අලුතින් පත්කළ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ SDIG රන්මල් කොඩිතුවක්කු පිළිබඳ ආන්දෝලන මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, SRI LANKA POLICE
පරීක්ෂණ කඩිනම් කිරීම සහ කාර්යක්ෂම කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ ව්‍යුහයේ යම් යම් වෙනස් කිරීම් සිදුකරන ලද බවට නිවේදනය කෙරුණේ, පෙබරවාරි 11 වන දින ය.
එම නිවේදනයට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය යනුවෙන් නව ආයතනික ව්‍යුහයක් ආරම්භ කර ඇති අතර, එය පවතින්නේ අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ අධීක්ෂණයට යටත්ව ය.
එම කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වන්නේ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව වන අතර ඔහු යටතේ එහි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශනි අබේසේකර යි.
ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අනුමැතිය යටතේ මෙම නව තනතුරු සහ නව ආයතනික ව්‍යුහයන් ඇති කර තිබෙන්නේ පොලිස් ආඥා පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ඇති නීතිමය අවශ්‍යතාවලට අනුකුල වෙමිනි.
මීට පෙර බලය අවභාවිත කිරීම වැනි සිදුවීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා හේතුවෙන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මෙම තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මිශ්‍ර අදහස් සමාජ මාධ්‍ය තුළ පළවෙමින් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

2000 දී එල්ල වූ චෝදනා
2000 වසරේ ජූනි 19 වන දින නිමල් සිල්වා ගුණරත්න නමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔහු පානදුර පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් වධ හිංසා කිරීම පිළිබඳව ඒ වන විට සහකාර පොලිස් අධිකාරිවරයෙකු වූ රන්මල් කොඩිතුවක්කු ඇතුළු පිරිසකට චෝදනා එල්ල විය.
එම පුද්ගලයා අධිකරණයකට ඉදිරිපත් නොකර සති තුනකට ආසන්න කාලයක් මෙලෙස රඳවාගෙන සිට තිබූ අතර, එහිදී මුහුණ දුන් වධ හිංසා හේතුවෙන් ඔහුගේ එක ඇසක පෙනීම සම්පූර්ණයෙන් ම නැති වී ගොස් තිබිණි.
මෙම සිදුවීම සිදුවන විට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රන්මල් කොඩිතුවක්කුගේ පියා වන ලකී කොඩිතුවක්කු පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කිරීම විශේෂත්වයකි.
ඔහු 1998 වසරේ සිට 2002 වසර දක්වා එම ධුරයේ කටයුතු කළේ ය.
නිමල් සිල්වා ගුණරත්න මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි.
නඩුව විභාග වන අතරවාරයේදී ඔහු වරින්වර තර්ජනයන්ට ලක්ව තිබූ අතර, ඇතැම් අවස්ථාවල ඔහුගේ නිවාස ආශ්‍රිතව පොලිස් නිලධාරීන් ගැවසෙමින් සිට තිබේ.
2005 වසරේ මෙම පුද්ගලයාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් ද එල්ල වී තිබූ අතර, මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර වසර හයකට පසු, එනම් 2006 වසරේදී එහි තීන්දුව ලබා දුන් අතර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු හැර වෙනත් නිලධාරීන් තිදෙනෙකු නිමල් ගුණරත්නගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි තීන්දුව ලබා දී තිබිණි.
එකල ආසියානු මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වුණේ මෙම සිදුවීමට එවකට සිටි සහකාර පොලිස් අධිකාරිවරයෙකු වූ රන්මල් කොඩිතුවක්කු ද සම්බන්ධ බවට ය.
2002 දී සිදු කළ තර්ජනය
මෙම සිදුවීමට අදාළව නිමල් ගුණරත්න විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට සිදු කරන ලද පැමිණිල්ලක් පිළිබඳ පරීක්ෂණයක් පවත්වමින් සිටි එවකට එහි ව්‍යපෘති අධ්‍යක්ෂවරයෙකු වූ නිමල් පුංචිහේවාට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් තර්ජනයක් කර තිබිණි.
වර්තමානයේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු වන නිමල් පුංචිහේවාගෙන් බීබීසී සිංහල කළ විමසීමකදී ඔහු පැවසුවේ, 2002 වසරේදී මානව හිමිකම් කොමිසමේ පැවති පරීක්ෂණයක් අතරතුරදී ඔහු කලහකාරී ලෙස හැසිරුණු බව ය.
"2002 දී කේස් එකකට ඇවිල්ලා ඉන්නකොට අපේ නිලධාරීන්ට පරීක්ෂණය කර ගන්න දෙන්නේ නැති විදිහට හැසිරුණා. ඒ පාර මම එයාව එළියට දැම්මා. ඊට පස්සේ තර්ජනය කරලා ගියා," ඔහු පැවසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් එකල සහකාර පොලිස් අධිකාරිවරයෙකු වූ රන්මල් කොඩිතුවක්කු මානව හිමිකම් කොමිසමට පැමිණ සමාව ගත් බව ද ඔහු පැවසුවේ ය.
