හසරංගගේ සහ අබ්‍රාර්ගේ සැමරුම් හුවමාරුව : 'මේක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම කවදාවත් ඉගෙන ගන්නේ නැති දෙයක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, බීබීසී සිංහල
2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ Super Four තරග වටයේ තවත් තරගයක් ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවැත්විණි.
තරගයට පෙර කණ්ඩායම් දෙක ම එම වටයේ සිය පළමු තරගවලින් පරාජයට පත්ව සිටීම හේතුවෙන් කණ්ඩායම් දෙකට ම මෙම තරගය තීරණාත්මක විය.
කෙසේ වෙතත්, පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී රැස් කළේ, ලකුණු 133ක් පමණි.
අද දිනයේදී සාර්ථක වූ එක ම ශ්‍රී ලාංකික පිතිකරුවා වූ කමිඳු මෙන්ඩිස් ලකුණු 50ක් රැස් කළේ ය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පකිස්ථාන දඟ පන්දු යවන ක්‍රීඩක අබ්‍රාර් අහමඩ් කඩුල්ලක් දවා ගනිමින් සිය පන්දු වාර 4 තුළදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලබා දුන්නේ, ලකුණු 8ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 138ක් රැස් කරමින් පන්දු වාර 18කදී තරගයේ ජයග්‍රහණය හිමි කර ගත්තේ ය.
පකිස්ථානය ලකුණු සටහනේ ඉහළට
තරගය ජය ගැනීමත් සමග පකිස්ථාන කණ්ඩායම Super Four ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණියේ ය.
දෙවන ස්ථානයේ පසුවූ බංග්ලාදේශයට තුන් වන ස්ථානයට පසු බැසීමට සිදු විය.
Super Four වටයේ මෙතෙක් මුහුණ දුන් තරග දෙකෙන් ම පරාජයට පත්වූ ශ්‍රී ලංකාව සිව් වන ස්ථානයේ පසු වෙයි.
ඒ අනුව, අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති අවස්ථා අවම මට්ටමක පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හසරංගගේ සහ අබ්‍රාර්ගේ සැමරුම් හුවමාරුව
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ අතර, මෙම තරගයේදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් වූයේ, වනිඳු හසරංග සහ පකිස්ථානයේ අබ්‍රාර් අහමඩ් අතර ඇති වූ සැමරුම් ගැටුම යි.
ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙමින් සිටියදී අබ්‍රාර් අහමඩ් වනිඳු හසරංගගේ කඩුල්ල බිඳ හෙළූ අතර, කඩුල්ල දවා ගැනීමෙන් පසු අබ්‍රාර්, වනිඳු හසරංගට සමච්චලයට මෙන් හසරංග කඩුල්ලක් දවාගත් විට දක්වන සැමරුම් අංග චලනය දැක්වීය.
පසුව පකිස්ථාන කණ්ඩායමේ කඩුලු දෙකක් බිඳ හෙළූ වනිඳු හසරංග, කඩුලු ලබා ගත් අවස්ථා දෙකේදී සහ උඩ පන්දුවක් රැක ගත් අවස්ථාවේදී අබ්‍රාර් අහමඩ් කඩුල්ලක් දවා ගත් පසු දක්වන අංග චලනය (හිස ගැස්සීම) නිරූපණය කර පෙන්වීය.
ඔවුන් දෙදෙනාගේ මෙම හැසිරීම සම්බන්ධයෙන් තරගය නරඹමින් සිටි විශාල පිරිසකගේ සහ තරග විස්තර විචාරකයින්ගේ ද අවධානය යොමු විය.
තරගය අවසානයේ දෙපිලේ ක්‍රීඩකයින් අතට අත දී ආචාර කරන අවස්ථාවේ සුන්දර දසුනක් දැකිය හැකි විය.
ඒ, වනිඳු හසරංග සහ අබ්‍රාර් අහමඩ් එකිනෙකා වැළඳගෙන මිත්‍රත්වය ප්‍රකාශ කිරීම ය.
එහිදී, අබ්‍රාර් අහමඩ් සිය හැසිරීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන ආකාරයක් දිස්වූ අතර, වනිඳු හසරංග මිත්‍රශීලී ලෙස ඊට ප්‍රතිචාර දක්වනු දැකිය හැකි විය.

