ශ්‍රෙයාස් අයියර්: IPL ඉතිහාසයේ අවසන් තරග වාර්තා අලුත් කළ නායකයා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ අවසන් තරගය අද (ජුනි 03) පන්ජාබ් කිංග්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත ය.
ජූනි මස 01 වන දා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට කඩුලු 05ක ජයග්‍රහණයක් අත්කර දෙමින් IPL අවසන් තරගය සඳහා සිය කණ්ඩායම කැඳවාගෙන පැමිණි නායක ශ්‍රෙයාස් අයියර් පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී ඇත්තේ, තරග දිනවන පිතිකරුවෙකු මෙන් ම විශිෂ්ට නායකයෙකු වශයෙනි.
ඒ, වසර 11කට පසුව පන්ජාබ් කිංග්ස් කණ්ඩායම IPL අවසන් තරගයක් සඳහා කැඳවා ගෙන ඒමට ඔහු මෙම තරගාවලිය පුරා ලබා දුන් දායකත්වය හේතුවෙනි.
කවුද මේ ශ්‍රෙයාස් අයියර්?
1994 වසරේ දෙසැම්බර් මස 06 වන දා මුම්බායිහිදී උපත ලැබූ ශ්‍රෙයාස් සංතෝෂ් අයියර් පාසල් යන අවදියේ සිට ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දැක්වූ ක්‍රීඩකයෙකු විය.
මුම්බායිහි ආර්.ඒ. පෝදාර් විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අතර වාරයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදුණු අවදියේ සිට ම ඔහු තම විදුහලට ක්‍රිකට් ශුරතා 06ක් දිනා දීමට සමත් විය.
ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස ශ්‍රෙයාස් අයියර් ප්‍රසිද්ධියට පත්වීම සහ ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන් 2014 වසරේදී අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම නියෝජනය කිරීමට සමත් වූ අතර, එහිදී ඔහු තරග 03කදී අර්ධ ශතක දෙකක් සමගින් ලකුණු 161ක් රැස් කිරීමට සමත්විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පළමු පෙළ ක්‍රිකට් දිවිය
2014 වසරේදී එංගලන්තයේ ට්‍රෙන්ට් බ්‍රිජ් කණ්ඩායම සමග එංගලන්ත ප්‍රාන්ත තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූ ශ්‍රෙයාස් අයියර්, එහිදී තරග 03කදී ලකුණු 297ක් රැස් කළ අතර ඔහු එහිදී එක් ඉනිමකදී ලකුණු 171ක් රැස් කිරීමට සමත් විය.
මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ''විජෙයි හසාරේ'' ශූරතාවලිය වෙනුවෙන් ක්‍රීඩා කළ අයියර් එහිදී ලකුණු 273ක් රැස් කිරීමට සමත් විය.
තම පළමු පෙළ ක්‍රිකට් දිවිය ආරම්භ කරමින් 2014-15 රංජි කුසලානය වෙනුවෙන් පළමු වරට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාකර ගත් ශ්‍රෙයාස් අයියර්, එහිදී අර්ධ ශතක 07ක් සමගින් ලකුණු 807ක් රැස් කළේ ය.
2015-2016 රංජි කුසලානයේදී ශතක 04ක් සමගින් ද ලකුණු 1321ක් රැස් කිරීමට සමත් වූ අතර එම තරගාවලියේදී ශුරතාවලිය ජයග්‍රහණය කිරීමට මුම්බායි කණ්ඩායම සමත් විය.
IPL තරග දිවියේ ආරම්භය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2015 වසරේදී ශ්‍රෙයාස් අයියර්ට පළමු වරට ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා විය.
ක්‍රීඩක වෙන්දේසියේදී ඔහු ඉන්දීය රුපියල් කෝටි 2.6කට දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබූවේ, එතෙක් ජාත්‍යන්තර වරම් නොලැබූ ක්‍රීඩකයෙකු වෙනුවෙන් වැඩි ම මිලක් වැය කරමින් වීම විශේෂත්වයකි.
ශ්‍රෙයාස් අයියර් තම පළමු IPL තරගාවලියේදී තරග 14කට ක්‍රීඩා කරමින් ලකුණු 439ක් රැස් කිරීමට සමත් වූවා පමණක් නොව එම තරගාවලියේ නැගී එන තරුණ ක්‍රීඩකයා ලෙසට ද සම්මානයට පාත්‍රවිය.
2018 වසරේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ගෞතම් ගම්භීර්ගෙන් පසුව කණ්ඩායමේ නායකයා ලෙස ශ්‍රෙයාස් අයියර් පත් කරනු ලැබූ අතර එම තරගාවලියේදී ඔහු තරග 14කදී ලකුණු 411ක් රැස් කිරීමට සමත් විය.
2020 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී පළමු වරට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අවසන් තරගය දක්වා ගෙන ඒමට ශ්‍රෙයාස් අයියර් සමත් විය. එම තරගාවලියේදී ඔහු තරග 17කදී ලකුණු 519ක් රැස් කළ අතර අවසන් තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 50කදී ලකුණු 65ක් රැස් කිරීමට සමත් වුව ද දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එවර IPL ශුරතාවලිය ජයග්‍රහණය කිරීමට නොහැකි විය.