2021 දී පුද්ගලයෙකුට පහරදීම
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2021 වසරේ ඔක්තෝබර් මාසයේදී මිශාර රණසිංහ නමැති පුද්ගලයෙකු ඔහුගේ මෝටර් රථයෙන් රත්නපුර සිට පානදුර දක්වා යමින් සිටින අතරතුරදී පොලිස් ජීප් රථයකින් පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුළු පිරිසක් ඔහුට පහර දී කිරිඇල්ල පොලිසිය වෙත ගෙනගොස් තිබිණි.
මෙම සිදුවීම සිදුවූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති නිලයේ සිට එම නිලයට උසස්වීම් ලබා මාස කිහිපයකට පසු ය.
මෙම සිදුවීමේ බව කියවෙන වීඩියෝවක් ද එකල සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.
මිශාර රණසිංහ යන පුද්ගලයාව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිස කිරිඇල්ල පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් තිබූ අතර, මිශාර රණසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සමාගම විසින් 2021 වසරේදී එකල ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂට යොමු කළ ලිපියක ඇතුළත් වූයේ, පොලිස් ස්ථානයට ගෙන ගිය පසුව ද මිශාර රණසිංහට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අමානුෂික අන්දමින් පහර දී ඇති බවත්, ලිංගිකව අඩම්තේට්ටම් සිදු කරන්නේ යැයි තර්ජනය කර තිබූ බවත් ය.
පසුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කිරිඇල්ල පොලිසියෙන් පිටත්ව ගොස් තිබූ අතර පසුව මිශාර වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයෙකු පොලිසිය වෙත පැමිණීමෙන් පසු ඔහුව මුදා හැරීමට කටයුතු කර තිබිණි.
මෙම සිදුවීමෙන් පසුව සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඔහුව පොලිස් වෛද්‍ය හා සුබසාධන ඒකකයට මාරුකර යැවිණි.

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK
මූලික අයිතිවාසිකම් කඩ කළ බවට යළි චෝදනා
මේ වන විට මිශාර රණසිංහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ තිෂ්‍ය වේරගොඩගෙන් බීබීසී සිංහල විමසීමක් සිදු කරන ලදී.
නීතිඥවරයා පැවසුවේ මෙම පෙත්සම එළඹෙන මාර්තු 04 වන දින විභාගයට ගැනීමට නියමිත බවයි.
මෙම පෙත්සම පසුගිය වසරේ එනම් 2024 අගෝස්තු 08 වන දින කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් කොමිසම සහ පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයකට උක්ත සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අධිකරණය කරුණු වාර්තා කරන ලෙස නියෝග කර තිබිණි.
රෝහලේ වෛද්‍ය වාර්තා අතුරුදන්
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ තිෂ්‍ය වේරගොඩ පැවසුවේ, පසුගිය වසරේ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය විසින් පවත්වන ලද පරීක්ෂණවලදී මෙවැනි සිදුවීමක් සිදුව නොමැති බවට වාර්තා කර ඇති බව ය.
"පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණවලින් කියනවා මෙහෙම පහර දීමක් සිදුවෙලා නෑ කියලා. නමුත් වීඩියෝ සාක්ෂි දෙකක් තියෙනවා," ඔහු පැවසුවේ ය.
එමෙන් ම මෙතෙක් එම පරීක්ෂණ සඳහා මිශාර රණසිංහට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් සාක්ෂි සටහන් කරගෙන නැති බව ද ඔහු පැවසීය.
"මෙම පහර දීමෙන් මිශාරට තුවාල 13ක් සිදුවෙලා තිබුණු බව වෛද්‍යවරයා දුන්න වෛද්‍ය වාර්තාවේ තියෙනවා."
රෝහලේ වෛද්‍ය වාර්තා මේ වන විට අස්ථානගත වී ඇති බව ද ඔහු පවසයි.
"පහර දීමෙන් පසුව මිශාර මුල්ලේරියාව රෝහලට ඇතුළත් වෙනවා. ඔහුගේ ඇඳ ඉහ වාර්තා සහ වෛද්‍ය වාර්තා මේ වන විට රෝහලේ තියෙනවා. අධිකරණය මේක බරපතළ තත්ත්වයක් විදිහට සැලකුවා."
"පුද්ගලයෙක් පහර කෑමකට ලක්වෙලා රෝහල්ගත වුණා ම සහ පොලිසියේ ඉහළ ම තනතුරක ඉන්න කෙනෙක් ගැන කියැවෙන මේ වගේ සිදුවීමකදී රෝහලේ වාර්තා අතුරුදන් වෙනවා නම් ඒක බරපතළ තත්ත්වයක් බව අධිකරණය පැවසුවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න තමයි නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් කොමිසම සහ පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයකට භාර දීලා තියෙන්නේ," නීතිඥ තිෂ්‍ය වේරගොඩ පැවසුවේ ය.
