IPL 2024: මහේන්ද්‍ර සිං දෝනිට මෙවරත් සමුගැනීමට නොහැකි වෙයි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙතෙක් තරගාවලි 17ක් පවත්වා ඇති ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ 3 වන වරට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම playoffs තරග වටයට සුදුසුකම් නොලබා තරගාවලියෙන් ඉවත් විය.
ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම හමුවේ, ලකුණු 27ක පරාජයක් ලබමිනි.
කෙසේ වෙතත්, චෙන්නායි සුපර් කිංග්ස් ක්‍රීඩා ලෝලීන් පමණක් නොව, ලොව පුරා ක්‍රිකට් ලෝලීන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සෙනසුරාදා (මැයි 18) අතිශයින් දුකට පත්වූයේ, කණ්ඩායම ලද පරාජය හේතුවෙන් පමණක් නොවේ.
බොහෝ දෙනෙකුගේ කනගාටුවට හේතු වූයේ, චෙන්නායි සුපරි කිංග්ස් කණ්ඩායමට අවාසනාව ගෙන එම තරගය, මහේන්ද්‍ර සිං දෝනිගේ අවසන් තරගය විය හැකි හෙයිනි.
අවස්ථා 5කදී ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවට හිමිකම් කී චෙන්නායි කණ්ඩායමට නායකත්වය දුන්, දෝනිට අවාසනාවන්ත සමුගැනීමක් ලබා දීමට ක්‍රිකට් ලෝලීන් මෙන් ම සෙසු ක්‍රීඩකයින් ද සූදානම් බවක් පෙනෙන්නට නැත.
2025ටත් ඇරයුම්
2023 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරයින් බවට පත්වීමෙන් පසු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ තීරණය වූයේ, ක්‍රීඩාවෙන් සමුගැනීමට ය.
එහෙත්, චෙන්නායි කණ්ඩායමේ නිලධාරීන්ගේ, ක්‍රීඩකයින්ගේ සහ ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි ඉල්ලීම මත ඔහු සිය තීරණය වෙනස් කරමින් 2024 තරගාවලියට ද ක්‍රීඩා කළේ ය.
එහෙත්, නායකයා ලෙස නොවේ. ඔහු නායකත්වය නවක ක්‍රීඩක රුතුරාජ් ගයික්වාද්හට පැවරීමට සහය දුන්නේ ය.
ඒ අනුව, බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූයේ, දෝනි මෙවර තරගාවලියෙන් පසු ක්‍රීඩාවෙන් සමුගනු ඇති බවට ය.
ඔහු සිය සමුගැනීමේ නිල තීරණය ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පළවී ඇතත්, ඇතැම් ක්‍රීඩකයින් අවධාරණය කරන්නේ, ඔහු 2025 තරගාවලියට ද ක්‍රීඩා කළ යුතු බව ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මහේන්ද්‍ර සිං දෝනි නිසැකව ම 2025 ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලියට ක්‍රීඩා කරනු ඇතැයි, IPL තරගාවලි රැසක් වෙනුවෙන් චෙන්නායි සුපර් කිංග්ස් ඇතුළු කණ්ඩායම් කිහිපයක් නියෝජනය කරමින් ක්‍රීඩා කර ඇති රොබින් උත්තාපා පවසයි.
"මම දන්න මහේන්ද්‍ර සිං දෝනි නම් සැහැල්ලුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නෙ නෑ. ඔහු ආපහු එයි සිංහයෙක් වගේ ගර්ජනයක් එක්ක. අනිවාර්යයෙන් ම ඔහු 2025 IPL තරගාවලියේ කහ ඇඳුමෙන් ක්‍රීඩා කරාවි."
මේ අතර, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙකු වන අම්බටි රායුදු ද පවසා ඇත්තේ, මහේන්ද්‍ර සිං දෝනි 2025 තරගාවලියට ක්‍රීඩා කළ යුතු බව ය.
"දෝනි තවත් තරගාවලියකට ක්‍රීඩා කළ යුතුයි. මේ වගේ සමුගන්න ඔහුට බෑ. ඔහු 2025 තරගාවලියට ක්‍රීඩා කරලා, ශූරතාව දිනාගෙන තමයි සමුගන්න ඕනෙ. ඔහු පරම්පරා ගණනාවකට එක වරක් බිහි වෙන ක්‍රීඩකයෙක්. පරම්පරා ගණනාවකට එක වරක් බිහි වෙන මනුෂ්‍යයෙක්."