ඡායාරූප මූලාශ්‍රය, Social Media
'මේක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම කවදාවත් ඉගෙන ගන්නේ නැති දෙයක්'
වනිදු හසරංග සහ අබ්‍රාර් අහමඩ් ගේ ක්‍රීඩා විලාසය ක්‍රිකට් විස්තර විචාරකයින් අගය කරනු ලැබූ අතර තරගයෙන් පසු ඔවුන් දෙදෙනාගේ වැළඳ ගැනීම අගය කළ අතර, සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකු ඔවුන්ගේ තරග විලාසය පිළිබඳ අගය කිරීමෙන් යුතුව අදහස් දක්වා තිබිණි.
පකිස්ථාන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකා සානා මිර් X වේදිකාවේ සටහනක් තබමින් මෙලෙස පවසා තිබුණි. ''හසරංග සහ අබ්‍රාර් ඔවුන්ගේ ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයින් දවා ගැනීමෙන් පසු එකිනෙකාගේ සැමරුම් විලාසය අනුකරණය කරන ආකාරයට දකින්න ලැබුණා. එය ක්‍රීඩා පිටියේදී ඔබට දැකීමට අවශ්‍ය ආකාරයේ ආක්‍රමණශීලී බව යි. මෙය සැමට විනෝදය ලබා දෙන ආකාරයේ විහිළුවක්.''
ඒ හා සමානව, පකිස්ථාන ක්‍රීඩා ලෝලීන් ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සිය අදහස් දක්වා තිබුණි.
තරගයෙන් පසු හසරංග සහ අබ්‍රාර් අතර ඇති වූ මිත්‍රශීලී කතාබහ දැක්වෙන වීඩියෝවක් බෙදාගනිමින් අබ්දුල්ලා නමැති සමාජ මාධ්‍ය පරිශීලකයෙක් සඳහන් කර තිබුණේ "හසරංග සහ අබ්‍රාර් අහමඩ් තරගයෙන් පසු එකිනෙකාට විහිළු කරමින් ක්‍රීඩාශීලීභාවය පෙන්වනු ලැබුවා. මෙය ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට කිසිදා ඉගෙන ගත නොහැකි දෙයක් !'' යනුවෙනි.
''අපි අද උදේ යූ ටියුබ් එකෙන් මේ තරඟයේ විශේෂ අවස්ථා නැරඹුවා, එතනත් අදහස් පළ වෙලා තිබුණේ ඔවුන් දෙදෙනා එකිනෙකා ගේ සැමරුම් අනුකරණය කිරීම ගැන ප්‍රශංසා කරමින්.''
නිජුම් නමැති තවත් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් මෙලෙස අදහස් දක්වා තිබිණි: "හසරංග සහ අබ්‍රාර් එකිනෙකා අනුකරණය කරමින් සැමරීම ඇත්තෙන් ම හාස්‍යජනක හා සිත්ගන්නා සුළු දෙයක්.''
"හසරංග සහ අබ්‍රාර් මෙම තරගය වඩාත් රසවත් කළා. කණ්ඩායම් දෙකට ම ආදරෙයි.'' නසීම් අහද් නමැති සමාජ මාධ්‍ය පරිශීලකයෙක් යූ ටියුබ් හි එලෙස සඳහන් කර තිබිණි.
ආචාර්ය සාහිබ් නම් පරිශීලකයෙක් යූ ටියුබ් හි සිය අදහස් පළකරමින් පවසා තිබුණේ ''හසරංග සහ අබ්‍රාර් එකිනෙකාගේ සැමරුම් අනුකරණය කළා, පසුව උණුසුම් ලෙස වැළඳගෙන සිනාසෙමින්, සැබෑ ක්‍රීඩාශීලීත්වය පෙන්නුම් කළා, රසිකයින්ට විනෝදාස්වාදය ලබා දුන් අතර එකිනෙකාට ගෞරවය කළා.'' යනුවෙනි.
''ක්‍රිකට් තරගයක් අවසන් විය යුත්තේ මෙහෙමයි'' ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙකු වන නිබ්‍රාස් රාමසාන්, තරගයෙන් පසු අබ්‍රාර් අහමඩ් සහ වනිඳු හසරංග එකිනෙකා හමුවන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් හුවමාරු කරමින් සටහන් කර තිබේ.














