2024 IPL වටිනා ම ක්‍රීඩකයා: 'හිනාවක් නැති' සුනිල් නාරයන් මෙතරම් වටින්නේ ඇයි?

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ සුනිල් නාරයන්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන වසරක කාලයක් ගත වී ඇතත්, ඔහු තවමත් ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය ලබමින් සිටී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ සුනිල් නාරයන්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන වසරක කාලයක් ගත වී ඇතත්, ඔහු තවමත් ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය ලබමින් සිටී.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පන්දුවෙන් පමණක් නොව පිත්තෙන් ද දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙනි.

ඔහු මේ වන විට තරගාවලියේ වටිනා ම ක්‍රීඩකයාට හිමි සම්මානය වෙනුවෙන් පළමු ස්ථානයේ රැඳී සිටින්නේ, ප්‍රසාද ලකුණු 411ක් ලබා ගනිමිනි.

ලකුණු 708ක් රැස් කරමින් වැඩි ම ලකුණු රැස් කර ඇති පිතිකරුවා වන විරාට් කෝලි සිටින්නේ ද, සුනිල් නරයින්ට පසුපසිනි.

මෙවර තරගාවලියේදී දැක්වූ දක්ෂතා

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉනිම් 12කට ක්‍රීඩා කළ සුනිල් නාරයන් පිතිකරුවෙකු ලෙස ලකුණු 461ක් රැස් කර සිටී.

ඊට එක් ශතකයක් සහ අර්ධ ශතක 3ක් අයත් වේ. ඔහු 4 පහර 46ක් සහ 6 පහර 32ක් එල්ල කර තිබේ.

වැඩි ම ලකුණු රැස් කළ පිතිකරු ලැයිස්තුවේ ඔහු පසුවන්නේ, 10 වන ස්ථානයේ ය.

ඊට අමතරව, පන්දු යවන්නෙකු ලෙස ඔහු 6.63ක ලකුණු සාමාන්‍යයක් පවත්වා ගනිමින් කඩුලු 15ක් බිඳ හෙළා තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ සුනිල් නාරයන්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන වසරක කාලයක් ගත වී ඇතත්, ඔහු තවමත් ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය ලබමින් සිටී.

ඡායාරූප මූලාශ්‍රය, Indian Premier League

කොල්කටා කණ්ඩායමේ පළමු තැන

වෘත්තීයමය පිතිකරුවෙකු නොවුව ද, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වැඩි ම ලකුණු රැස් කළ පිතිකරුවා‌ ලෙස ලකුණු 461ක් රැස් කරමින් මේ වන විට පළමු ස්ථානයේ සිටින්නේ, සුනිල් නාරයන් ය.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ අඩු ම ලකුණු සාමාන්‍යයක් දුන් පන්දු යවන්නා (පන්දු වාරයකට ලකුණු 6.63) ලෙස ද ඔහු ඉදිරියෙන් සිටී.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් මෙවර තරගාවලියේදී රැස් කළ එක ම ශතකයේ හිමිකරු ද ඔහු ය.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ පිතිකරුවෙකු මෙවර තරගාවලියේදී එක් ඉනිමකදී රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාවට (109) ඉදිරියෙන් ද ඇත්තේ, ඔහුගේ නම යි.

එක් තරගයකදී වැඩි ම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ කොල්කටා ක්‍රීඩකයා ලෙස ඔහු අවස්ථා දෙකකදී 6 පහර 7 බැගින් එල්ල කර තිබේ.

පන්දු රකින්නෙකු ලෙස ද ඔහු උඩ පන්දු 7ක් රැක ගනිමින් දවා ගැනීම් 7කට දායක වී ඇත.

වාර්තාවක් අබියස

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පිතිකරුවෙකු මෙන් ම පන්දු යවන්නෙකු ලෙස ද දක්ෂතා අතර සිටින සුනිල් නාරයන්, වාර්තාවක් අබියස සිටී.

ඔහුට මෙවර තරගාවලියේ ලකුණු 500 ඉක්මවා යාමට තවත් අවශ්‍ය වන්නේ, ලකුණු 39ක් පමණි. මේ වන විට ඔහු කඩුලු 15ක් බිඳ හෙළා තිබේ.

ඔහු තවත් ලකුණු 39ක් රැස් කළහොත්, ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ලකුණු 500ක් රැස් කරමින් කඩුලු 15ක් බිඳ හෙළූ පළමු ක්‍රීඩකයා ලෙස සුනිල් නාරයන් ඉතිහාසගත වනු ඇත.

