පාස්කු ඉරිදා ප්‍රහාරය: අගෝස්තු 30ට පෙර වන්දි ගෙවා අවසන් කරන්නැයි හිටපු ජනපති මෛත්‍රීට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට ගෙවීමට නියම කළ වන්දි මුදල් ඔවුන් විසින් ලබන අගෝස්තු 30 වැනිදාට පෙර සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් නොකරන්නේ නම් එම පිරිසට එරෙහිව සැප්තැම්බර් 20 වැනිදාට පෙර අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (ජුලි 15 වැනිදා) නීතිපතිවරයාට නියෝග කළේය.
එසේම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධනට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් නියෝගයක් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම වෙත දැඩි දෝෂාරෝපණ එල්ල කළ සත් පුද්ගල විනිසුරු මඩුල්ල එම විනය පරීක්ෂණ කඩිනම් කර එහි ප්‍රගතිය සැප්තැම්බර් මස 20 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කර සිටියේය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 කට අදාළ වන්දි ගෙවීමේ කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා එම පෙත්සම් අද කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කෙරුණි.
මෙම පෙත්සම් අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය , මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයි රාජා , ඒ. එච්. ඒම්.ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුණි.
වන්දිය සම්පූර්ණයෙන් ගෙවා ඇත්තේ කවුද?
මෙම පෙත්සම් කැඳවූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සිසිර මෙන්ඩිස් තමන්ට ගෙවීමට නියම කරනු ලැබූ සම්පූර්ණ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බව දැනුම් දුන්හ.
ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50 ක් ද හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10 ක මුදලක්ද වන්දි වශයෙන් ගෙවා අවසන් කර තිබෙන බවත් ඔවුහු දැනුම් දුන්හ.
ඉන් අනතුරුව අදාළ පෙත්සම්වල තවත් වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 75 ක වන්දි මුදලින් රුපියල් මිලියන 1.8 ක් ගෙවා තිබෙන බව ඔහුගේ නීතිඥවරයා දැනුම් දුන්නේය.
වග උත්තරකාර පූජිත් ජයසුන්දර අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍යාමල් කොල්ලුරේ තම සේවාදායකයා රජයේ සේවකයෙකු බවත් රුපියල් ලක්ෂයක විශ්‍රාම වැටුපකට පමණක් හිමිකම් කියන බවත් සඳහන් කළේය.
එම අවස්ථාවේදී සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු එස්.තුරෙයි රාජා ප්‍රශ්නයක් මතු කරමින් “මෙම වග උත්තරකරු හිටපු පොලිස්පතිවරයෙක්. ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට තමන් සතු වත්කම් පිළිබඳව දිවුරුම් පෙත්සමක් ලබාදී තිබෙනවා. එම දිවුරුම් පෙත්සමට අනුව ඔහු සතුව දේපල 30 ක් පමණ තිබෙනවා. රුපියල් මිලියන 14 ක ස්ථාවර තැන්පතුවකුත් තිබෙනවා. ඉතින් මෙම මුදල ගෙවන්න බැරි ඇයි?” යනුවෙන් පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
එම අවස්ථාවේදී නීතිඥවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තම සේවාදායකයාගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බව ය.
‘දේපළ රජයට පවරාගෙන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා අදාළ මුදල් ගෙවීමට හැකියාව තිබෙනවා’
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
එම අවස්ථාවේදී විනිසුරු තුරෙයි රාජා යළි ප්‍රශ්නයක් මතු කරමින් "වග උත්තරකරු අධිකරණයට ලබා දී ඇති දිවුරුම් ප්‍රකාශයට අනුව ඔහුට දේපළ 30 ක් පමණ තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒවා රජයට පවරාගෙන ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණා අදාළ මුදල් ගෙවීමට හැකියාව තිබෙනවා. ඇත්තෙන්ම මෙම දේපළ පිළිබඳව වෝහාරික විගණනයක් සිදු කළ යුතු යැයි මා විශ්වාස කරනවා" යනුවෙන් විනිසුරුවරයා සඳහන් කළේය.
