අතට අත නොදීමේ සිද්ධිය දුරදිග යයි: UAE - පකිස්ථාන තරගය ප්‍රමාද වෙයි

pakistan team

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය වන පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය පැයක පමණ කාලයක් ප්‍රමාද වී ආරම්භ කිරීමට සිදුව තිබේ.

ඒ, පකිස්ථාන කණ්ඩායම තරගයට සහභාගි නොවීමට ගෙන තිබූ තීරණයක් හේතුවෙනි.

ඉන්දියාව සහ පකිස්ථානය අතර පැවති තරගයේදී තරගය ආරම්භයේදී සහ අවසානයේදී ඉන්දීය ක්‍රීඩකයින් අතට අත නොදීමත්, තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් ඊට අනුබල දීමත් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණයට එළඹි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ අතර, පකිස්ථානය ඉල්ලා සිටියේ, තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් ආසියානු කුසලාන තරගවලියෙන් ඉවත් කරන ලෙස ය.

පකිස්ථානය තරගය වර්ජනයකට සූදානම් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පකිස්ථානය අද තරගය වර්ජනය කිරීමට ඉඩ ඇති බව ය.

තරගයට සහභාගි වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක අමීර් මිර් මාධ්‍යවේදීන්ට පවසා තිබිණි.

"සභාපති මොෂින් නාක්වි, හිටපු සභාපතිවරුන් වන රමීස් රාජා සහ නජාම් සේති හමුවී සාකච්ඡා කරමින් සිටිනවා. ඔවුන් මේ ගැටලුව සාකච්ඡා කරමින් සිටින අතර තරගය දැනට පැයකින් ප්‍රමාද වී තිබෙනවා."

UAE

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

තීරණය වෙනස් කරයි

පසුව, මොෂින් නාක්වි X පණිවුඩයක් පළ කරමින් සඳහන් කර තිබුණේ, "පකිස්ථාන කණ්ඩායමට ඩුබායි ක්‍රිකට් ක්‍රීඩාංගණයට පිටත්ව යන ලෙස ඉල්ලීමක් කළා," යනුවෙනි.

මේ අතර, ඊට විනාඩි කිහිපයකට පසු Cricinfo වෙබ් අඩවිය වාර්තා කළේ, ඩුබායි වේලාවෙන් රාත්‍රී 7ට කාසියේ වාසිය විමසන අතර, 7.30ට තරගය ආරම්භ කරනු ඇති බවට කරුණු වාර්තා වී ඇති බව ය.

මෙම තරගයේ ජයග්‍රහණය කරන කණ්ඩායම Super Four වටයට සුදුසුකම් ලබන හෙයින් මෙම තරගය කණ්ඩායම් දෙකට ම අතිශය වැදගත් තරගයකි.

පකිස්ථාන - ඉන්දියා තරගයේදී සිදුවූයේ කුමක් ද?

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දෙරට අතර පැවති තරගයෙන් පසු, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් පකිස්ථාන ක්‍රීඩකයින්ට අතට අත දීම ප්‍රතික්ෂේප කළ බව පකිස්ථාන පුහුණුකරු මයික් හෙසන් පවසයි.

මේ වසර මුලදී පෙහෙල්ගාම් ප්‍රහාරය සම්බන්ධයෙන් දෙරට අතර ඇති වූ ගැටුම්වලින් පසු දෙරටේ ක්‍රීඩකයින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පළමු වරට හමුවූයේ මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ය.

ඩුබායිහි පැවති ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දියාව පකිස්ථානයට එරෙහිව පැවති තරගය කඩුලු හතකින් ජයග්‍රහණය කළ අතර, තරගය ජයගහණය කරන අවස්ථාවේ පිටියේ පන්දුවට පහර දෙමින් සිටි නායක සූර්යකුමාර් යාදව් සහ ශිවම් ඩුබේ සුපුරුදු පරිදි පිටිය මැදදී ප්‍රතිවාදීන්ට අතට අත දීම වෙනුවට වහා ම පිටියෙන් ඉවත් වූහ.