බින් ලාඩන් සොයා ගැනීමට උපකාර කළ වෛද්‍යවරයාට තිස් වසරක සිරදඬුවම්

ඡායාරූප මූලාශ්‍රය, AP
ඇමෙරිකානුවන්ට අල් ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා ගැනීමට උපකාර කළ බවට චෝදනා ලැබ සිටි වෛද්‍යවරයාට තිස් වසරක සිර දඬුවම් නියම වූ බව පාකිස්තානු බලධාරීන් ප්‍රකාශ කරයි.
ඔහු වෙත මේ දඬුවම පමුණුවා ඇත්තේ රාජ්‍ය ද්‍රෝහී වීමේ චෝදනාව යටතේ බවයි බලධාරීන් පවසන්නේ.
ඇමෙරිකානු විශේෂ කාර්ය බලකායේ සෙබළුන් විසින් මීට වසරකට පෙර අල් ඛයිඩා නායක ඔසාමා බින් ලාඩන් ඝාතනය කරනු ලැබුණි.
ඇමෙරිකානු රහස් ඔත්තු සේවයට බින් ලාඩන් පිලිබඳ තොරතුරු සොයා ගැනීම පහසු කරවීම සඳහා වෛද්‍ය ශකිල් අෆ්රිඩි, ඇබටාබාද් නගරයෙහි ව්‍යාජ සායනයක් පවත්වා ඇති අතර බින් ලාඩන්ගේ පවුලේ ජාන සමග සැසදීම සඳහා අල් ඛයිඩා නායකයා සැඟව සිටි නිවසේ ජීවත්වූ ළමයකුගේ රුධිර සාම්පලයක් ලබා ගැනීම, මෙම සායනයේ අරමුණ වූ බවද හෙළි වී තිබේ.
වෛද්‍ය අෆ්රිඩි නිදහස් කරන ලෙස කලකට ඉහත දී ඉල්ලා සිටි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, ඔහු ඉටු කළා වූ වැඩකොටසින් දෙරටටම යහපතක් සිදුව තිබෙන බවයි සඳහන් කළේ.