එම අවස්ථාවේදී වගඋත්තරකාර පූජිත් ජයසුන්දරගේ නීතිඥවරයා සඳහන් කළේ එම දේපළ අතුරින් බොහොමයක් කුරුණෑගල ප්‍රදේශයේ තිබෙන වගා බිම් බවත් ඒවායේ වෙළඳ වටිනාකම් අවම මට්ටමක පවතින බවත් පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් මෙම කරුණ සම්බන්ධයෙන් තම සේවා දායකයාගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කෙටි දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට නියම කළ රුපියල් මිලියන 100 ක වන්දි මුදලින් රුපියල් මිලියන 58 ක් මේ වන විට ගෙවා අවසන් කර තිබෙන බව දැනුම් දුන්නේය.
ගෙවීමට ඉතිරිව තිබෙන රුපියල් මිලියන 42 ක මුදලක් ගෙවීම සඳහා වසර 6ක කාලයක් ලබා දෙන ලෙසත් හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන "ස්වාමීනි.. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිය වත්කම් හා බැරකම් ඇතුළත් දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එම දිවුරුම් ප්‍රකාශයට අනුව ඔහු ජනාධිපතිවරයා වීමෙන් පසුව ඔහු විසින් දේපළ පහක් මිලදීගෙන තිබෙනවා. ස්වර්ණ භූමි ඔප්පු 10 ක්ද ලබා ගෙන තිබෙනවා. මේවා ලබා ගත්තේ කොහොමද? මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතුයි. එසේ තිබියදී මෙම වන්දි මුදල නොගෙවා සිටීම බරපතළ වරදක්. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ඔහුට පියවර ගත යුතුයි."යනුවෙන් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මෙහිදී පැවසීය.
තවත් පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටී ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ද එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කර සිටියේය.
"ස්වාමීනි.... මේක නරක පූර්වාදර්ශයක් වේවි. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කළ විට එය පිලිපැදිය යුතුයි. එසේ නොකොට මේ ආකාරයෙන් ඉල්ලීම් ඉදිරිපත් කිරීම යුක්ති සහගත නෑ. ඒක අධිකරණයේ බලයට සිදු කරන අවමානයක්. ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් මේ අයට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි." යනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව අදාළ පෙත්සම්වල තවත් වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 75 ක වන්දි මුදලෙන් රුපියල් මිලියන 4.1 ක් මේ වන විට ගෙවා අවසන් කර තිබෙන බවත් දැනුම් දුන්නේය.
"ස්වාමීනි..මාගේ සේවාදායකයා ඔහුගේ ආදායම් තත්ත්වය දැක්වෙන දිවුරුම් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඔහුට වාර්ෂික වැටුප් හා දීමනා ලෙස රුපියල් 6.9 ක ආදායමක් ලැබී තිබෙනවා. තවත් රුපියල් මිලියන තුනක් මුදලක් ඔහු සතුව තිබෙනවා." යනුවෙන් සඳහන් කළේය.
මෙහිදී අග විනිසුරු වරයා ප්‍රශ්නයක් මතු කරමින් නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගය ක්‍රියාත්මක වී ඇති ආකාරය පිළිබඳව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස්ගෙන් විමසා සිටියේය.
ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා "මේ සම්බන්ධයෙන් අප අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. නිලන්ත ජයවර්ධනට අදාළ චෝදනා විමර්ශනය කිරීම සඳහා හිටපු මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ජාතික පොලිස් කොමිසම විසින් පත්කර තිබෙනවා. එම කමිටුව විසින් නිලන්ත ජයවර්ධනට චෝදනා පත්‍රයක් භාරදී තිබෙනවා."යනුවෙන් පැවසීය.
