ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම් බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 7ක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (අගෝස්තු 4) තීන්දු කළේ ය.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් සහ විනිවිද පෙරමුණ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබිණි.
මෙම පෙත්සම් සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වලට අදාළව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව සඳහන් කළේ ය.
'ජනතා පරමාධිපත්‍යය මුළුමනින් ම උල්ලංඝනය වීමක්'
ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉන්දීය රජය සමග ශ්‍රී ලංකා රජය ඇතිකර ගෙන තිබෙන අවබෝධතා ගිවිසුම් 7ක් මෙම නඩුකරය තුළින් අභියෝගයට ලක් කර ඇති බව සඳහන් කර සිටියේ ය.
ඒ අතරින් ගිවිසුම් දෙකක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති අතර ජාතික ආරක්ෂාව සහ ඉන්දීය ශ්‍රී ලංකා සබඳතාවලට අගතියක් සිදුවිය හැකි බව සඳහන් කරමින් එම තොරතුරු හෙළි කිරීම රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බවත් ඔහු කියා සිටියේ ය.
මෙම ගිවිසුම්වලට අදාළ තොරතුරු අනාවරණය නොකරන ලෙස ඉන්දීය රජය ඉල්ලීමක් කර ඇති නිසා අදාළ තොරතුරු හෙළිදරව් කළ නොහැකි බවට රජය ප්‍රකාශ කර ඇති බවට ත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනතාව වෙත පැවරී තිබෙන ජනතා පරමාධිපත්‍යය මුළුමනින් ම උල්ලංඝනය වීමක් වන බවට ත් ඔහු චෝදනා කළේය.
මෙම ගිවිසුම්වලට අත්සන් තබනු ලැබ ඇත්තේ, ජනාධිපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයින් විසින් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වගකීමට බැඳී සිටින බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
'තම අභිමතය පරිදි කටයුතු කිරීමේ බලයක් ජනාධිපතිවරයා වෙත පැවරී නෑ'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සාමාන්‍යයෙන් විදේශීය රාජ්‍යයක් සමග ගිවිසුම්වලට එළඹීමේදී ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කර ඊට අනුමැතිය ලබා ගත යුතු බවත් මෙවැනි කටයුතු සම්බන්ධයෙන් තම අභිමතය පරිදි කටයුතු කිරීමේ බලයක් ජනාධිපතිවරයා වෙත පැවරී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.
එහෙත් මෙම ගිවිසුම්වලට එළඹීමට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කර ඊට අනුමැතිය ලබා ගෙන නොමැති බවත් එය නිසි නීතිමය පටිපාටියට පිටුපා සිදුකළ නීතිවිරෝධී ක්‍රියාවක් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ ය.
ඉන්දියාව සමග යහපත් සම්බන්ධතා පවත්වාගෙන යාම යහපත් වුවත් මෙවැනි ක්‍රියා නිසා පකිස්ථානය වැනි අසල් වැසි රාජ්‍යයන් සමග පවතින සබඳතාවලට අහිතකර ලෙස බලපෑ හැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ ය.
ඒ අනුව, මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ඉන් අනතුරුව විනිවිද පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මෙම ගිවිසුම්වල අන්තර්ගත කරුණු ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ජනාධිපතිවරයා ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව පැවසීය.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම ගිවිසුම්වලට අදාළ තොරතුරු ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කළත් ජනාධිපතිවරයා මෙවැනි ගිවිසුම්වලට අත්සන් කර නැති නිසා එහි පිටපත් නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා දැනුදී තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සාමාන්‍යයෙන් මෙවැනි ගිවිසුම්වලට එළඹීමේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සාමාන්‍ය පටිපාටිය බව කියා සිටියේ ය.
අමාත්‍ය මණ්ඩලයේ සිටින්නේ ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවත් ඔවුන් මෙම ගිවිසුම් පිළිබඳව දැනුවත් වීමක් සිදුවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
මෙම ගිවිසුම් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැති බවට පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කරනු ලබන කරුණු පදනම් විරහිත බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වන ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වන්නේ ආයෝජන සම්බන්ධයෙන් විදේශීය රාජ්‍යයන් සමග ඇතිකර ගන්නා ගිවිසුම්, ද්විත්ව බදු ගිවිසුම් බවත් මෙවැනි අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බවත් කියා සිටියේ ය.
ඒ අනුව, මෙම නඩුකරයට මැදිහත්වීමට තරම් සාධාරණ නීතිමය පදනමක් මෙම පෙත්සම් තුළ අන්තර්ගතව නොමැති හෙයින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු වගකීමට බැඳී සිටිය ද ජනාධිපතිවරයාට ලැබෙන සියලු තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට නියමයක් නොමැති බවත් ඔහු පැවසීය.
යම් ගිවිසුමක් පිළිබඳ තොරතුරු දැනගනීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට එය කැඳවීමට හැකියාව තිබෙන බවත් එහෙත් මෙහිදී එවැන්නක් සිදුවී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.














