'අපි වෙනුවෙන් අපි' අරමුදල අවභාවිත කළ හැටි විගණන වාර්තාවෙන් හෙළි වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයට සම්බන්ධ වූ සන්නද්ධ හමුදාවල සාමාජිකයන්ට නිවාස තැනීම හෝ නිවාස මිල දී ගැනීම සඳහා ණය ලබා දීම පිණිස මහජන පරිත්‍යාග මත පදනම් වූ අරමුදලක් ලෙස 'අපි වෙනුවෙන් අපි' අරමුදල 2008 වර්ෂයේදී ආරම්භ විය.
මෙම අරමුදලේ ප්‍රතිලාභ ලබාගත හැකි වන්නේ, 2009 මැයි 18 වන දිනට පෙර ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සේවයට එක්වූ ආරක්ෂක අංශ සාමාජිකයින්ට ය.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු කළමනාකාර මණ්ඩලයක් යටතේ පාලනය වන මෙම අරමුදලේ ප්‍රතිලාභ ලබා දීමේදී නිසි ක්‍රමවේද අනුගමනය කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති ඩීඊඑෆ්/සී/ඒඩබ්ඒ/06/22/පීඒ/08 අංක දරන විගණන වාර්තාවේ දැක්වේ.
2020, 2021, 2022 යන වර්ෂවල මෙම අරමුදලෙන් ලබා දුන් ප්‍රතිලාභ මෙම විගණනයට විෂය වී ඇති අතර, එහිදී ඇතැම් ප්‍රතිලාභ ලබා දීම නිසි විනිවිදභාවයකින් තොරව සිදුව ඇති බවට අනාවරණය වී ඇත.
අසම්පූර්ණ ලිපිගොනු
අරමුදලේ ප්‍රතිලාභ සඳහා හිමිකම් සපුරාලන පාර්ශව තෝරා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද, නිර්ණායක සහ වාර්තා තබා ගැනීම්වල අඩුපාඩු රැසක් මෙම විගණනයෙන් හෙළිව තිබේ.
2020 සැප්තැම්බර් 21 දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට නිකුත් කර තිබූ උපදෙස්වලට අනුව නිවාස ප්‍රතිලාභ ලබා ගැනීමට බලාපොරොත්තු වන අයැදුම්කරුවන් තම අයදුම්පතෙහි මුල් පිටපත සමග ඒ සඳහා අවශ්‍ය අනෙකුත් ලියකියවිලිවල සහතික කළ පිටපත් ඉදිරිපත් කළ යුතු ය.
කෙසේ නමුත් ජාතික විගණන කාර්යාලය සිදු කළ විගණනයේදී තෝරා ගත් නියැදියේ තිබූ ලිපිගොනු 61ක අයැදුම්පතක් නොමැති ලිපිගොනු 3ක් තිබී ඇති අතර, අධාරය ලබා දීමේ නිර්දේශයක් ඇතුළත් නොවූ ලිපිගොනු 18ක් හමුව තිබේ.
එමෙන් ම, විගණනයට ඉදිරිපත් වූ ලිපිගොනුවල එම අයැදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයකට කැඳවූ බවට හෝ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලැබූ බවට දැක්වෙන ලේඛන ගොනුගත කර තිබී නොමැත.
2021 වසරේදී පූර්ණ නිවාස ප්‍රතිලාභය ලැබූ, එනම් රු. ලක්ෂ 15ක ප්‍රතිලාභයක් හිමි කරගෙන ඇති O/62249 යන ප්‍රතිලාභී ලිපිගොනුවේ කිසිදු ලියවිල්ලක් නොතිබී ඇති අතර එහි තිබී ඇත්තේ ඉඩම් සැලැස්මේ සහතික නොකරන ලද පිටපතක් පමණි.
අවම වශයෙන් ප්‍රතිලාභ අයැදුම්කරුවා ඉදිරිපත් කළ අයැදුම්පත්‍රය හෝ එහි තිබී නොමැත.
