ඇෆ්ගනිස්ථානය පරදවමින් ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි සිව් දෙනාගේ වටයට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
2025 ආසියානු කුසලාන 20/20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ස්ථානය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම (සැප්තැම්බර් 18 වැනිදා) සමත් විය.
ඒ, ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැති බී කාණ්ඩයේ අවසන් තරගය කඩුලු 6කින් ජය ගනිමිනි.
අබුඩාබිහිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමට ය.
ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානයේ මුල් පෙළ පිතිකරු යුගලයේ සබඳතාව ලකුණු 26කට සීමා කිරීමට නුවන් තුශාර සමත් විය.
රහ්මනුල්ලා ගුර්බාස්ගේ ඉනිම ලකුණු 14කට සීමා විය.
නුවන් තුශාරගේ වේග පන්දුව හමුවේ ඇෆ්ගනිස්ථාන මුල් පෙළ කඩුලු 3 ලකුණු 40කදී බිඳ වැටෙනු දක්නට ලැබිණි.
අනතුරුව ක්‍රියාත්මක වූ දුෂ්මන්ත චමීර, දසුන් ශානක සහ දුනිත් වෙල්ලාලගේ පිළිවෙලින් ඇෆ්ගනිස්ථාන සිව්වැනි, පස්වැනි සහ සය වැනි කඩුලු දවා ගනු ලැබුවේ තවදුරටත් දැඩි පීඩනයක් එල්ල කරමිනි.
ඊබ්‍රහීම් සද්රාන් ලකුණු 24කට දැවී ගියේ ය.
මොහොමඩ් නබී සමග එක් වූ නායක රෂීඩ් ඛාන් අසරණ තත්ත්වයකට පත්ව සිටි ඇෆ්ගනිස්ථානයට සැනසුම් සුසුමක් ගෙන ඒමට සමත් වූහ.
මෙතෙක් වේලා පීඩනයක් එල්ල කරමින් සිටි ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පීඩනයක් එල්ල කිරීමට තරම් ඔවුන්ගේ පිතිහරඹය ප්‍රබල විය.
ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලේ සබඳතාව දැක්වුණේ ලකුණු 35ක් ලෙස ය.
රශීඩ්ගේ ඉනිම ලකුණු 24කට සීමා කිරීමට නුවන් තුශාර සමත් විය.
නබීගේ දරුණු ප්‍රහාරය
කෙසේ නමුත් තරගයේ අවසන් භාගයේදී ලැබෙන සෑම පන්දුවකින් ම උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට මොහොමඩ් නබී ගත් උත්සාහය සාර්ථක විය.
ඔහු වේගවත් ලකුණු 60ක් රැස් කළේ පන්දු 22ක් පමණක් වැය කරමිනි.
නබීගේ පිතිත්තෙන් ගිලිහුනු 6 පහර 6 සහ 4 පහර 3 ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ තත්ත්වයට පත් කිරීමට සමත් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අවසන් පන්දුවාරයේදී දුනිත් වෙල්ලාලගේ දරුණු ප්‍රහාරයකට
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
දුනිත් වෙල්ලාලගේ යවනු ලැබූ, තරගයේ අවසන් පන්දුවාරයේදී ඔහු ලකුණු 32ක් රැස් කළේය.
නබී අවසන් පන්දුවේදී දුවද්දී දැවී යාමත් සමග ඇෆ්ගනිස්ථාන 8 වැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 55ක් ලෙස සටහන් විය.
නුවන් තුශාර ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තේ ය.
ඒ අනුව පන්දුවාර 20 අවසානයේදී ඇෆ්ගනිස්ථාන ඉනිම සටහන් වූයේ කඩුලු 8කට ලකුණු 169ක් ලෙසයි.
ලකුණු 170ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයක් එල්ල කිරීමට නම් තරගාවලිය පුරා ලකුණු අතර සිටි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හැකි ඉක්මනින් ක්‍රීඩාගාරයට යැවිය යුතු බවට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් අවබෝධ කරගෙන සිටි බව දක්නට ලැබිණි.
ඒ අනුව පැතුම් නිස්සංක ලකුණු 6කට දවා ගැනීමට අස්මතුල්ලා ඔමාර්සායි සමත් වූයේ ශ්‍රී ලංකා පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 22කට සීමා කරමිනි.