පෙත්සම විභාගයට ගැනීම මාර්තු 04
"මිශාරගේ පහර දීමට කොඩිතුවක්කු මහත්තයා සෘජුවම සම්බන්ධයි කියලා තමයි අපි කරුණු දක්වන්නේ. ඒ වගේ ම නිලධාරීන්ගේ ගමන් සටහන් තැබීමේ කරලා තියෙනවා අදාළ දිනයේදී ඔහු කිරිඇල්ල පොලිසියෙන් සවස 4.40ට පිටත් වුණා කියලා. නමුත් ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට දුන්න දිව්රුම් පෙත්සමේ තියෙන්නේ ඔහු කිරිඇල්ල පොලිසියෙන් සවස 3.45ට පිටත්වුණා කියලා. මේ ගැනත් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු දක්වනවා," නීතිඥවරයා පැවසුවේ ය.
සිය සේවාදායකයා බීමතින් රිය පැදවූ බවට පොලිසිය ද සේවාදායකයට විරුද්ධව නඩුවක් ගොනු කර ඇති බවද ඔහු පැවසුවේ ය.
මෙම පෙත්සම එළැඹෙන මාර්තු 04 විභාගයට ගැනීමට නියමිත අතර, විරෝධතා ගොනු කිරීමට ලබා දී තිබූ සති 6ක කාලයේදී පෙත්සමෙන් නම් කර තිබෙන වග උත්තරකරුවන් විරෝධතා ගොනු කර නොමැති බව ද ඔහු පැවසීය.
මෙම ලිපියේ Google YouTube විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Google YouTube කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of YouTube post
මහජන ආරක්ෂක ඇමතිගේ ප්‍රතිචාරය
නව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධීක්ෂණය කිරීමේ වගකීම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට පැවරීමට ගත් තීරණය සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගෙන් විමසීමක් කළේ ය.
"සීනියර් DIGලා 16ක් ද කොහෙ ද නේ ඉන්නේ. එතකොට පළාත් 8 යි, අනිත් කොට්ඨාස යි, දාන්න ඕනේ තැන්වලට කොහෙට හරි දාන්න වෙනවා. අනිත් තනතුරු වගේ නෙවෙයිනේ. එහෙම මාරු වෙවී යනවා. නමුත් එහෙම ගියා කියලා අපි විමර්ශනවලට බාධා වෙන තැන්වලට මාරු කරන්නේ නෑ," අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ ය.
"යම් විමර්ශනයක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ විමර්ශනවලට බාධා වන තැන්වලට අපි මාරු කිරීම් කරන්නේ නෑ. විමර්ශන ගොඩක් අයට තියෙනවා, ඒවා කරනවා."
පොලිසියේ මේ වන විට 22,000ක නිලධාරීන් හිඟයක් පවතින බව ද ඔහු පැවසුවේ ය.
"මේ පත් කිරීම් කරද්දී පොලිස් කොමිසමට කිව්වා මේ අයට තියෙන කේස් ගැන හොයලා බලන්න කියලා, තව ම සිදුවෙන පරීක්ෂණ ගැන හොයලා බලන්න කිව්වා. මූලික අයිතිවාසිකම් නඩු තියෙනව ද බලන්න කිව්වා," අමාත්‍යවරයා පවසයි.
රන්මල් කොඩිතුවක්කු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොල්සිපතිවරයා සම්බන්ධයෙන් ද එම සොයා බැලීම කර තිබෙන්නේ දැයි බීබීසී සිංහල අමාත්‍යවරයාගෙන් විමසූ විට ඔහු මෙසේ පැවසීය.
"හැමෝට ම එක එක චෝදනා එනවා. මෙයා සම්බන්ධයෙන් මං හොයල බලන්නම්. ඒ පිළිබඳව මං සොයා බැලීමක් කරන්නම්. විමර්ශනවලට බාධාවක් නොවෙන තැනකට දාන්න පුළුවන්. එක එක්කෙනාට ලැබෙන පැමිණිලි ගැන හොයල බලන්න කිව්වා."
මෙම පත් කිරීම් පොලිස් කොමිසම හරහා සිදුවූ බව ද අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළේ ය.
"මේ පත්කිරීම් පොලිස් කොමිසම හරහා සිදුවුණේ. අපි කිව්වත් කෙරෙන්නෙ නෑ. සමහර වෙලාවට පොලිස් කොමිසම හේතු හොයල බලල, සමහර ඒවා පොලිස්පති කැමති වුණත් අකමැති වුණත් දෙන ඒවා තියෙනවා."