එමෙන් ම මෙලෙස ආධාර ලබා දී ඇති ඇතැම් නිවාස අතහැර දමා ඇති බව ද එහි සඳහන් ය.
සුදුසුකම් නොලැබූ ඉහළ නිලවල නිලධාරීන්ට ලබා දුන් ප්‍රතිලාභ
'අපි වෙනුවෙන් අපි' අරමුදලේ අර්ධ නිවාස ප්‍රතිලාභය ලෙස රු. 750,000ක මුදලක් ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන්නෙකු යුද්ධ හමුදා මේජර් හෝ ඊට පහළ නිලයක සේවය කරන්නෙකු විය යුතු අතර, සෙසු නිලයක (අධිකාරී නොලත්) සේවය කරන්නන් සඳහා එහි ප්‍රමුඛතාව හිමි වේ.
කෙසේ නමුත්, විගණන වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, යුද්ධ හමුදා මේජර් තනතුරට ඉහළ නිලධාරීන් තිදෙනෙකු වෙත ද ප්‍රතිලාභය ලබා දී ඇති බව ය.
එනම් මෙහි සුදුසුකම් නොලත් නිලවල සිටින තිදෙනෙකුට මෙලෙස මෙම ප්‍රතිලාභය ලබා දී තිබේ.
ලේඛනවලින් බැහැරව ලබා දී ඇති ප්‍රතිලාභ
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2019 අගෝස්තු 28 පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ඇති කර ගත් එකඟතාවක් මත රණවිරු සේවා අධ්‍යක්ෂවරයා විසින් 2019 වර්ෂයේ ප්‍රතිලාභීන්ගේ ලේඛනය අවලංගු කර 2020 වර්ෂය සඳහා නව නාම ලේඛනයක් ඉදිරිපත් කරනු ලැබ ඇතත්, එහි නම් සඳහන් නොවන හමුදා සාමාජිකයන් 127 දෙනෙකුට 2020 වර්ෂයේදී ප්‍රතිලාභ නිකුත් කර තිබේ.
ඒ අතර, ඉහත ලේඛන දෙකෙන් එකකවත් නම් නොමැති සාමාජිකයන් 23 දෙනෙකු සඳහා ප්‍රතිලාභ දී ඇති අතර, එම සාමාජිකයන් අතරින් 22ක් ම අවම ප්‍රමුඛතා කාණ්ඩයට අයත් සේවයේ නියුතු අයදුම්කරුවන් බව විගණනයේදී හෙළිව තිබේ. එමෙන් ම ඔවුන්ගේ සම්මුඛ පරීක්ෂණ ද පවත්වා නොමැති නිසා ඔවුන් තෝරාගත්තේ කුමන පදනමක් යටතේදැයි විගණනයට සොයා ගැනීමට නොහැකි වී තිබේ.
මෙලෙස ඔවුන්ට සම්මුඛ පරීක්ෂණයක් හෝ නොපවත්වා ප්‍රතිලාභ ලබා දී තිබියදී ආබාධිතව සෞඛ්‍ය හේතු මත විශ්‍රාමගෙන සිටියදී මිය ගිය හමුදා සාමාජිකයන් තිදෙනෙකු, පූර්ණ ආබාධිත හමුදා සාමාජිකයන් තිදෙනෙකු සහ ආබාධිත සෞඛ්‍ය හේතු මත විශ්‍රාමිකව සිටින හමුදා සාමාජිකයන් 19 දෙනෙකුට ප්‍රතිලාභ පිරිනැමීම සඳහා රණවිරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලය නිර්දේශ ලබා දී ඇතත් ඔවුන් සම්මුඛ පරීක්ෂණවලට කැඳවා නොතිබීම නිසා එම 25 දෙනාගේ ප්‍රතිලාභ ලැබීමට තිබී ඇති අයිතිය අහිමි වී ඇත.
