පොලිසියේ ආයතනික ව්‍යුහය උඩුයටිකුරු වෙයි

Sri Lanka Police Headquarters

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකා පොලිසියේ මෙතෙක් පැවති ආයතනික ව්‍යුහය වෙනස් කරමින් යම් යම් වෙනස්කම් කිරීමට මේ වන විට තීන්දු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මාධ්‍ය හමුවකදී (පෙබරවාරි 11) පැවසුවේ ය.

පරීක්ෂණ කඩිනම් කිරීම සහ කාර්යක්ෂම කිරීම සඳහා මෙම තීරණය ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

මීට අමතරව, ඊයේ දිනයේදී පොලිස් ස්ථානාධිපතිවරුන් 139 දෙනෙකු ස්ථාන මාරු කර ඇති අතර, ඉන් 53 දෙනෙකු ස්ථානාධිපති නිලයේ සිට සාමාන්‍ය රාජකාරිවලට මාරු කර යවා තිබේ.

මෙවැනි ස්ථාන මාරු කිරීම් සංඛ්‍යාවක් එකවර සිදු කළ පළමු අවස්ථාව මෙය වේ.

Skip YouTube post
Google YouTube අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Google YouTube විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Google YouTube කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ. YouTube අන්තර්ගතයේ දැන්වීම් අඩංගු විය හැකි ය.

End of YouTube post

නෛතික පසුබිම

මෙලෙස ශ්‍රී ලංකා පොලිසියේ ආයතනික ව්‍යුහය තුළ විමර්ශන ඒකක අලුතින් පිහිටුවීමට සහ නව තනතුරු ඇති කිරීමට නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 02 වන වගන්තියට අනුව ආරක්ෂක ඇමතිවරයාගේ අවසරය ලබා ගත යුතු බවත්, ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිවරයාගේ අනුමැතිය යටතේ මෙම වෙනස්කම් සිදු කර ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

එමෙන් ම පොලිස් ආඥා පනතේ මේ සම්බන්ධයෙන් තිබෙන නෛතික අවශ්‍යතා ද සපුරා ඇති බව ඔහු පැවසීය.

CID & FCID

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ විමර්ශන යනුවෙන් අලුත් තනතුරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරයා ද මෙම නව තනතුරට යටත් වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මෙම නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විෂය පථයට ඇතුළත් වන අතර, අලුතෙන් පිහිටවූ මූල්‍ය ආපරාධ විමර්ශන දිසාව ද එම නිලධාරියා යටතේ පවතියි.

මූල්‍ය අපරාධ විමර්ශන දිසාව යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය යන ආයතන දෙක පිහිටුවා තිබේ.

මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පැවති මූල්‍යමය අපරාධ පිළිබඳ පරීක්ෂණ මෙම මූල්‍ය අපරාධ විමර්ශන දිසාව යටතේ ඉදිරියට සිදුකිරීමට බලාපොරොත්තු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

"මූල්‍යමය අපරාධ, රාජ්‍ය මුදල් අවභාවිත කිරීම්, රාජ්‍ය දේපළ අවභාවිත කිරීම්, වංචනික ක්‍රියා සහ වංචා," පිළිබඳ මෙම දිසාව යටතේ පරීක්ෂණ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

පරීක්ෂණ කඩිනම් හා වේගවත් කිරීමටත් කාර්යක්ෂම කිරීමටත් මෙම තීන්දුව ගත බව ඔහු පැවසුවේ ය.

CCIB

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය

ශ්‍රී ලංකාව තුළ පසුගිය දිනවල වාර්තා වූ අපරාධ සහ වාර්තා වෙමින් පවතින අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා 'මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය' යනුවෙන් නව අංශයක් පිහිටුවා තිබේ.

මෙයට විවිධ අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අංශ 6ක් ඇතුළත් කර තිබේ.

"සමහර පරීක්ෂණ CID යනවා. සමහර පරීක්ෂණ මේ හරහා සිදුකෙරෙනවා. ඒ අපරාධවල බරපතළකම/ වැදගත්කම වගේ කරුණු සැලකිල්ලට අරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ හෝ මේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය යටතේ කඩිනම්ව පරීක්ෂණ සිදුකෙරෙනවා," පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග කියා සිටියේ ය.

පැමිණිල්ලක් ලැබුණු විට එය කුමන අංශය යටතේ විමර්ශනය කරන්නේ දැයි යන තීරණය පොලිස්පතිවරයා විසින් ගනු ලබනු ඇති බවට ඔහු පැවසුවේ ය.

Special Security

පළාත් අපරාධ විමර්ශන කොට්ඨාස සහ විශේෂ ආරක්ෂක දිසාව

පළාත් තුළ සිදුවන අපරාධ අවම කර ගැනීමේ අරමුණින් ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අනුමැතිය යටතේ පළාත් අපරාධ විමර්ශන කොට්ඨාස 9ක් ආරම්භ කිරීමට ද තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, මෙම පළාත් අපරාධ විමර්ශන කොට්ඨාස මේ වන විටත් බස්නාහිර පළාත සහ දකුණු පළාත තුළ ක්‍රියාත්මක වන බවත්, එලෙස විමර්ශන කොට්ඨාස නොමැති පළාත්වල අලුතින් එම කොට්ඨාස ආරම්භ කරන බවත් ය.

මීට අමතරව, 'ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, විශේෂ ආරක්ෂක දිසාව' ලෙස නව තනතුරක් ඇති කර ඇති අතර එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට ජනාධිපති ආරක්ෂාව, අගමැති ආරක්ෂාව, තානාපතිවරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණ ආරක්ෂාව යන විෂයයන් ඇතුළත් කර තිබේ.