ගත වූ මාස 6 තුළ අල්ලස් හෝ දූෂණ නඩු 50ක්: චෝදනාවලට ලක්ව සිටින හිටපු මැති-ඇමතිවරුන් කවුද?

Bribery Commission

ඡායාරූප මූලාශ්‍රය, Google

    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 6

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම වසරේ මුල් මාස 6 තුළ චූදිතයින් 60 දෙනෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු 50ක් පවරා තිබේ.

එමෙන් ම එම කාල සීමාව තුළ පෙර පැවති නඩු 21කට පුද්ගලයන් 24 දෙනෙකු වරදකරුවන් වී ඇතැයි එම කොමිසමේ වාර්තාවල සඳහන් වේ.

2025 වසරේ ජනවාරි මස 1 වන දා සිට ජූනි 30 දක්වා එලෙස චෝදනාවට ලක් වූ පුද්ගලයින් අතර දේශපාලනඥයින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්, කාර්ය මණ්ඩල මෙන් ම හිටපු සභාපතිවරුන් ඇතුළු පිරිස් සිටිති

මේ, බීබීසි සිංහල ඒ පිළිබඳව කළ සොයා බැලීමකි.

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට ඇති අධිචෝදනා මොනවා ද?

Keheliya Rambukwella

ඡායාරූප මූලාශ්‍රය, Keheliya Rambukwella | Facebook

හිටපු ජනමාධ්‍ය සහ සෞඛ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයින් සය දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ජූනි 26 වන දා කොළඹ මහාධිකරණයේදී නඩු පවරනු ලැබුවේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ය.

හිටපු අමාත්‍යවරයාට අමතරව ඔහුගේ පවුලේ සාමාජිකයින් වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා වැයිහේන, චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, චන්දුලා රමාලි රඹුක්වැල්ල, අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අය නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

පෞද්ගලික බැංකුවක ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂණ ඔප්පුවලට අදාළව රුපියල් ලක්ෂ 946ක පමණ වටිනාකමකට ආසන්න මුදලක් විශුද්ධිකරණය යටතේ මෙලෙස මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපාට සහ අධ්‍යක්ෂ ජනරාල්ට චෝදනා

Lakshman Yapa Abeywardana

ඡායාරූප මූලාශ්‍රය, Lakshman Yapa Abeywardana | Facebook

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙනු ලැබුවේ ජූනි 30 වන දා ය.

ඒ, 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමිනි.

රවී සහ ඇලෝසියස්ට ඇති චෝදනා මොනවා ද?

Ravi Karunanayake

ඡායාරූප මූලාශ්‍රය, Ravi Karunanayake | Facebook

2016 වසරේ මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ අර්ජුන් ඇලෝසියස් අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්‍රියා කරන වෝල්ට් සහ රෝ ඇසෝසියේට්ස් පෞද්ගලික සමාගමේ නමට ලබාගෙන තිබූ "මොනාර්ක් නිවාස සංකීර්ණයේ" පිහිටි නිවසක පදිංචිව සිටීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා කර හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ අර්ජුන් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

අල්ලස් පනත යටතේ "දූෂණය" නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මෙම නඩුව ගොනු කර ඇත.

ආදායම අභිබවා අත්කර ගත් දේපළ ගැන මර්වින්ට චෝදනා

Mervin Silva

ඡායාරූප මූලාශ්‍රය, Mervin Silva | Facebook

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සිය නිත්‍යනුකූල ආදායම අභිබවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාට එරෙහිව ජූනි 6 වන දා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේ ය.

2010 වසරේ මාර්තු මස 31 වන දා සහ 2012 වසරේ මාර්තු මස 31 වන දා අතර කාල සීමාව තුළ විත්තිකාර හිටපු අමාත්‍යවරයා මෙම වරද සිදුකර ඇති බව අල්ලස් කොමිසම විත්කිකාර මර්වින් සිල්වාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධි චෝදනාවල සඳහන් කර ඇත.

ඒ අනුව, කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිල දී ගැනීම සඳහා රුපියල් එක්කෝටි 39 ලක්ෂ අනූනව දහසක මුදලක් වැය කර ඇති අතර කොළඹ 7, අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිල දී ගැනීම සඳහා රුපියල් හත් කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් හිටපු අමාත්‍යවරයා වැය කර තිබෙන බව ද අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන් වෙයි.

ඊට අමතරව සිය පුත් මාලක සිල්වා වෙනුවෙන් බෙන්ස් මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා රුපියල් තුන්කෝටි 23 ලක්ෂ 75000ක මුදලක් වැය කර ඇති බවත් තවත් මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 55කට අධික මුදලක් සහ ඩිෆෙන්ඩර් රථයක් මිල දී ගැනීම සඳහා අසූ අට ලක්ෂ පනස්දහසක මුදලක් වැය කිරීම ඇතුළු සිය නීත්‍යනුකූල ආදායම අභිබවා දේපළ අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළ බවට ද ඔහුට චෝදනා එල්ල වේ.