මේ හැර තවත් අවස්ථා ගණනාවකදී ම නියමිත ක්‍රමවේදවලින් බැහැරව අනුමත ලැයිස්තුවල නොමැති සාමාජිකයන්ට ප්‍රතිලාභ ලබා දී ඇති අතර, ඇතැම් අවස්ථාවල ප්‍රමුඛතාව දිය යුතු නිර්ණායක මත නොව නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මත ලැයිස්තු අනුපිළිවෙළ සකස් කර ඇතැයි විගනණයෙන් හෙළිව තිබේ.
නොදැනුවත්භාවය
ක්‍රියාන්විත සේවයේ යෙදී සිටියදී මිය ගිය, අතුරුදන් හෝ ආබාධිත බවට පත්වූ ත්‍රිවිධ හමුදා හෝ පොලීසියේ සාමාජිකයන් සංඛ්‍යාව මෙතෙක් නිශ්චිත ලෙස ගණන් බලා එහි දත්ත පද්ධතියක් සකස් කර නැතැයි විගණන වාර්තාව හෙළි කරයි.
එම නිසා එම පුද්ගලයින් සහ ඔවුන් මත යැපෙන්නන් පිළිබඳ නිරවද්‍ය සංඛ්‍යා ලේඛන සපයා ගැනීමට නොහැකි වී ඇත.
අමාත්‍යංශය යටතේ පවතින අනෙකුත් ආයතනවල මෙවැනි සංඛ්‍යා ලේඛන ඇති නමුත් අරමුදලේ වැඩකටයුතු සඳහා ඒවා යොදාගෙන නැතැයි වාර්තාවේ දැක්වේ.
කෙසේ වෙතත්, 2017 සිට 2023 දක්වා ඉහත කාණ්ඩවලට අයත් හමුදා සාමාජිකයන් 1,553ක් මේ දක්වා ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් උපලේඛනගතව සිටින අතර වාර්තාවේ පෙන්වා දෙන්නේ, ඉහළ ප්‍රමුඛතාවක් සහිත ඔවුන්ට ආධාර ලබා දීමට අරමුදලේ සැලකිල්ලක් යොමු කර නොමැති බව ය.
ජාතික විගණන කොමිසම සිදුකළ පරීක්ෂණවලදී 'අපි වෙනුවෙන් අපි' අරමුදල, ජාතික ආරක්ෂක අරමුදල, රණවිරු සේවා අධිකාරිය වැනි ආයතන මගින් විවිධ නිවාස වැඩසටහන් පවත්වා ඇති නමුත් මේවා සම්බන්ධයෙන් නිසි දැනුවත්භාවයක් නොමැති වීම නිසා අවශ්‍යතා සහිත බොහෝ හමුදා සාමාජිකයන්ට මෙම පහසුකම් ලබා ගැනීමට නොහැකි වී ඇති බව අනාවරණය වී තිබේ.
නිර්දේශ
මෙම විගණන වාර්තාවේ එක් ප්‍රධාන නිර්දේශයක් වන්නේ, ප්‍රතිලාභ සඳහා අයැදුම්පත්‍ර කැඳවීම, සම්මුඛ පරීක්ෂණ මගින් සුදුසුකම් පරික්ෂාව වැනි ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රියාවලියේ කටයුතු, ආරක්ෂක අමාත්‍යංශය විසින් නිසි විනිවිදභාවයකින් සහ ස්වාධීනව සිදු කරනු ලැබිය යුතු බව ය.
එමෙන් ම නිවාස අවශ්‍යතාව සහිත මියගිය, අබාධිත, විශ්‍රාමික හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දෙන ලෙස එහි සඳහන් ය.
එමෙන් ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ඔවුන්ගේ දත්ත රැස්කර මධ්‍යගත දත්ත පද්ධතියක් සැකසීමට කොමිසම යෝජනා කරයි.
එමෙන් ම මෙතෙක් අවිධිමත්ව සිදුව ඇති අධීක්ෂණ කටයුතු සියල්ල නිසි අධීක්ෂණයක් යටතේ සිදු කරන ලෙස ද විගණන වාර්තාව නිර්දේශ කර තිබේ.














