රට බංකොලොත්භාවයට පත් කළ පුද්ගලයින්ට දඬුවම් දීමට ඇති නීතිමය අභියෝග මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
77 වන ජාතික නිදහස් දින සංවත්සරය සමරන ශ්‍රී ලංකාව මෑත ඉතිහාසයේ මුහුණ දුන් දැවැන්ත ම ආර්ථික අර්බුදයට මුහුණ දී වසර තුනකට අධික කාලයක් ගත වෙමින් තිබේ.
එහෙත්, රට බංකොලොත්භාවයට පත් කිරීම සඳහා වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස කිසිදු දඬුවමක් නොලබා නිදැල්ලේ පසුවන්නේ, ඔවුන්ගෙන් වන්දි අයකර ගැනීමට හෝ දඬුවම් දීමට පක්ෂ විපක්ෂ දේශපාලන නායකත්වයට ඇති උනන්දුව පිළිබඳ ප්‍රශ්නාර්ථයක් මතු කරමිනි.
මෙම ඓතිහාසික නඩු තීන්දුව පාදක කර ගනිමින් වගඋත්තරකරුවන්ට දඬුවම් නියම කිරීමක් හෝ ඔවුන්ගෙන් වන්දි අය කර ගැනීමක් කළ හැකි ද? මේ සම්බන්ධයෙන් වන නීතිමය අභියෝග පිළිබඳව බීබීසී සිංහල නැවත සොයා බැලීමක් කළේ ය.
ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුව
ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි (2023 නොවැම්බර් 14 වන දා) තීන්දු කළේ ය.
හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්. ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව එවකට අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු මෙහිදී තීන්දු කළහ.
'ආර්ථික අර්බුදය වැළැක්වීමට නිසි පියවර ගෙන නැහැ'
වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජුලියන් බෝලිං, ජෙහාන් කනගරත්න ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.
එම මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මුර්දු ප්‍රනාන්දු, විජිත් මලල්ගොඩ, බුවනෙක අලුවිහාරේ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව එවකට අගවිනිසුරු ජයන්ත ජයසූරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබී ය.
සුළුතර නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන එහිදී සඳහන් කළේ, තමන් අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමට නියම කරන බව ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මෙම කාල සීමාව තුළ වගඋත්තරකරුවන් රට තුළ ආර්ථික අවපාතයක් මතු විය හැකි බවට කරුණු වටහා ගෙන සිටි බව පැහැදිලි වන්නේ යැයි සඳහන් කළ අගවිනිසුරුවරයා මෙම තත්ත්වය වැළැක්වීමට ඔවුන් නිසි පියවර නොගත් බවත් සඳහන් කර සිටියේ ය.
එහි ප්‍රතිඵලයක් ලෙස අත්‍යවශ්‍ය සේවාවන් වන විදුලිය, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී මහ ජනතාව මෙන් ම රට ද දැඩි අගාධයකට ඇද වැටුණු බවත් තීන්දුවේ සඳහන් කර තිබිණි.
රට තුළ ආර්ථික අර්බුදයක් මතු විය හැකි බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආර්ථික විශේෂඥයින් මත පළ කර තිබියදීත් වගඋත්තරකරුවන් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කළ ආකාරයක් පෙනී නොයන බවත් වත්මන් ආර්ථික අර්බුදය මැඩලීමට තමන් සියලු ක්‍රියාමාර්ග ගත් බවට වගඋත්තරකරුවන් කරනු ලබන ප්‍රකාශ පිළිගත නොහැකි බවත් නඩු තීන්දුවේ සඳහන් කර ඇත.
මේ තුළින් වගඋත්තරකරුවන් මහජන විශ්වාසය හා භාරය කඩ කරමින් කටයුතු කර ඇති බවත් ඒ තුළින් ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර වියතුන්ගේ තීන්දුවේ සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන්දි ගෙවන ලෙස අධිකරණය නියෝග නිකුත් නොකරන බව සඳහන් කළ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් වග උත්තරකරුවන් විසින් පෙත්සම්කරුවන්ට රුපියල් 150000/- බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බව වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
නීතී විශාරදයින් කියන්නේ කුමක් ද?
ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පිරිසකගෙන් බීබීසී කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඍජුව නඩු පවරා වන්දි අය කර ගැනීමක් හෝ දඬුවම් කිරීමක් කළ නොහැකි බව ය.
එහෙත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් විමර්ශනයක් කර දූෂණය යටතට ගැනෙන වැරදි සිදුවූ ඇති දැයි සොයා බැලිය හැකි බව ඔවුහූ පෙන්වා දුන්හ.
ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කියා සිටියේ, "මම හිතන්නෙ නැහැ ප්‍රායෝගිකව සිවිල් හරි අපරාධ නඩුවක් දාලා ඔප්පු කරන්න පුළුවන් වෙයි කියලා. මම හිතන්නේ නැහැ අපරාධ වරදක් ස්ථාපනය වෙයි කියලා එතනින්. අපරාධ වරදක් ස්ථාපනය වෙනවා කියලා."
"එක ම දේ විමර්ශනය කරලා බලන්න වෙන්නෙ යම් දූෂණයක් වුණා ද කියලා. එහෙම වුණොත් අල්ලස් පනත යටතේ දූෂණය වරදට නඩු පවරන්න පුළුවන් වෙයි. එහෙම නම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් පවත්වන්න ඕනේ."
"ඒ වුණත් ඒ වගේ එකක් විමර්ශනය කරන්න අල්ලස් කොමිසමට අවශ්‍ය කරන විමර්ශන හැකිව තියෙනවා ද කියන එකත් තව ප්‍රශ්නයක්."
"ඒ වගේ විමර්ශනයක් කරන්න තාක්ෂණික දැනුම තියෙනව ද කියන එක ප්‍රශ්නයක්. ඊට අමතරව දූෂණය වරද ස්ථාපිත වෙනවා කියලා කරුණු හොයන්න විමර්ශනය කරන්න වෙයි."
"ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් පවතින නීතිය අනුව අපරාධ නඩුවක් දලා, මං හිතන්නේ නැහැ සිවිල් හරි අපරාධ නඩුවක් පවරලා ඔප්පු කරන්න පුළුවන් වෙයි කියලා."
පෙත්සම්කරුවන් දැන් මොක ද කියන්නේ ?
එවකට රාජපක්ෂ පාලනයට එරෙහිව නැගී සිටිමින් රට බංකොලොත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට තරම් නිර්භීත වූ, මෙම පෙත්සම් ගොනු කිරීමට ඉදිරිපත් වූ සිවිල් පුරවැසියන්ගෙන් බහුතරය මෙන් ම පෙත්සම වෙනුවෙන් ඉදිරිපත් වූ නීතීඥවරුන් ද මේ වන විට පසුතැවිල්ලට පත්ව සිටින්නේ, පක්ෂ භේදයකින් තොරව රටේ දේශපාලන නායකත්වය තවමත් මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නා බවට මැසිවිලි නගමිනි.
මෙම පෙත්සම් වෙනුවනේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය පැවසුවේ, "අපි ප්‍රතිඵලය ලබා ගත්තා. ප්‍රතිඵලය ලබා ගත්තට, එතනින් එහාට ගෙනියන එක රටේ දේශපාලන නායකයින්ට භාර දෙයක් නේ."
"මං දන්නේ නැහැ ඒගොල්ලන්ට නොතේරීම නිසා වෙන දෙයක් ද? එහෙම නැත්නම් තේරිලා නොකරන දෙයක් ද කියලා."
"මම හිතන්නේ නැහැ මේ ලංකාවට කිසි ම ආනාගතයක් තියෙනවා කියලා. හැමෝම බොරුව කරන්නේ. හැමෝම බොරුව කරන්නේ."
"සජබ ඇතුළුව, එක්සත් ජාතික පක්ෂය ඇතුළුව, පොදු පෙරමුණ සහ ජේවීපී එක ඇතුළුව එක්කෙනෙක්වත් මේ නඩුවේ තීන්දුව කියවලා තියෙනවා ද කියලා මං දන්නේ නැහැ."