නිලන්ත ජයවර්ධනට අදාළ විනය ක්‍රියාමාර්ග පමා වීම සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමට දැඩි දෝෂාරෝපණ එල්ල කළ අගවිනිසුරු ජයන්ත ජයසූරිය "චෝදනා පත්‍ර භාරදීලා තියෙනවා නම් ඇයි විමර්ශන පමා කරන්නේ. කමිටුව පත් කරලා මාස දෙකකට වැඩි කාලයක් නිකං බලන් හිටියේ ඇයි. පොලිස්පතිවරයා මේ ගැන මේ සම්බන්ධයෙන් සොයා නොබලා සිටින්නේ ඇයි? ජාතික පොලිස් කොමිසමට මෙහෙම කටයුතු කරන්න හැකියාවක් නෑ. නීතිපතිවරයා ඇයි මේ කටයුතු අධීක්ෂණය නොකරන්නේ. නීතිපතිවරයා මෙම කටයුතුවලට මැදිහත් විය යුතුයි? යනුවෙන් අගවිනිසුරුවරයා සඳහන් කළේය.
එම අවස්ථාවේදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගෙවීමට නියම කළ වන්දි මුදල් වග උත්තරකරුවන් විසින් නොගවීම බරපතල තත්ත්වයක් බව පෙන්වා දුන්නේය.
විනිසුරු තුරයි රාජා සඳහන් කළ ආකාරයට මෙම වග උත්තර කරුවන් සතු දේපළ හා වත්කම් පිළිබඳව වෝහාරික විගණනයක් කිරීම ඉතා වැදගත් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
මෙම වන්දි මුදල් යෙදවෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින් වෙනුවෙන් මිස පල්ලිය වෙත නොවන බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ඉන් අනතුරුව අදාළ පෙත්සම් යළි සැප්තැම්බර් මස 27 වැනිදා කැඳවන ලෙස නියෝග කෙරුණි.
වන්දි ගෙවීම පැහැරහළ හිටපු ජනපති මෛත්‍රීට මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් නියෝග මොනවා ද?
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව වන්දි මුදල් සම්පූර්ණයෙන්ම ගෙවා නොමැති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන අය විසින් ඔවුන් සතු වත්කම් හා බැරකම් දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් 2023 දෙසැම්බර් මස 30 වනදාට පෙර අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි.
ඒ අනුව, 2019 වසරේ ප්‍රේල් මස 19 වැනිදා සිට 2023 වසරේ නොවැම්බර් මස දෙවැනිදා දක්වා කාලසීමාව තුළ අදාළ වගඋත්තරකරුවන් සතු වත්කම් හා බැරකම් පිළිබඳ තොරතුරු එම දිවුරුම් ප්‍රකාශයේ ඇතුළත් විය යුතු බව අධිකරණය සිදුකළ නියෝගයේ සඳහන් වුණි.
අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් මේ දක්වා ගෙන තිබෙන විනය ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තර වාර්තාවක් ද දෙසැම්බර් මස 30 වැනිදාට පෙර ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළේ ය.
නියෝග ලබාදුන් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස්, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විය.
ජුනි මාසෙන් පසු වන්දි ගෙවා නැහැ
වගඋත්තරකරුවන් විසින් මෙතෙක් වන්දි මුදල් ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් 2023 දෙසැම්බර් මස 30 වනදාට පෙර ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් නීතිපතිවරයාට නියම කළේ ය.
කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ දී වගඋත්තරකරුවන්ට අදාළව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු පැන නොනගින බව විනිසුරු මඬුල්ල ප්‍රකාශ කළෝ ය.
අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ට නියම කෙරුණු රුපියල් මිලියන 10 වන්දිය ඔහු විසින් ගෙවා අවසන් කර තිබෙන හෙයින් ඔහු මෙම නඩු විභාගයෙන් මුදා හැරීමටත් අධිකරණය තීරණය කළේ ය.
පාස්කු ප්‍රහාරයට අදාළව ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝග නිකුත් කෙරිණි.
පෙත්සම් 2023 (නොවැ 2) යළි කැඳවූ අවස්ථාවේ දී කාදිනල් හිමිපාණන් වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරනු ලැබූ නියෝගයට අනුව ඉකුත් ජූනි මාසයෙන් පසු කිසිදු වන්දි ගෙවීමක් සිදුවී නොමැති බව ප්‍රකාශ කළේ ය.
