බින් ලාඩන්ගේ අන්තිම කැමැත්ත ජිහාඩ් සටන වෙනුවෙන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters
පකිස්තානයේ සැඟවී සිටියදී අමෙරිකාන් හමුදා විසින් 2011 වසරේ ඝාතනය කෙරුණ ඔසාමා බීන් ලාඩන් ඩොලර් දෙකෝටි විසිනව ලක්ෂයක් පමණ වූ සිය පෞද්ගලික වත්කම් අල්ලා දෙවියන් වෙනුවෙන් ජිහාඩ් ඉස්ලාමීය ව්‍යාපාරයට කැප කරන මෙන් ඉල්ලීමක් කර ඇති බව ඔහුගේ අන්තිම කැමති පත්‍රයෙන් හෙළි වෙයි.
පකිස්තානයේ 'ඇබටාබාද්' නගරයේ සිදු කළ එම වැටලීමේදී ඇමරිකානු හමුදා භාරයට ගනු ලැබූ වටිනා ලියකියවිලි අතර තිබූ අන්තිම කැමති පත්‍රය ඇතුළු ලියවිලි රැසක් ඇමරිකාවේ ජනමාධ්‍යය වෙත නිකුත් කර තිබේ.
සිය අන්තිම කැමැත්ත නිසි ලෙස ඉටු කරන ලෙසත් ඉහත කී ලිපිය මගින් බින් ලාඩන්ගේ පවුලේ සාමාජිකයන්ට අවධාරණය කොට ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty
සිය බිරිඳ සහ දරුවන් රැක බලා ගන්නා ලෙස සිය පියාගෙන් කරන ඉල්ලීමක්ද ඔහුගේ අන්තිම කැමැත්තට ඇතුළත් වෙයි.
වත්කම් සූඩානයේ
ඔසාමා බින් ලාඩන් විසින් ජිහාඩ් සටන වෙනුවෙන් වෙන් කළ මුදල් ප්‍රමාණය සූඩානයේ ඇති බව එහි සඳහන් වුවත් එම වත්කම් මුදල් වශයෙන් හෝ දේපළ වශයෙන් පවතින්නේද යන්න නිසි ලෙස විස්තර කර නැත.
1990 වසරේදී ඔසාමා බීන් ලාඩන් සූඩාන රජයේ ආරාධිතයෙකු වශයෙන් වසර පහක කාලයක් එරට ගත කළේය.
2011 වසරේ ඇමරිකානු විශේෂ හමුදා කණ්ඩායමක් විසින් ඔසාමා බින් ලාඩන් ඝාතනය කිරීමෙන් පසු අල් කයිඩා සංවිධානයේ ප්‍රධානත්වය ගෙන කටයුතු කරන්නේ හිටපු දෙවන අණදෙන නිලධාරී අයිමන් අල් සවාහිරී විසිනි.




