තරඟ පාවාදීම: 'ක්‍රිකට් ආයතනයත් වගකිවයුතුයි'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, සරෝජ් පතිරණ
- Role, බීබීසී සිංහල, ලන්ඩන්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරඟ පාවාදීමට උත්සාහ කළ බවට චෝදනා එල්ල වී සිටින පුද්ගලයා පුහුණු සංචිතයට කැඳවා ගැනීම සම්බන්ධයෙන් වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් වගකීම භාරගත යුතු බව ක්‍රීඩා ඇමතිවරයා පවසයි.
කෙසේ නමුත් තරඟ පාවාදීම පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වන්නේ ක්‍රීඩකයන්ට එරෙහිව නොවන බව අමාත්‍ය දයාසිරි ජයසේකර අවධාරණය කළේය.
ක්‍රීඩා අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, පසුගිය වසරේ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවති තරඟයක් පාවාදීමට උත්සාහ කිරීමේ චෝදනාව හා සම්බන්ධව ක්‍රිකට් ආයතනය විසින් පුහුණුකරු අනූෂ සමරනායකගේ වැඩ තහනම් කිරීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.
"මේ පරීක්ෂණය කෙරෙන්නේ ක්‍රීඩකයන්ගේ කීර්තිනාමය ආරක්ෂා කරගැනීම සඳහා මිසක, එය විනාශ කිරීම සඳහා නෙවෙයි," ඔහු පැවසීය.

"මොකද හේතුව මේ ක්‍රියාදාමයේදී අපිට පැහැදිලිව තොරතුරු ලැබුනා ක්‍රීඩකයන්ට තරඟ පාවාදීම සඳහා යෝජනා කළයි කියන කාරණය."
කෙසේ නමුත් කුසල් ජනිත් පෙරේරා සහ රංගන හේරත් ක්‍රීඩකයන් දෙදෙනා එම යෝජනා තරයේ ප්‍රතික්ෂේප කොට, ඒ පිළිබඳව ක්‍රීඩා බලධාරීන්ට දැනුම් දී තිබේ.
"බොහොම පැහැදිලියි, අපේ වර්තමාන කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙක් තරඟ පාවාදීමට සම්බන්ධයි කියල මම විශ්වාස කරන්නේ නැහැ," අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේය.
පුහුණුවීම් සඳහා පුහුණුකරු අනූෂ සමරනායක විසින් කැඳවාගත් ගයාන් විශ්වජිත් නම් පුද්ගලයකු විසින් ක්‍රීඩකයන්ට එවැනි යෝජනාවක් ඉදිරිපත් කරන ලද බවට චෝදනා එල්ල වී තිබෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ.

ක්‍රිකට් ක්‍රීඩාවට කිසිදු සම්බන්ධයක් නොමැති එවැනි පුද්ගලයකු සම්බන්ධ කරගැනීම පිළිබඳව පුහුණුකරු පමණක් නොව හිටපු ක්‍රිකට් බලධාරීන් ද එයට වගකිවයුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
"මෙහිදී පැහැදිලිව ඒ අදාළ පුහුණුකරු මේකට සම්පූර්ණයෙන් වගකිව යුතුයි. එවකට හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලය, ඒ අයත් මේකට වගකියන්න ඕන."
තරඟය පරාජය වීම සඳහා රුපියල් කෝටියක මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇතැයි හෙළි වී තිබෙන බව අමාත්‍යවරයා මීට ඉහතදී පැවසීය.
ක්‍රිකට් තරඟ පාවාදීමේ සිදුවීම් පිළිබඳව පැහැදිලි සාක්ෂි තමන් සතුව තිබෙන බව කණ්ඩායමේ හිටපු නායකයකු වන හෂාන් තිලකරත්න මීට වසර කිහිපයකට ඉහතදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ඒ පිළිබඳව පරීක්ෂා කිරීම පිණිස ජගත් පාලක මණ්ඩලයේ නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහු ඔවුන් හමුවීම මඟ හැරි බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කළේය.
හෂාන් තිලකරත්න එදා එල්ල කළ චෝදනාව පිළිබඳවත් පරීක්ෂණ පැවැත්වෙන්නේ දැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දුන් අමාත්‍ය දයාසිරි ජයසේකර කියා සිටියේ, මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ අනාගතයේදී මෙවැනි චෝදනා එල්ල නොවන වාතාවරණයක් සකස් කරගැනීම බවයි.
"හෂාන් තිලකරත්න මහත්මයා සූදානම් නම් මොනවා හරි දෙයක් කියන්න, ඒ සඳහා පරීක්ෂණයක් අවශ්‍ය නම් ඒ සඳහා ක්‍රියාකරන්නත් පුළුවන් වෙයි කියල මම විශ්වාස කරනවා," අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.








