ලසන්ත වික්‍රමතුංග ඝාතනය: නඩුවේ සැකකරුවන් නිදහස් කිරීම නීතිපති තාවකාලිකව අත්හිටුවයි. මෙතෙක් සිදුවූයේ කුමක් ද?

මීට පෙර නීතිපති පාරින්ද රණසිංහ විසින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාලව පැහැර ගැනීම, සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට ලබා දී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව, ඊට අදාළ නඩුව අද දින (පෙබරවාරි 13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණයට ලිඛිතව දැනුම් දී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මීට පෙර නීතිපති පාරින්ද රණසිංහ විසින් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළව පැහැර ගැනීම, සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට ලබා දී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බව, ඊට අදාළ නඩුව අද දින (පෙබරවාරි 13) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අධිකරණයට ලිඛිතව දැනුම් දී තිබේ.

මෙම සැකකරුවන් තිදෙනා නිදහස් කරන ලෙස නීතිපතිවරයා විසින් පසුගිය ජනවාරි 27 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබිණි.

මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංවාද නිර්මාණය වූ අතර, බොහෝ මාධ්‍ය වෘත්තීය සමිති ද එයට සිය දැඩි විරෝධය පළ කළ හ.

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය: මෙතෙක් සිදුවූයේ කුමක් ද?

Image copyright by Getty Images

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මගමගදී ඝාතනය වීම

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව පිළිබඳ වෙනස් මත ඇතිවූ බවට වාර්තා වීම

පරීක්ෂණය පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සහ ලසන්ත වික්‍රමතුංගගේ හිටපු සේවකයෙකු පැහැරගෙන ගොස් තර්ජනය කිරීම

Image copyright by Getty Images

ට්‍රිපෝලි කඳවුරේ සාමාජිකයෙකු සැකකරුවෙකු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂකයින් හඳුනා ගැනීම, පොලිස්පතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණ කටයුතු ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදීම

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හමුදා නිලධාරීන් 17ක් අත්අඩංගුවට ගැනීම; ඔවුන් සියලු දෙනා මේ වන විට වරින් වර නිදහස් කර ඇත.

2005 සිට 2015 දක්වා පැවති රාජපක්ෂ පාලනය අවසන් කරමින් යහපාලන රජය බලයට පත්වීම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යළි පරීක්ෂණ ආරම්භ කිරීම

Image copyright by Getty Images

ඝාතනය සිදුකළ බවට සැලකෙන සැකකරුවන් දෙදෙනෙකුගේ සංයුක්ත රූප සටහන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කිරීම

ඝාතනය සම්බන්ධයෙන් හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම. ඇසින් දුටු සාක්ෂිකරුවෙකු පැහැරගෙන යාම, පහර දීම, කුමන්ත්‍රණය කිරීම සහ මරණ තර්ජන එල්ල කිරීම යන චෝදනා සැකකරුට එල්ල වී තිබිණි.

ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංගගේ සිරුර පරීක්ෂණ කටයුතු සඳහා නැවත ගොඩගැනීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබා දීම

ලසන්තගේ මරණයට සම්බන්ධ ප්‍රබල සාක්ෂි මකා දැමීමට සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර අත්අඩංගුවට ගැනීම

දින 56 ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ලසන්තගේ පරීක්ෂණය සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මාරු කරනු ලැබීම

ලසන්ත ඝාතනයට සම්බන්ධ ට්‍රිපෝලි කඳවුරේ ප්‍රධානියා වූ ප්‍රභාත් බුලත්වත්ත නැවත සේවයේ පිහිටුවීම

Image copyright by Getty Images

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව ලසන්ත ඝාතනය පිළිබඳ පරීක්ෂණ මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මාරු කර යැවීම සහ පරීක්ෂක නිශාන්ත ද සිල්වා දේශපාලන රැකවරණය පතා රටින් පිටවීම

පරීක්ෂණයේ තත්ත්වය පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවෙන් කරුණු දක්වා නැත.

Image copyright by Getty Images

ජනතා විනිශ්චය සභාවක ලසන්ත ඝාතනය පිළිබඳ සාක්ෂි කැඳවීම

ලසන්ත ඝාතනයට අදාළව සාක්ෂි වසන් කිරීම පිළිබඳ චෝදනා ලබා සිටි ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල, විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන අය නඩුවෙන් කිරීමට නිදහස් කිරීමට නීතිපති පාරින්ද රණසිංහ නිර්දේශ කිරීම

ඉහත සැකකරුවන් තිදෙනා, ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවලින් නිදහස් කිරීම තාවකාලිකව අත්හිටුවන බවට නීතිපතිවරයා ලිඛිතව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දීම

අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියට අදාළව පැහැර ගැනීම, සාක්ෂි වසන්කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබු සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවන බවට නීතිපතිවරයා ලිඛිතව දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට අද (13) දැනුම් දෙන ලදී.

