දේශගුණික විපර්යාසවලින් ජනතාවට සිදුවන හානි වළක්වා නොගත්තැයි ගෝඨාභයට සහ රනිල්ට එරෙහි පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

ඡායාරූප මූලාශ්‍රය, ISHARA S. KODIKARA/AFP via Getty Images
- Author, බීබීසී සිංහල
දේශගුණ විපර්යාසවලින් ජනතාව පීඩාවට පත්වීම අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් නොකිරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (සැප්: 08) අවසර දුන්නේ ය.
පෙත්සම ගොනු කරනු ලැබුවේ, පරිසර යුක්ති කේන්ද්‍රය විසිනි.
ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම අද කැඳවනු ලැබිණි.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ඇති වන තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා රජයන් විසින් නිසි වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මහ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන බව පෙන්වා දුන්නේ ය.
ජලගැලීම්, නියඟය, නාය යාම්, ඇතුළු පාරිසරික විපර්යාස නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවගේ ජීවිත අහිමිවීම, වාසස්ථාන අහිමිවීම, රැකියා අහිමිවීම ඇතුළු ව්‍යසනයන් රාශියකට මුහුණ දීමට සිදුවන බවත් ඔහු සඳහන් කළේ ය.
මෙවැනි දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමට හැකි වැඩපිළිවෙළක් සකස් කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වීම නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට මහ ජනතාවට මුහුණ දීමට සිදුවී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
දේශගුණ විපර්යාස හේතුවෙන් සිදුවන ව්‍යසන වැළැක්වීම සඳහා රජය විවිධ ජාත්‍යන්තර සම්මුතිවලට එළඹ තිබෙන බව පෙන්වා දුන් නීතිඥවරයා, ඒ යටතේ දේශගුණ විපර්යාසවලින් සිදුවන ව්‍යසන අවම කිරීම සඳහා විවිධ වැඩසටහන් රට තුළ ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටින බව කියා සිටියේ ය.
එහෙත් රජය ජාත්‍යන්තර සම්මුති හරහා ඇති කරගෙන තිබෙන එකඟතාවන්ට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වී ඇති බව නීතිඥවරයා චෝදනා කළේ ය.
මේ තුළින් මහ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය ඉල්ලා සිටියේ ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනු කිරීමට වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නේ ය.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය මාර්තු මස 13 වන දා පැවැත්වීමට ද විනිසුරු මඩුල්ල විසින් දින නියම කරන ලදී.








![2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද [ජූලි 23] තීන්දු කළේ ය.](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/1573/live/0087b6c0-6789-11f0-af20-030418be2ca5.jpg.webp)