"මං හිතන්නේ අල්ලස් හෝ දූෂණය යටතේ මේ ක්‍රියාවලිය කරන්න පුළුවන්. එහෙම බැරි නම් නීතියේ හිඩැසක් තියෙනවා නම් ඒ හිඩැස වහන්න පුළුවන් දැන් නීතියක් ගෙනල්ලා."
"රනිල් ඒ තීරණය ගත්තේ නැහැ කීයටවත් මොක ද එයාට ඕනකම තිබ්බා එයාට තනතුරු දීපු පුද්ගලයින් බේර ගන්න. දැන් මට පේන්නේ නැහැ මේ කට්ටියටත් එහෙම එකක් තියෙනවා කියලා. මේ කට්ටියට ඕනෑකම තියෙන්න පුළුවන්. නමුත් දන්නේ නැහැ කොහොම ද කරන්නේ කියලා. මේ ගොල්ලන්ගේ තුන් දෙනෙක් ගත්තා ම තුන් දෙනා කියන්නේ කතා තුනක්. ඒ ගොල්ලෝ උපදෙස් ගන්නේ ඒ ගොල්ලන්ගේ මතවාදය පිළිගත්ත කටිටියගෙන් විතරයි," ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කියා සිටියේ ය.
මේ සම්බන්ධයනේ රජය ක්‍රියාත්මක නොවන්නේ නම් සිවිල් වැසියන්ට වාණිජ අධිකරණයක හෝ දිසා අධිකරණයකට ගොස් නඩු පැවරීමේ හැකියාවක් තිබේ ද යන්න පිළිබඳව බීබීසී සිංහල විමසා සිටියේ ය.
"අපි කොච්චර කරන්න ද? අපි නඩු දානවා, නඩු දිනනවා… නඩු දානවා. තේරුමක් නැහැ නේ. මටත් දැන් මහන්සි වෙලා ඇති වෙලා තියන්නේ. අපි නඩු දානවා නඩු දිනනවා. ඊට පස්සේ මොකක් ද වෙන්නේ?. වෙන දෙයක් නැහැ. නඩුකාරවරුත් පුළුවන් තරම් ස්වාධීනව කටයුතු කරලා ඒ තීරණ ලබා දෙනවා. එතනින් එහාට වෙන දෙයක් නැහැ. ඒකයි මම හිතන්නේ මේ රටට අනාගතයක් නම් නැහැ කියන එක."
මේ අතර, රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය පාර්ශව අතරින් තවත් පෙත්සමක් ගොනු කළ මෙරට කීර්තිමත් පිහිනුම් ශූරයෙකු වූ ජූලියන් බෝලිං බීබීසී සිංහල වෙත අදහස් දක්වමින් කියා සිටියේ, "අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා තියෙනවා. දකුණෙන් උතුරෙන් කට්ටිය ඔක්කමලා තීරණයක් ගත්තා NPP එකට චාන්ස් එකක් දෙන්න. හොරකම් කරපු අයට දඬුවම් දෙන එක ලොකු දෙයක්. එතකොට NPP එකත් දන්නවා ඒ කට්ටියත් වැරදි කළොත් ඒ අයටත් යන්න වෙනවා කියලා," ඔහු කියා සිටියේ ය.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහීම් මෙන්ඩිස් කියා සිටියේ, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම වත්මන් රජයට පැවරෙන බව ය. "ඒ ක්‍රියාමාර්ග අලුත් ජනවරමක් ලබලා තියෙන, ඓතිහාසික තුනෙන් දෙකක ජනවරමක් ඇති මේ රජයට සහමුලින් ම භාරයි, මොක ද ජනතාව පුරවැසියන් විදිහට අපි කළ හැකි උපරිම දේ කරලා හමාර යි. පුරවැසියගේ යුතුකම විදිහට."