සැකකරුවන් තිදෙනා නිදහස් කිරීම සම්බන්ධව නැවත සලකා බලන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිතුමාගෙන් විමර්ශන සාරාංශගත වාර්තාවක් ගොනු කරමින් ඉල්ලා සිටි අවස්ථාවේදී, නීතිපතිවරයා ඊට ප්‍රතිචාර දක්වමින් මුල් නියෝගය අනුව ක්‍රියා නොකරන ලෙසට පෙබරවාරි මස 11 වන දින වාර්තාවක් ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට දැනුම් දී තිබේ.

එම දැනුම් දීම සිදුකළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී කීර්තිසිංහ, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉලංගසිංහ යන නිලධාරීන් විසින් නීතිපති උපදෙස් අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී.චතුරිකා සිල්වා ඉදිරියේ මෝසමක් මගින් සිදුකළ කැඳවීමකදී ය.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ දක්වා කරන ලද සියලුම විමර්ශන වලට අදාළ උද්දෘත නීතිපතිවරයා වෙත භාරදීමට කටයුතු කර ඇති බවත්, ඒ අනුව මේ සම්බන්ධව අධ්‍යනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයාගෙන් ඉදිරියේදී ලැබෙන උපදෙස් අනුව ක්‍රියාකර වාර්තා කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයෙන් දිනයක් ඉල්ලා සිටියහ.

ඒ අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී.චතුරිකා සිල්වා 2025 මැයි මස 30 වන දිනට නඩුව නැවත කැඳවීමට නියෝග කළා ය.

නිදහස් කිරීමට නිර්දේශ කර තිබූ චූදිතයින් කවුද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

නීතිපතිවරයා විසින් එසේ නිදහස් කිරීමට නිර්දේශ කර තිබුණේ, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු යුද්ධ හමුදා බුද්ධි අංශ සෙබළෙකු සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දෙදෙනෙකි.

නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහගේ අත්සනින් 2025 ජනවාරි 27 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත යවන ලද ලිපියක සඳහන්ව ඇත්තේ, ප්‍රේම් ආනන්ද උදලාගම, හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල, විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර යන චූදිතයන්ට විරුද්ධව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බව ය.

එම චූදිතයන් නිදහස් කළ හැකි බව මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර ඒ පිළිබඳව අධිකරණය ගත් ක්‍රියාමාර්ග දින 14ක් ඇතුළත දන්වන ලෙස ද නීතිපතිවරයා යොමු කර තිබූ ලිපියේ සඳහන් විය.

ලසන්ත ඝාතනයෙන් වසර 9කට පසුව ඔහුගේ රියැදුරාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර එහිදී රියැදුරු සඳහන් කර ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සහ ලසන්ත වික්‍රමතුංග අතර විරසකයක් පැවති බව ය.

ඊට හේතුව 'මිග් යානා ගනුදෙනුව' හෙළි කිරීම බව පවසා ඇති රියැදුරු, එය නොකියන ලෙසට තමන්ව යම් පිරිසක් සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් තර්ජනය කළ බවට ප්‍රකාශයක් ලබා දී තිබේ.

ඒ අනුව, පැහැර ගැනීමට සම්බන්ධ බවට සැක පුද්ගලයින්ගේ සිතුවම් පොලිසියේ චිත්‍ර ශිල්පියෙකු විසින් අඳිනු ලැබ මාධ්‍ය වෙත මුදා හරින ලදී.

එමෙන් ම ලසන්තගේ උද්‍යාන පාලක ලෙස කටයුතු කළ තැනැත්තාගේ ප්‍රකාශයකට අනුව ලසන්ත ඝාතනය කිරීමට පෙර පැමිණි පුද්ගලයෙකු ලිපි ලේඛන කිහිපයක් ලසන්තගේ කාමරයට දමන ලෙස ලබා දී ඇති අතර උද්‍යාන පාලක එය ප්‍රතික්ෂේප කර ඇත.

උද්‍යාන පාලක⁣ගේ විස්තර අනුව ද අදාළ පුද්ගලයාගේ කටු චිත්‍ර සටහනක් ඇඳ මාධ්‍ය වෙත යොමු කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව කටයුතු කළේ, 2016 වසරේදී ය.

ඒ හරහා ලැබුණ ඔත්තු අනුව යුද්ධ හමුදා බුද්ධි අංශයේ සාජන් මේජර්වරයෙකු වූ ප්‍රේම් ආනන්ද උදලාගමගෙන් ප්‍රශ්න කර අධිකරණයට ඉදිරිපත් කර හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබිණි.

එහිදී ලසන්තගේ රියැදුරු මෙන් ම උද්‍යාන පාලක විසින් තමන්ට තර්ජනය කරන ලද්දේ අදාළ සැකකරුවා බව හඳුනාගෙන තිබිණි.

එවක ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල සහ ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ සාක්ෂි වසන් කිරීමේ චෝදනා මත ය.