දූෂණ චෝදනා: ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වැසිකිලි පරීක්ෂා කළාද?

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ට සහ ක්‍රීඩකයන්ට එරෙහිව වරින් වර විවිධ චෝදනා එල්ල වේ.
දේශීය සහ ජාත්‍යන්තර තරග පාවාදීමට ඇතැම් ක්‍රීඩකයන් සහ බලධාරීන් පවා සම්බන්ධ වූ බව එවැනි එක් චෝදනාවකි.
සිම්බාබ්වේ කණ්ඩායම පසුගියදා හම්බන්තොට මහින්ද රාජපපක්ෂ ක්‍රීඩාංගනයේ පැවති තරගයකදී ජගත් පාලක මණ්ඩලයේ (අයිසීසී) දූෂණ විරෝධී අංශයේ නිලධාරීන් හදිසියේම කඩා පැන ක්‍රීඩක විවේකාගාරයේ වැසිකිලි සෝදිසි කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත ඉරිදා (ජුලි 30) පළ කළ වාර්තාව මේ පිළිබඳව අලුත්ම චෝදනාවය.
නවක ක්‍රීඩකයෙකුගේ සැක කටයුතු හැසිරීමක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනෙකු කළ පැමිණිල්ලක් ප්‍රකාර ඔවුන් වැසිකිලිවල සැක කටයුතු මෙවලමක් තිබෙන්නේ දැයි පරීක්ෂා කළ බව පුවත්පත වාර්තා කරයි.
සබැඳි යොමු:
එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.
එය 'සම්පූර්ණ අසත්‍යයක්' බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල, "එහෙම කිසිම සැක කටයුතු දෙයක් ගැන, ක්‍රීඩකයෙක් ගැන කොයි වෙලාවෙවත් කතා කරලා නෑ," යනුවෙන් ද කියා සිටියේය.
"අපිට කිසිම පැමිණිල්ලකුත් නෑ, එහෙම දෙයක් සිද්ද වුනා කියල වාර්තා වෙලත් නෑ."
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොදන්වා ජාත්‍යන්තර පාලක මණ්ඩලය එවැනි පරීක්ෂණයක් කිරීමට ඉඩ තිබෙන්නේ නොවේ දැයි විමසූ අවස්ථාවේ නියෝජ්‍ය කතානායකවරයා සඳහන් කළේ, එවැනි සියලු පරීක්ෂණ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස තමන් අධීක්ෂණය කරන බවය.
කෙසේ නමුත් ඉන්දීය කණ්ඩායමේ සංචාරය අතරවාරයේ ජගත් පාලක මණ්ඩලයේ දූෂණ විරෝධී ඒකකයේ නිලධාරීන් විශාල පිරිසක් දිවයිනට පැමිණ සිටින බවත් ඔහු පැවසීය.
සිය දූෂණ විරෝධී ඒකකය පවත්වන සාමාන්‍ය සෝදිසි මෙහෙයුම් පිළිබඳව කිසිවක් සඳහන් කළ නොහැකි බව ඒ පිළිබඳව විමසීමක් කළ අවස්ථාවේ ජගත් පාලක මණ්ඩලයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
කිසිවෙකුට එරෙහිව දූෂණ චෝදනා යටතේ පරීක්ෂණයක් ආරම්භ වුවහොත් පමණක් අයිසීසී ය ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන බව ද ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ අතර සිම්බාබ්වේ කණ්ඩායමේ සංචාරය අතරවාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සම්පත් හෙට්ටිආරච්චි කණ්ඩායම් රැස්වීම්වලට සහභාගී වූ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත එල්ල කරන තවත් චෝදනාවකි.
එය සනාථ කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, ආයතනයේ තාක්ෂණික අවශ්‍යතාවක් මත ඔහු එම රැස්වීම්වලට සහභාගි වූ බව කියා සිටියේය.
ක්‍රිකට් ආයතනය විසින් නිර්මාණය කරන ලද පරිගණක මෘදුකාංගයකට ඇතුළත් කිරීම පිණිස ප්‍රතිවාදී ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අවශ්‍ය කරුණු රැස් කිරීම පිණිස, ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහගේ අනුමැතිය සහිතව, ඔහු එම රැස්වීම්වලට සහභාගි වූ බව ද තිලංග සුමතිපාල සඳහන් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සහ බලධාරීන්ට එරෙහිව මීට ඉහතදී ද කිහිප වතාවක්ම තරග පාවාදීම ඇතුළු දූෂණ චෝදනා එල්ල වී තිබේ.