"අපි ඒ පැමිණිල්ල ඉදිරිපත් කරලා සාක්ෂි ඇතිව ඔප්පු කළේ, නැත්නම් අපහාස කරයි කියලා නේ රාජපක්ෂලා කියන්නේ. ඒක ඔප්පු කළේ නැත්නම් කවදහරි ඇතැමෙකු ප්‍රකාශ කරාවි නිකං අපරාදේ රාජපක්ෂවලට අපහාස කරා කියලා. අපි අපේ පුරවැසි යුතුකම ඉෂ්ට කරලා තියෙනවා."
"අපි ඓතිහාසක නඩුවක් පවරලා ඉතාමත් ම පැහැදිලි තීන්දුවක් ලබා ගත්තා. මිලියන 22ක ජනතාවක් වෙනුවෙන් අපි ජීවිත පරදුවට ලබලා තමයි පැමිණිලිකරුවන් බවට පත්වුණේ."
"මේ රටේ විශාලතම ආර්ථික ඝාතනය. ආර්ථික බංකොලොත්භාවයට ලක් කිරීම පිළිබඳව සුප්‍රීම් උසාවියේ 9 දෙනෙකු වැරදිකරුවන් බවට පත් කළා ම, ජනාධිපතිවරු දෙදෙනෙක්. මුදල් අමාත්‍යවරුන් දෙදෙනෙක්, මහ බැංකු අධිපතිවරුන් දෙදෙනෙක්. මුදල් අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු 9 දෙනෙක් ඔක්කොම. ඒ අය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තෙම්න්තුව සහ අධිකරණය සමාජ වගකීමක් ඇති ව කටයුතු කළ යුතුව තිබෙනවා. නීතිපති දෙපෙර්තමේන්තුව ඉදිරි කටයුතු කළ යුතුව තිබෙනවා."
අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමට මෙම පෙත්සම පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව පවරපු දිනයෙ ම මම පුද්ගලිකව ගිහිල්ලා මෙම අල්ලස් කොමිසමට ඉදිරිපත් කළා. අද වෙන තුරු නෙමෙයි. කිසි ම පරීක්ෂණයකට. සුප්‍රීම් උසාවිය තීන්දුවකුත් දීලා, කවුද වරදකරුවන් ලෙස නම් කරලා, නමුත් අද වන තුරු අල්ලස් කොමිසම මේ පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කරලා නැහැ. කිසි ම පරීක්ෂණයක් කරලා නැහැ.
මහජන ආරක්ෂක ඇමති මොකද කියන්නේ ?
මෙම නඩු තීන්දුව පාදක කර ගනිමින් මාලිමා ආණ්ඩුව ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී බීබීසී සිංහල විමසා සිටියේ ය.
ඊට පිලිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ, "අපි පොදුවේ මේ රටේ අපරාධ සහ මුල්‍ය අපරාධ සම්බන්ධයෙන් පොදු ක්‍රියාමාර්ගයක ඉන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණය වරින් වර තීන්දු ලබා දීලා තියෙනවා. මේ තීන්දු වලින් නැවත නැවත සනාථ වෙනවා. ඔවුන් මේ රට බංකොලොත් කරන්න දායක වුණා වගේම ඒ බංකොලොත්භාවය විසින් මේ රටේ ජනතාව පීඩාවට පත් කළා කියලා."
"එම අධිකරණ තීන්දුව සිවිල් පුරවැසියෝ තමා ලබා ගෙන තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් අපරාධ නීතිය යටතේත් කටයුතු කරන්න පුළුවන් කියලයි අපි විශ්වාස කරන්නේ."
බීබීසී සිංහල විමසා සිටියේ මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට කාලරාමුවක් තිබේද යන්න පිළිබඳවය.
ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල කියා සිටියේ "රජයක් හැටියට එක් එක දේශපාලන කණ්ඩායම් ඉලක්ක කර ගෙන යන ගමනක් නෙමේ සමස්ථයක් හැටියට නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරලා ඒ ලබා ගත්ත නීතියේ තීන්දු තීරණ අනුව අනාගත පියවර ගන්න තමා සැලසුම් කරන්නේ."