මේ අතර, සෙනසුරාදා පැවති තරගය නැරඹීමට පැමිණි ඇතැම් ක්‍රිකට් ලෝලීන් අත තිබූ ඇතැම් පුවරුවල දැක්වුණේ, 'මහේන්ද්‍ර සිං දෝනි සමුගැනීමට එරෙහිව පෙත්සමක් ගොනු කරන,' බව ය.
ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් අතර ද, මහේන්ද්‍ර සිං දෝනිට ඇත්තේ විශේෂ ස්ථානයකි.
ක්‍රීඩකයින් හැදූ ක්‍රීඩකයෙක්
මහේන්ද්‍ර සිං දෝනි යනු නවක ක්‍රීඩකයින්ගේ දක්ෂතා හඳුනාගෙන ඔවුන් ඉහළ තලයකට රැගෙන යාමට අතහිත දුන් ක්‍රීඩකයෙකු බවට ප්‍රකට ය.
ඊට හොඳ ම නිදසුනක් වන්නේ, ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ය.
යූටියුබ් හරහා මතීෂ පතිරණගේ පන්දු යැවීමේ ඉරියව්ව දැක, ඔහුගේ තොරතුරු සොයාගෙන පුහුණු පන්දු යවන්නෙකු ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එක් කර ගත් දෝනි, පසුව ඔහු චෙන්නායි කණ්ඩායමේ පන්දු යවන්නෙකු බවට පත් කළේ ය.
ඒ හරහා මතීෂ පතිරණට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට පවා අවස්ථාව හිමි විය.
ඊට අමතරව, රුතුරාජ් ගයික්වාද්, ශිවම් ඩුබේ ඇතුළු නවක ක්‍රීඩකයින් රැසකට දෝනිගේ මග පෙන්වීම අතිශය තීරණාත්මක විය.
දෝනිගේ IPL ඉතිහාසය
මහේන්ද්‍ර සිං දෝනි මෙතෙක් පැවති සියලු IPL තරගාවලි සදහා ක්‍රීඩා කළ සුවිශේෂී ක්‍රීඩකයෙකි.
2008 වසරේ ආරම්භ වූ පළමු IPL තරගාවලියේ සිට මේ දක්වා ඔහු තරග 264කට ක්‍රීඩා කර තිබේ.
මේ වන විට 43 හැවිරිදි වියේ පසු වන, දෝනි IPL තරගාවලි ඉතිහාසය තුළ ලකුණු 5243ක් රැස් කර ඇත. පසු පෙළ පිතිකරුවෙකු ලෙස බොහෝවිට පිටියට පිවිසෙන ඔහු IPL තරගවලදී අර්ධ ශතක 24ක් රැස් කර තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ මහේන්ද්‍ර සිං දෝනි දැක්වූ දක්ෂතා
2005 වසරේ දෙසැම්බර් 02 වන දා ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් දිවිය ආරම්භ කළ මහේන්ද්‍ර සිං දෝනි, ටෙස්ට් තරග 90කට ක්‍රීඩා කරමින් ලකුණු 4876ක් රැස් කර තිබේ.
2014 වසරේදී ඔහු ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදුන්නේ ය.
2004 වසරේ දෙසැම්බර් 23 වන දා බංග්ලාදේශයට එරෙහිව සිය පළමු එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ ඔහු, 2019 වසර දක්වා තරග 350කට ක්‍රීඩා කර තිබිණි.
එහිදී, රැස් කළ ලකුණු සංඛ්‍යාව 10773කි.
ඊට අමතරව, ඉන්දියාව වෙනුවෙන් පන්දුවාර 20 තරග 98කට සහභාගි වී ඇති ඔහු, ලකුණු 1617ක් රැස් කර තිබේ.
ක්‍රිකට් විශ්ලේෂකයින්ට අනුව, ඉන්දියාවෙන් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් නායකයා මහේන්ද්‍ර සිං දෝනි ය.
විශේෂ සිද්ධි
ඉන්දියාවේ දැඩි රසික ආකර්ෂණයක් සහිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ මහේන්ද්‍ර සිං දෝනිගේ ජීවිත කතාව ඇතුළත් චිත්‍රපටයක් ද නිර්මාණය වී තිබේ.
ඔහු ඉන්දීය යුද්ධ හමුදාවේ සාමාජිකයෙකු ලෙස ද පදක්කම් ලබා තිබේ.