2021 වසරේ පැවති IPL තරගාවලියේ තරග රැසක් ශ්‍රෙයාස් අයියර්ට අහිමි වූයේ ඔහුගේ උරහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙනි.
2022 වසරේ පැවති ක්‍රීඩක වෙන්දේසියේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඔහු ඉන්දීය රුපියල් කෝටි 12.25කට මිල දී ගනු ලැබූ අතර කණ්ඩායමේ නායකත්වයට ද නම් කරන ලදී. 2023 IPL තරගාවලිය ඔහුට සම්පුර්ණයෙන් මග හැරුණේ පිටකොන්දේ ආබාධයක් හේතුවෙනි.
ශ්‍රෙයාස් අයියර් 2024 IPL තරගාවලිය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය නැවත භාර ගත් අතර, අවසන් තරගයේදී සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම කඩුලු 08කින් පරාජයට පත් කරමින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට තෙවන වරටත් IPL ශුරතාවලිය ජයග්‍රහණය කරලීමට තම දායකත්වය ලබා දුන්නේ ය.
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරග ඉතිහාසයේ අවසන් තරගයක් සඳහා ක්‍රීඩා කළ කණ්ඩායම් තුනක නායකත්වය දැරූ පළමු ක්‍රීඩකයා ලෙස ශ්‍රෙයාස් අයියර් ඉතිහාසයට එක්වී සිටියි.
ඒ, 2020 වසරේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම, 2024 වසරේදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ 2025 පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දරමිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2025 IPL තරගාවලියේදී අයියර් දැක්වූ දක්ෂතා
ඉන්දීය ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ දෙවන වැඩි ම මිලකට වෙන්දේසි වූ ක්‍රීඩකයා වන්නේ, රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ නායක ශ්‍රෙයාස් අයියර් ය. ඔහු ඉන්දීය රුපියල් කෝටි 26.75කට මිල දී ගනු ලැබී ය.
ශ්‍රෙයාස් අයියර් මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී තරග 16කදී ලකුණු 603ක් රැස් කර ගෙන වැඩි ම ලකුණු රැස් කළ පිතිකරුවන් අතර 06 වන ස්ථානයේ පසුවේ. මෙවර තරගාවලියේදී ඔහු අර්ධ ශතක 06ක් රැස් කිරීමට සමත්ව තිබේ.
ඉකුත් ඉරිදා (ජුනි 01) වන දා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග පැවති තරගයේදී ශ්‍රෙයාස් අයියර් පන්දු 41කදී නොදැවී ලකුණු 81ක් රැස් කිරීමට සමත් විය. ඔහුගේ ඉනිමට හයේ පහරවල් 08ක් සහ හතරේ පහරවල් 05ක් ඇතුළත් විය. එම ජයග්‍රහණයේ සැබෑ පුරෝගාමියා වූයේ, ඔහු ය.
එම තරගයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ජසප්‍රිට් බුම්රා එවන ලද යෝකර් පන්දුවකට එල්ල කළ පහර ගැන ක්‍රිකට් විස්තර විචාරයේ යෙදී සිටි ඒ.බී. ඩිවිලියර්ස් කියා සිටියේ, එය 'IPL තරගාවලියේ පහර' ලෙස තමන් හඳුන්වන බව ය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ජාත්‍යන්තර තරගවල දැක්වූ දස්කම්
ශ්‍රෙයාස් අයියර් 2017 වසරේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් විස්සයි 20 තරග සඳහා වරම් ලබා ගත් අතර ඔහු මේ දක්වා තරග 51කදී අර්ධ ශතක 08ක් සමගින් ලකුණු 1104ක් රැස් කිරීමට සමත් වී තිබේ.
2017 වසරේදී ම ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග සඳහා ජාත්‍යන්තර වරම් දිනා ගැනීමට සමත් වූ අතර මේ දක්වා තරග 70කදී ශතක 05ක් සහ අර්ධ ශතක 22ක් සමගින් ලකුණු 2845ක් රැස් කිරීමට සමත්ව ඇත.
2021 වසරේදී ඔහු ටෙස්ට් තරග සඳහා ජාත්‍යන්තර වරම් දිනා ගනු ලැබූ අතර මේ දක්වා තරග 14කදී එක් ශතකයක් සහ අර්ධ ශතක 05ක් සමගින් ලකුණු 811ක් රැස් කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අද IPL අවසන් තරගය දෙපිලට ම වැදගත් වන්නේ ඇයි ?
2025 IPL අවසන් තරගය සඳහා ක්‍රීඩා කරන රෝයල් චැලෙන්ජර්ස් සහ පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම් දෙක මීට පෙර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී අවස්ථා කිහිපයකදී අවසන් තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදා කර ගත්ත ද, කණ්ඩායම් දෙකට ම ශුරතාව දිනා ගැනීමට හැකි වී නැත.
රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම IPL අවසන් තරගයක් සඳහා ක්‍රීඩා කරන්නේ වසර 08කට පසුව ය. රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම මීට පෙර අවස්ථා 03කදී අවසන් තරගයට සුදුසුකම් ලැබුව ද, මෙතෙක් ඔවුන්ට ශුරතාව හිමි කර ගැනීමට අවස්ථාව හිමි වී නොමැත.














