට සිදුවෙනවා. නිදසුනක් වශයෙන් 2009 වසර සදහන් කළ හැකියි. එම වසරේ අපේ ආරක්ෂක හමුදා කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම එක ස්ථානයකට කොටු කළා. ඒ අවස්ථාවේදී යුද්ධය නවත්වන ලෙස ශ්‍රී ලංකා රජයට විශාල බලපෑමක් එල්ල වුණා. විශේෂයෙන් බටහිර රටවල් වලින් විශාල බලපෑමක් එල්ල වුණා. ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයේ විදේශ ඇමතිවරු ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපතිවරයා හමුවී යුද්ධය නවතා කොටි සංවිධානය සාකච්ඡා මේසයට කැදවන ලෙස යෝජනා කළා. නමුත් ජනාධිපතිවරයා එම බලපෑම් වලට අවනත වුණේ නෑ. ඔහු දැඩි අවදානමක් ගෙන එම බලපෑම් ප්‍රතික්ෂේප කළා. රාජකාරී කාලය තුළ අවදානම්කාරී තීන්දු ගන්නා ජනාධිපතිවරු විශ්‍රාම ගිය පසු ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැනට පවතින ජනාධිපති හිමිකම් පනත බෙහෙවින් වැදගත් වෙයි " යනුවෙන් ජනාධිපති නීතීඥ අලි ශබ්රි සදහන් කළේය.
විධායක ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් තේරී පත්වන අතර එසේ පත්වන ජනාධිපතිවරයාට විශ්‍රාම යෑමෙන් පසු හිමිවන වරප්‍රසාද කප්පාදු කිරීම පාර්ලිමේන්තුවට පමණක් සිදු කළ නොහැකි බවත් ඒ සඳහා මහජනතාවගේ අනුමැතිය ලබා ගැනීම සඳහා ජනමත විචාරණයක් සදහා යොමු කළ යුතු බවත් ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසීය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අශෝක් බරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාර්ලිමේන්තුව විසින් ජනාධිපති සතු බලතල යටපත් කිරීමට උත්සාහ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පවතින බලය බෙදීමේ සිද්ධාන්තයන්ට පටහැනි බව සඳහන් කළේය.
ඒ අනුව විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් තහවුරු කර තිබෙන අයිතිවාසිකම් බවත් මහජන අනුමැතියකින් තොරව ඊට අත් තැබීමට හැකියාව නොමැති බවත් ඔහු ප්‍රකාශ කර සිටියේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය කතානායකවරයාට
තවත් පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන යෝජිත පනත් කෙටුම්පතේ ඇතුළත් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ පවතින බලය බෙදීමේ සිද්ධාන්තයට පටහැනි බව කියා සිටියේය.
මේ තුළින් ව්‍යවස්ථාදායක විසින් විධායකය යටපත් කිරීමේ උත්සාහයක් දක්නට තිබෙන අතර එය භයානක තත්ත්වයක් යැයි චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා මේ තුළින් ජනතා පරමාධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය වන බවත් සඳහන් කළේය.
යෝජිත පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 36 වන ව්‍යවස්ථාව අත් හිටුවීමක් සිදුවන අතර මේ හරහා ජනතා පරමාධිපත්‍යය, ස්වෛරීභාවය මෙන්ම ජනාධිපතිවරයාට ස්වාධීනව කටයුතු කිරීමට තිබෙන අවකාශය අහිමි කෙරෙන බවත් ඒ අනුව අදාළ පනත් කෙටුම්පත කිසිසේත්ම සම්මත කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා වැඩිදුරටත් චෝදනා කළේය.
අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කර තිබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ සහ සබරගමූව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වන මහින්ද පතිරණ යන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමන් ගලප්පත්ති අධිකරණය හමුවේ කරුණු දක්වමින් විශ්‍රාමික ජනාධිපතිවරුන්ට විශ්‍රාම දීමනා ඇතුළු වරප්‍රසාද සලසා දී තිබෙන්නේ මහජනතාව විසින් යැයි සදහන් කර සිටියේ ය.