ඊට අමතරව, ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩි ම ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගත් පිතිකරුවන් අතර දෙවන ස්ථානයේ පසු වන්නේ, 182.94 ලකුණු වේගයක් සමගිනි.

ලෝකයට ප්‍රෙහේළිකාවක් වූ සුනිල් නරයින්ගේ සිනාව

සුනිල් නරයින් යනු ලකුණු නොලබා දැවී ගිය ද, ශතකයක් රැස් කළ ද, කඩුල්ලක් බිඳ දැමුව ද, පිතිකරුවෙකුගේ ප්‍රහාරයකට ලක්වුව ද, මුහුණේ ස්වරූපය වෙනස් නොවන ක්‍රීඩකයෙකු ලෙස ප්‍රකට ය.

ඔහු සතුට සමරන්නේ අතිශය විරල වශයෙනි.

ඊට හේතුව කුමක් දැයි, වරක් ඉන්දීය පුවත්පතක් ඔහුගෙන් ප්‍රශ්න කර තිබිණි.

එහිදී ඔහු පැවසුවේ, සිය පියා තමන් කුඩා කල දුන් අවවාදයක් හේතුවෙන් තමන් ක්‍රිකට් තරගයකදී සතුට සැමරීමට උනන්දු නොවන බව ය.

"මට තාත්තා කිව්වා, අද ඔයා යම් කෙනෙක් දවා ගත්තත්, ඔහු සමග ආයෙත් ක්‍රීඩා කරන්න සිද්ධ වෙන බව‍. තාත්තා කිව්වේ, ක්‍රීඩාව සැහැල්ලුවට ගන්නෙ නැතුව, ඒ අවස්ථාවේ සතුට හිතින් විඳින්න කියලා. වැඩිහිටි වයසට ආවාමත් මම ඒ අවවාදය අනුව ක්‍රියා කළා," සුනිල් නාරයන් සිය රහස හෙළි කළේ එලෙසිනි.

ඔහුගේ සිනාව පිළිබඳව සමාජ මාධ්‍යවල ද විවිධ අදහස් පළ වී තිබේ.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

පන්දු යැවීමේ ඉරියව්ව

ඔහු අවස්ථා කිහිපයකදී නීතිවිරෝධී ඉරියව්වකින් පන්දු යවන බවට, එනම් පන්දුව දමා ගසන බවට චෝදනා ලැබීය.

එම චෝදනා හේතුවෙන්, 2014, 2015, 2016, 2018 සහ 2020 යන වසරවල අවස්ථා කිහිපයකදී ම ඔහුට තරග රැසකට ක්‍රීඩා කිරීමට නොහැකි විය.

කෙසේ වෙතත්, ඔහු එම චෝදනාවලින් නිදොස් කෙරුණු අතර, පසු කාලීනව ඔහු සිය පන්දු යවන දකුණත සඟවාගෙන දුවැවිත් පන්දු යැවීමට පටන් ගත්තේ ය.

ඒ අනුව, ඔහු යැවීමට සැරසෙන්නේ කුමන ආකාරයේ පන්දුවක් ද යන්න, පිතිකරුවාට අනුමාන කිරීමට අවස්ථාවක් හිමි නොවේ.

පිතිකරුවෙකු ලෙස ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවලදී දක්ෂතා දැක්වුව ද, පිතිකරුවෙකු ලෙස සුනිල් නාරයන්ගෙන් නිසි දායකත්වයක් ලබා ගැනීමට බටහිර ඉන්දී‌ය කොදෙව් කණ්ඩායම අවධානය යොමු කළ බවක් පෙනෙන්නට නොතිබිණි.

සුනිල් නාරයන් ගැන තවත් තොරතුරු

1988 මැයි 26 වන දා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට අයත් ට්‍රිනිඩැඩ්හිදී උපත ලැබූ සුනිල් නාරයන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය එතරම් දීර්ඝ එකක් නොවීය.

2011 වසරේදී එක්දින ක්‍රිකට් වරම් හිමි කරගත් ඔහු, තරග 65කට ක්‍රීඩා කිරීමෙන් පසු 2016 වසරේදී ඉන් සමු ගත්තේ ය.

එක්දින කඩුලු 92ක් බිඳ හෙළා ඇති ඔහුගේ හොඳ ම පන්දු යැවීම, ලකුණු 27කට කඩුලු 6ක් බිඳ හෙළීම ය.

ටෙස්ට් තරග 6කට පමණක් ක්‍රීඩා කළ ඔහු කඩුලු 21ක් බිඳ හෙළා ඇති අතර, පන්දු වාර 20 තරග 51කදී කඩුලු 52ක් ද දවාගෙන තිබේ.