චෙම්මනි සමූහ මිනී වළේ කැණීම් ගැන යාපනය මහේස්ත්‍රාත්ගෙන් අලුත් නියෝගයක්

චෙම්මනි සමූහ මිනී වළ
    • Author, බීබීසී සිංහල
  • කියවීමේ කාලය: මිනිත්තු 4

චෙම්මනි සමූහ මිනී වළ කැණීම් ස්ථානය පරීක්ෂා කිරීම ජනවාරි 19 යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්, කැණීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පිරනවන් ඇතුළු පිරිසක් විසින් සිදු කෙරිණි.

කෙසේ වෙතත් මෙම ස්ථානය ජලයෙන් පිරී තිබීම හේතුවෙන් එහි කැණීම් කටයුතු 2026 වසරේ පෙබරවාරි 9 වන දා දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා ඇතුළු කණ්ඩායම එහිදී තීරණය කළේ ය.

ඒ අනුව, එදින මෙම ස්ථානය නැවත පරීක්ෂා කර ඉදිරි සැලසුම සකස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

ජලය ඉවත් කිරීමට නියෝග

චෙම්මනි සමූහ මිනී වළ

එහිදී මහේස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කළේ, යාපනය, නල්ලූර් ප්‍රාදේශීය සභාව මගින් කැණීම් ස්ථානයේ රැස්ව පවතින ජලය ඉවත් කර කැණීම් කටයුතු ආරම්භ කරන ලෙස ය.

කැණීම් ස්ථානය කුඹුරු ආසන්නයේ පැවතීම හේතුවෙන් වර්ෂාවත් සමග කැණීම් කටයුතු කළ ස්ථානය ජලයෙන් පිරී ඇති අයුරු දැක ගැනීමට හැකි ය.

මීළඟ අදියරේ කැණීම් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන අනුමත වී ඇති අතර කැණීම් ස්ථානය ජලයෙන් පිරී තිබීම කැණීම් කටයුතු සිදු කිරීමට බාධාවක් බව කැණීම් කණ්ඩායම සඳහන් කළේ ය.

චෙම්මනි සමූහ මිනී වළේ කැණීම්

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනී වළේ පස්වන අදියරේ කැණීම් කටයුතු 2025 සැප්තැම්බර් 6 වන දා තාවකාලිකව නතර කළේ දින 13ක් කැණීම් කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ය.

කැණීම් නිලධාරීන් පැවසුවේ, කැණීම්වලින් මේ දක්වා මිනිස් සිරුරු 240කට අදාළ අස්ථි කොටස් මතු කර ගෙන ඇති බව ත් සිරුරු 239ක අස්ථි කොටස් ගොඩගෙන ඇති බව ත් ය.

එම ස්ථානයේ සිදු කළ ස්කෑන් පරීක්ෂණ වාර්තා සැලකිල්ලට ගනිමින් මීළඟ අදියරේ කැණීම් කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බව ද ඔවුහු පැවසූහ.

යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර්ගේ අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මෙහි කැණීම් සිදු කෙරිණි.

ඉන් හමුවූ අස්ථි කොටස් සහ භාණ්ඩ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ, යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ තබා තිබේ.

පස්වන අදියරේ කැණීම්

සමූහ මිනී වළේ පස්වන අදියරේ කැණීම් කටයුතු 2025 අගෝස්තු 25 වන දා ආරම්භ කළ අතර, ඉන් මිනිස් සිරුරු 90කට අදාළ අස්ථි කොටස් මතු කර ගැනිණි.

අස්ථි කොටස් මතුවීම

චෙම්මනි සමූහ මිනී වළ

චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්න ස්ථානයක සිදුකළ කැණීමකින් මළ සිරුරු 5කට අයත් අස්ථි කොටස් කිහිපයක් හමුවූ බව යාපනය පොලිසිය පැවසුවේ ඉකුත් වසරේ ජූනි 2 වන දා ය.

මෙම සුසාන භූමිය සංවර්ධනය කිරීමේ කටයුත්තකදී එහි සේවයේ නිරත වූ පිරිසකට 2025 පෙබරවාරි මස 20 වන දා පළමු වරට මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමුවී තිබිණි.

අදාළ අස්ථි කොටස් හමුවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් යාපනය පොලිසිය දැනුවත් කිරීමට සංවර්ධන කටයුතු භාර නිලධාරීන් පියවර ගෙන තිබුණු අතර ඉන් අනතුරුව එහි කැණීම් කටයුතු ආරම්භ විය.

පැවති වැසි තත්ත්වය මත අදාළ ස්ථානයේ කැණීම් කටයුතු කිරීමට නොහැකි වූ අතර, වැසි තත්ත්වය අඩු වීමෙන් පසු යාපනය පොලිසිය, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝග මත අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් කැණීම් සිදුකිරීමට නියෝගයක් ලබා ගත්තේ ය.

උතුරු පළාතෙන් හමුවී ඇති සමූහ මිනී වළවල්

චෙම්මනි සමූහ මිනී වළ
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සිවිල් යුද්ධය අවසන් වීමෙන් පසු උතුරු පළාතේ ස්ථාන කිහිපයකින් සමූහ මිනී වළවල් හමුවූ අතර, අදාළ ස්ථානවල කැණීම් කටයුතු විටින්විට සිදු කෙරිණි.

2013 වසරේදී මන්නාරම, තිරුකේදීශ්වරන් ප්‍රදේශයෙන් සමූහ මිනී වළක් හමුවූ අතර, අදාළ සමූහ මිනී වළෙන් මිනිස් සිරුරු 88කට ආසන්න ගණනකට අයත් අස්ථි කොටස් ගොඩ ගැනිණි.

ඉන් අනතුරුව මන්නාරම, පැරණි සතොස ගොඩනැගිල්ල ආසන්නයෙන් සමූහ මිනී වළක් 2018 වසරේ මතු කර ගත් අතර, ඒ තුළින් මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් ගොඩගැනිණි. 2018 මාර්තු 26 වන දා සිට 2019 මාර්තු 7 දක්වා සමූහ මිනී වළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීය.

මන්නාරම සමූහ මිනී වළ සම්බන්ධයෙන් ඇමෙරිකානු රසායනාගාර තුළ කාබන් පරීක්ෂාවන් සිදුකළ අතර, එහිදී අනාවරණය වූයේ අදාළ අස්ථි කොටස් වර්ෂ 1450ත් 1650ත් අතර කාලයකට අයත් බව ය.

මන්නාරම සමූහ මිනී වළ පරීක්ෂණයන්ගෙන් අනතුරුව මුලතිව්, කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් සමූහ මිනී වළක් හමුවූ අතර, 2023 ජූනි 29 වන දා සමූහ මිනී වළ සම්බන්ධයෙන් වාර්තා විය. 2024 ජූලි 15 වන දා දක්වා කොක්කුතුඩුවායි සමූහ මිනී වළ සම්බන්ධයෙන් කැණීම් සිදුකරනු ලැබීය.

එහිදි මිනිස් සිරුරු 52 කට අදාළ අස්ථි කොටස් මතු කර ගත් අතර, අදාළ සමූහ මිනී වළ 1994 හා 1996 දක්වා කාලයකට අයත් විය හැකි බවට කැණීම් නිලධාරීහු නිගමනය කළහ.

කොක්කුතුඩුවායි සමූහ මිනීවළ හමුවීමෙන් පසුව යාපනය, චෙම්මනෙයි ප්‍රදේශයෙන් අස්ථි කොටස් කිහිපයක් සොයා ගැනිණි.