හිටපු ජනපති වන්දි ගෙවන්නට වසර 10ක් ඉල්ලයි
ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මෙසේ ද ප්‍රකාශ කළේ ය: "ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වන්දි අරමුදලක් ස්ථාපිත කළේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් වූ පුද්ගලයින්ට වන්දි ගෙවන්න යි. එහෙත් වන්දි ගෙවීම සඳහා වගඋත්තරකරුවන් විශාල කාලයක් ඉල්ලා සිටිනවා නම් වින්දිතයින්ට වන්දි ගෙවන්නේ කෙසේ ද?
"හිටපු ජනාධිපතිවරයා තමන්ට නියම කළ වන්දිය ගෙවීම සඳහා වසර 10ක කාලයක් ඉල්ලා තිබෙනවා. ඒක විශාල කාලයක්. හිටපු ජනාධිපතිවරයෙකුට මේ වගේ කාලයක් ලබාදුනහොත් සෙසු පුද්ගලයින් ද ඒ වගේ ම කාලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම උනාම වන්දි ගෙවන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. වින්දිතයින් තව තවත් පීඩාවට පත්වෙනවා," ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ය.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගොනුකර තිබූ මෝසම වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයා අධිකරණ නියෝගයට අවනත වෙමින් කටයුතු කර තිබෙන බව ප්‍රකාශ කළේ ය.
"ස්වාමීනි මාගේ සේවාදායකයා රාජකාරිය පැහැර හැරීමක් සිදු කර නෑ. ඔහු අධිකරණ නියෝගයට අවනතව කටයුතු කර තිබෙනවා. රුපියල් මිලියන 100ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය ඔහුට නියෝග කළා. ඉන් රුපියල් මිලියන 15ක් ඔහු දැනටමත් ගෙවා තිබෙනවා. ඉතිරිය වාර්ෂිකව රුපියල් ලක්ෂ 50 බැගින් වසර 10කින් ගෙවා අවසන් කරන්න ඔහු අධිකරණයෙන් අවසර ඉල්ලා සිටිනවා.
"හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මාගේ සේවාදායකයා තමන්ට හිමි අදායම් අධිකරණය හමුවේ පැහැදිලි කර තිබෙනවා. එවැනි තත්ත්වයක් යටතේ ඔහුට අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ඉදිරිපත් කරන්න බෑ. ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නෙ වන්දි අයකර ගැනීම සඳහා පත්කර තිබෙන අධිකරණයක් නොවෙයි," ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ ය.
වැඩි දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ආන්දෝලනාත්මක චැනල් ෆෝ නාලිකාව පසුගියදා ප්‍රචාරය කළ වීඩියෝ පටයෙන් එල්ලකර තිබෙන චෝදනා විභාග කිරීම සඳහා ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව විසින් තේරීමේ කාරක සභාවක් පත් කරන්නට තීරණය කර තිබෙන බව සඳහන් කළේ ය.
එබැවින් අදාළ තේරීම් කාරක සභාවේ තීරණයක් ලැබෙන තුරු මෙම නඩු කටයුතු කල් තබන ලෙස ද ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේ ය.
'මාගේ සේවාදායකයාට වන්දි ගෙවන්න මුදල් නැහැ'
ඉන් අනතුරුව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයාට ගෙවන ලෙස නියම කෙරුණු රුපියල් මිලියන 75ක වන්දි මුදලින් ඔහු විසින් රුපියල් මිලියන 4.1ක මුදලක් ගෙවා තිබෙන බව ප්‍රකාශ කළේ ය.
"ස්වාමීනි මාගේ සේවාදායකයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. ඔහුට සිය පොලිස් රාජකාරී ජීවිත කාලසීමාව තුළ වැටුප් වශයෙන් ලැබී තිබෙන මුදල රුපියල් මිලියන 21ක් පමණයි. කැනේඩියානු තානාපති කාර්යාලයේ සේවය කරද්දී කැනේඩියානු ඩොලර් මිලියන හතරක් ද උපයාගෙන තිබෙනවා. ඒ තමා ඔහු සතු සමස්ත වත්කම.