පන්දු 10කට මුහුණ දී ලකුණු 4ක් ලබා සිටි කමිල් මිශාරගේ ඉනිම අවසන් වූයේ ශ්‍රී ලංකා දෙවැනි කඩුල්ල ලෙසිනි.
මොහොමඩ් නබී එවර සාර්ථක පන්දු යවන්නා බවට පත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා මුල් පෙළ කඩුලු 2 ලකුණු 47කදී බිඳ වැටිණි.
කෙසේ නමුත් තරගාවලියේ පැවැති තරගවලදී ලකුණු අතරට නොසිටි කුසල් මෙන්ඩිස් ඊයේ දිනයේදී තම වගකීම මැනවින් අවබෝධ කර ගනිමින් කුසල් ජනිත් පෙරේරා සමග තුන් වැනි කඩුල්ලට ලකුණු 45ක සබඳතාවක් ගොඩනැගූහ.
කුසල් ජනිත් ලකුණු 28ක් රැස් කළේ පන්දු 20කිනි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන් අනතුරුව ඇෆ්ගනිස්ථානය දෙසට නැඹුරුව තිබූ ජයග්‍රහණය, වේගයෙන් ශ්‍රී ලංකාව දෙසට ගෙන ඒමට කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් පිතිකරු යුගලය සමත් වූහ.
ඔවුන් දෙදෙනා අතර පස්වැනි කඩුල්ලේ නොබිඳුනු සබඳතාව දැක්වුණේ ලකුණු 52ක් ලෙසිනි.
කුසල් මෙන්ඩිස් පන්දු 52කින් වේගවත් ලකුණු 74ක් රැස් කළේ ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථකම පිතිකරු බවට පත් වෙමින් ය.
4 පහර 10ක්ද කුසල් මෙන්ඩිස්ගේ ඉනිමට ඇතුළත් විය.
කමිඳු මෙන්ඩිස් පන්දු 13කින් නොදැවී ලකුණු 26ක් රැස් කළ අතර, ඊට 6 පහර 2ක්ද ඇතුළත් විය.
ඒ අනුව තරගය අවසන් වීමට පන්දු 8ක් ඉතිරිව තිබියදී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඔවුන් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයට පිවිසියේ බී කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම ලෙසිනි.
ශ්‍රී ලංකාව හමුවේ ඇෆ්ගනිස්ථානය මෙලෙස පරාජය වීමේ වාසිය හිමි වූයේ බංග්ලාදේශයට ය.
ඒ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසු වූ ඔවුන් තවදුරටත් සුරක්ෂිත කරමින් සුපිරි සිව් දෙනාගේ වටයට කැඳවාගෙන යාමට ඇෆ්ගනිස්ථානය ලැබූ පරාජය හේතු වීමත් සමග ය.
තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය බංග්ලාදේශය සමග හෙට ඩුබායිහිදී පැවැත්වීමට නියමිත ය.
ලබන 23 වැනිදා පකිස්ථානය සමගත්, ලබන 26 වැනිදා ඉන්දියාව සමගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සුපිරි සිව් දෙනාගේ වටයේදී තරග කිරීමට නියමිතව තිබේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
මේ අතර, රූපවාහිනිය ඔස්සේ මෙම තරගය නරඹමින් සිටියේදී ඇති වූ හෘද්‍යාබාධායක් හේතුවෙන් දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩකයාගේ පියා වන සුරංග වෙල්ලාලගේ අභාවප්‍රාප්ත වී තිබේ.
54 හැවිරිදි ඔහු ද හිටපු ක්‍රීඩකයෙකි.
වෙල්ලාලගේ ගේ පියාගේ මරණය සම්බන්ධයෙන් ඇෆ්ගන් ක්‍රිඩක මොහොමඩ් නබීද සිය සංවේගය පළ කර තිබේ.
Super 4 වටය
Super Four වටයේදී සියලු කණ්ඩායම් එක් එක් කණ්ඩායම් සමග තරග කළ යුතු ය.
ඉන් පළමු සහ දෙවන කණ්ඩායම් දෙක අවසන් තරගයට සුදුසුකම් ලබයි.
Super 4 වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරය හෙට (සැප්තැම්බර් 20 වැනිදා) බංග්ලාදේශට එරෙහිව පැවැත්වීමට නියමිතය.