ඒ අනුව අදාළ වරප්‍රසාද කප්පාදු කරන්නේ නම් එය අනිවාර්යයෙන්ම ජනමත විචාරණයක් සදහා යොමු කළ යුතු බවත් නීතිඥවරයා සඳහන් කළේය.
රජය වෙනුවෙන් සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් " ස්වාමීනි...1970 මැතිවරණයේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ රජය තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් ජයග්‍රහණය කළා. එම මැතිවරණයේදී බණ්ඩාරනායක මැතිනිය ජනතාවට ප්‍රතිඥාවක් ලබා දුන්නා තම රජය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවට. ඒ අනුව ජයග්‍රහණයෙන් පසුව පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ලෙස පරිවර්තනය කර 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කළා. ඒ අනුව ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කෙරුවා. එය බ්‍රිතාන්‍ය රජයත් පිළිගත්තා. මෙරට පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ.ආර්.ජයවර්ධන මහතා තේරී පත් වුණේ මහජන චන්දයෙන් නොවේ. එවක පැවති ජනරජ ව්‍යවස්ථාවට සිදුකළ සංශෝධනයක් හරහා තමයි ඔහු විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූණේ. 1977 මහ මැතිවරණය සමයේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස ජේ.ආර්.ජයවර්ධන මහතා ජනතාවට ප්‍රතිඥාවක් ලබා දුන්නා තම රජය බලයට පත් වීමෙන් පසු විධායක ජනාධිපති ධුරය සහිත නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවට. ඒ අනුව අදාළ මැතිවරණයේදී ජයවර්ධන මහතාගේ රජය හයෙන් පහක වැඩි බලයකින් ජයග්‍රහණය කළා. ඒ අනුවයි නව විධායක ජනාධිපති ක්‍රමය සහිත 1978 වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය වුණේ. වත්මන් රජයත් ඉකුත් මැතිවරණ සමයේ මහජනතාවට ප්‍රතිඥාවක් ලබා දුන්නා තමන් බලයට පත් වීමෙන් පසුව විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි වරප්‍රසාද ඉවත් කරන බවට. ඒ අනුව තමා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ. යෝජිත පනත් කෙටුම්පත තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම සඳහා ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් නොවේ.. එහි අරමුණ 1986 අංක 04 දරණ ජනාධිපති හිමිකම් පනත ඉවත් කිරීම පමණයි. මේ තුළින් විශ්‍රාමික ජනාධිපතිවරුන්ට හිමි විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් ගැටලුවක් මතු වන්නේ නෑ.
එම නිසා අදාළ පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කිරීමට අවශ්‍ය වන්නේ නෑ." යනුවෙන් සඳහන් කළේය.
වැඩිදුරටත් කරුණු දැක්වූ සොලිසිටර් ජෙනරාල්වරයා"මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන්නේ රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති මය තීරණයකට අනුවයි. මේ තුළින් ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුප ගැන කතා කරන්නේ නෑ. මේ තුළින් සිදු වන්නේ ජනාධිපති හිමිකම් පනත අහෝසි කිරීම පමණයි. ඉකුත් මැතිවරණ වලදී ජනතාවට ලබාදුන් ජනවරම අනුවයි මෙය සිදු වන්නේ. එය ශ්‍රී ලංකාවට අලුත් දෙයක් නොවෙයි. 1972 සහ 1978 වසර වල මේ ක්‍රියාවලිය අනුගමනය කර තිබෙනවා. මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ නෑ. පෙත්සම්කරුවන් චෝදනා කරන ආකාරයට ජනතා පරමාධිපත්‍යය හෝ රාජ්‍යයේ ස්වෛරීභාවය උල්ලංඝනය වන්නේ නෑ." යනුවෙන් සඳහන් කළ සොලිසිටර් ජෙනරාල්වරයා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවත් සඳහන් කර සිටියේ ය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පෙත්සම්වලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන බ්‍රහස්පතින්දා දහවල් 12ට පෙර ඉදිරිපත් කරන ලෙස පාර්ශ්වකරුවන්ට නියෝග කළේය.
ඉන් අනතුරුව මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත යොමු කරන බවත් විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය.