"මාගේ සේවාදායකයාට එරෙහිව පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් විසින් මීගමුව දිසා අධිකරණයේ නඩු 182 ද කොළඹ දිසා අධිකරණයේ නඩු 116 ද ගොනුකර තිබෙනවා. එම නඩුවලින් රුපියල් බිලියන දෙකකට අධික වන්දියක් වින්දිතයින් විසින් මාගේ සේවාදායකයා ගෙන් ඉල්ලා තිබෙනවා. මාගේ සේවාදායකයාට වන්දි ගෙවන්න මුදල් නැහැ. ඔහු සිරගත කිරීමට යි මේ ආකාරයෙන් ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ. මාගේ සේවාදායකයා හිතාමතා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමක් කර නෑ."
එසේම, ඔහුගේ සේවාදායකයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර ප්‍රකාශ කර සිටියේ ය.
හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍යමල් කොල්ලුරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඔහුගේ සේවාදායකයා විශ්‍රාමික රාජ්‍ය සේවයකයෙකු බව පැවසීය.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝග ඔහු විසින් හිතාමතාම පැහැර හැරීමක් සිදුකර නොමැති බව ඔහු කියා සිටියේ ය.
'වන්දි ගෙවන්න වසර 10ක් ඉල්ලීම වින්දිතයින්ට මෙන්ම අධිකරණයට ද කරන අපහාසයක්'
මෙහිදී, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් යම් පාර්ශවයක් ක්‍රියාත්මක කිරීම පැහැර හරින්නේ නම් එය බරපතල තත්ත්වයක් බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ ය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට නියමිත හෙයින් එහි තීරණය ලැබෙන තුරු මෙම නඩුවේ කරුණු සලකා බැලීම අත්හිටුවන ලෙස කරනු ලබන ඉල්ලීම පදනම් විරහිත බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.
සම්පූර්ණ වන්දි මුදල් ගෙවීම අපහසුයැ යි වගඋත්තරකරුවන් ප්‍රකාශ කරන්නේ නම් ඔවුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ කැඳවා විමර්ශනයක් පවත්වා සුදුසු නියෝග නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥ ජයවර්ධන පෙන්වා දුන්නේ ය.
තවත් පෙත්සම්කාර පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියම කෙරුණු වන්දි මුදල් ගෙවීම සඳහා වසර 10ක වැනි කාලයක් ඉල්ලා සිටීම පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට මෙන්ම අධිකරණයට ද කරන අපහාසයක් බව ප්‍රකාශ කළේ ය.
තවත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී පෙරේරා ද අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පරිදි වන්දි ගෙවීම පැහැර හැරීම තුළින් වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් කර ඇතැ යි ප්‍රකාශ කළේ ය.
ඒ අනුව අධිකරණ නියෝගය පරිදි වන්දි ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව ඔහුගේ සේවාදායකයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා ගොනුකළ බවත් ඔහු ප්‍රකාශකර සිටියේ ය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අදාළ පෙත්සම්වල වගඋත්තරකරු වශයෙන් නම්කර සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් සිදුකෙරුනු මූලික විනය පරීක්ෂණයට අදාළ වාර්තාවක් එම පරීක්ෂණ කමිටුව විසින් ජාතික පොලිස් කොමිසම වෙත යොමුකර ඇතිබව ප්‍රකාශ කළේ ය.
ඒ අනුව ජාතික පොලිස් කොමිසම විසින් ඊට අදාළ වැඩිදුර කරුණු විනය පරීක්ෂණ කමිටුව වෙත යොමුකර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ ය.
ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඉහත නියෝග නිකුත් කළේ ය.
පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින්, කතෝලික පියතුමන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව 12ක් විසින් මෙම පෙත්සම් ගොනුකර තිබේ.