නඩු පහක් වැටුණු ජොන්ස්ටන්

Johnston Fernando

ඡායාරූප මූලාශ්‍රය, Johnston Fernando | Facebook

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දුට විරුද්ධව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පහක් ගොනු කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් පිරිසක් එහි නීත්‍යනුකූල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා කර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම එම නඩු ගොනු කර ඇත.

හිටපු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර "දූෂණය" නමැති වරද සිදු කළේ යැයි චෝදනා

Chandrani Bandara

ඡායාරූප මූලාශ්‍රය, Chandrani Bandara | Facebook

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන චන්ද්‍රානි බණ්ඩාරට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ මැයි 20 වන දා අධිචෝදනා ගොනු කරනු ලැබීය.

යහපාලන රජය සමයේ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තෙකුට වියළි කලාප සංවර්ධන අමාත්‍යංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් ඇයට එල්ල වී තිබේ.

හිතවතුන් පිරිසක් නීත්‍යනූකූල නොවන අකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් "දූෂණය" නමැති වරද සිදු කළේ යැයි චෝදනා එල්ල කරමින් එසේ හිටපු අමාත්‍යවරියට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත.

මැයි මාසයේ නඩු වැටුණු හිටපු සභාපතිවරු තිදෙනා

එමෙන් ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජයන්ත එදිරිසිංහට එරෙහි 2025 මැයි මාසයේදී, දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අගෝස්තු 4 කොළඹ මහාධිකරණ හමුවේ අධිචෝදනා ගොනු කළේ ය.

හම්බන්තොට කන්සිලිව් 2014 ව්‍යාපෘතියේ කළමනාකරු ලෙස කටයුතු කළ සිෆිට් ඉන්ටර්ගේටිව් නමැති ආයතනය වැට් සඳහා ලියාපදිංචි වී නොතිබියදිත් වැට් ලෙස රුපියල් විසි එක් ලක්ෂ අනු එක් දහසක් මුදලක් එම සමාගමට ගෙවීමට බලපෑම් කිරීම තුළින් ඔහු එම වරද සිදු කර ඇති බවට කොමිසම චෝදනා කර ඇත.

ගුවන් කොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති ප්‍රසන්න ජයලත් එදිරිසිංහට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණයේ හමුවේ මැයි 23 වන දා නඩු පවරනු ලැබීය.

2014 නොවැම්බර් 3 වන දා සිට දොසැම්බර් 19 වන දා දක්වා අතර කාලයේදී රජයට අයුතු සහගත පාඩුවක් කිරීමේ චේතනා‍වෙන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව සමාගමේ මුදලින් රුපියල් ලක්ෂ 125ක මුදලක් ශ්‍රී ලංකා අයෝජනය මණ්ඩලයට මුදා හැරීමට ගුවන් සමාගාමේ මුදල් අංශ ප්‍රධානී පෙළඹ වූ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

2015 අප්‍රේල් 10 වන දා සිට එම වසරේ අගෝස්තු 30 වන දා අතර කාලය තුල රජයට අයුතු සහගත හා නීති විරෝධී පාඩුවක් කිරීමේ චේතනාවෙන් පුරප්පාඩු නොතිබූ සංස්ථාවේ කළමනාකරණ සහකාර තනතුර සඳහා විධිමත් නිත්‍යනුකූල ක්‍රමවේදය අනුගමනය නොකර පුද්ගලයන් බඳවා ගෙන රජයට පාඩු කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිවරයා වු අමරානන්ද අබේගුණසේකරට එරෙහි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මේ වසරේ මැයි මස 23 වන දා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය.

හිටපු ඇමතිට නඩු තුනක්

Piyankara Jayaratne

ඡායාරූප මූලාශ්‍රය, Piyankara Jayaratne | Facebook

හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහි එරෙහිව දූෂණය නම් වරද සම්බන්ධ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නඩු ත්‍රිත්වයක් පවරනු ලැබුවේ ජනවාරි 8 වන දා ය.

සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් වෙසක් සුබ පැතුම් පත් 3000ක් මුද්‍රණය කරවා ගැනීමෙන් රු.128,520ක මුදලක පාඩුවක් කර දූෂණය නම් වරද සිදු කිරීම, රු.360,000ක මුදලක් මහවැව වී හේන ෆාම් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ගෙවීම සඳහා අධිකාරියේ නිලධාරීන් පෙළඹවීමෙන් එකී මුදලක පාඩුවක් සිදු කිරීම, එම අධිකාරිය මගින් රු.494,000ක මුදලක් හලාවත ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමකට බැර කිරීම සඳහා අධිකාරියේ නිලධාරීන් පෙළඹවීමෙන් ආණ්ඩුවට පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නම් වරද සිදු කිරීම යන චෝදනා තුන හිටපු අමාත්‍යවරයාට වී තිබේ.